Print this Article


සිතට පුහුණුව

සිතට පුහුණුව


යම්කිසි ක්‍රියාවකට කය පුහුණු කරනවා වගේ ධර්මය වෙනුවෙන් සිත පුහුණු කිරීම අත්‍යවශ්‍ය යි. කය ඇසුරෙන් යම්කිසි ක්‍රියාවක් පුහුණු කිරීම සඳහා ගුරුවරයෙක්, වැඩිහිටියෙක් යමක් කියා දෙන විට එය සාවධානව අසා සිටිමින් ඒ පුහුණුව කයට ලබා දීමට උනන්දු වේ.

සිත පිළිබඳව පුහුණුවක් ඇති කර ගැනීමටත් , එය සාවධානව අසා සිටිමින් සිතෙහි පුහුණුව ඇති කර ගත යුතු යි. ධර්මය ඇසීම ම පමණක් ප්‍රමාණවත් නොවේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය “භාවිතා බහුලීකතා” නැවත නැවත පුහුණු කළ යුතු යි. එසේ පුහුණු නොකළහොත් එබඳු තැනැත්තා තුළ කුසල් සහ අකුසල් දෙකම උපදී. එහෙත් සිත පරාජයට පත් වේ. බොහෝ අයට ජීවිතයෙහි අරමුණකට යා නොහැකි වේ. ජීවිතය නිවැරැදි කර ගැනීමට වුවමනාව පමණක් තිබීම මෙයට පෙර ද සඳහන් කර පරිදි මත්වතුරට ඇබ්බැහි වූ තැනැත්තෙකුට ඉන් ඈත්වීමට වුවමනාව පමණක් තිබූ තරමට ඉන් ඉවත් විය නොහැකි ය. ඊට හේතුව නම් මත්ද්‍රව්‍යයට ඇති ඇබ්බැහිවීම ය.

අපේ ඇතැම් තරුණ දරුවන් අනෙකුත් යහපත් ක්‍රියා පැත්තට දමා, ජංගම දුරකතනයට කොටු වී සිටින බවක් දක්නට ලැබේ. කිසිදු තේරුමකට නොමැති දේ දෙස බල බලා පැය ගණන් කාලය ගත කරනු ලැබේ. ඒ ඇති කරගත් ඇබ්බැහි තත්ත්වයකි. එසේ ඇබ්බැහි වීම ජීවිතයට පාඩුවකි. යමකට ඇබ්බැහිවීමෙන් ඒ සිත වෙනස් නොකළ හැකි බව ඇතැම් විට කියනු ලැබේ. එහෙත් ඉන් ඈත්වීම අපහසු නොවන බව කල්පනා කළ යුතුයි. ඇබ්බැහි ක්‍රියාවෙන් හිත වෙනස් කිරීමට ඒ සිත පුරුදු කළ යුතු යි.

දෙදෙනකු එකතු වී කඹයක් අදින විට දෙපැත්තෙන් එක් පැත්තකට ඇදී යාම සාමාන්‍ය සිද්ධියකි. එසේ එක් පැත්තකට ඇදී යනු ලබන්නේ වඩා ප්‍රබල පැත්තක් එහි පවතින හෙයිනි. අපේ සිතිවිලි ද දුබල සහ ප්‍රබල වශයෙන් දෙකොටසකට බෙදා වෙන්කළ හැකි වේ. ඇතැම්, සිතිවිලි ප්‍රබල වන අතර, ඇතැම් සිතිවිලි දුබල වේ. යම් උත්සව ශාලාවකට ඇතුළු වන විට දෙපැත්තෙහි ම අප කැමැති මුහුණු දැකිය හැකි ය. එහෙත් අප එහිදී වඩාත් තෝරා ගනු ලබන්නේ වඩාත් ම කැමැති පැත්තෙහි අසුන් ගැනීමට බව මෙය ට පෙර ද සිහිපත් කරන ලදී. ඒ වඩාත් ප්‍රබල කැමැත්ත හේතුවෙනි. හැම මොහොතක් පාසාම සිදුවන්නේ ප්‍රබල සිතිවිල්ල ක්‍රියාවට නැංවීමකි. පාසල් යන ශිෂ්‍යයකු නිවසට පැමිණෙනුයේ නිවසට පැමිණි විගස මුහුණකට පිරිසුදු කර, ඇඳුම් පැළඳුම් වෙනස් කර ආහාර ගෙන පාඩම් කිරීමේ අපේක්ෂාවෙනි. ඒ අපේක්ෂාව පැවතිය ද ආහාර ගෙන සාලය හරහා ඇවිදයන විට රූපවාහිනී තිරයෙහි සිත ඇලුම් කරන දෙයක් දුටු විට එහි නෙත ගැටීම හේතුවෙන් අලුතෙන් හට ගන්නා සිතිවිල්ල නම් එය නැරඹිය යුතුය යන්න ය. එහිදී ද යම් කඹ ඇදිල්ලක් සිදු වේ. එක් අතකින් පාඩම් කළ යුතු යි යන සිතිවිල්ලත්, අනෙක් පැත්තෙන් රූපවාහිනිය නැරඹිය යුතු ය යන සිතිවිල්ලත් හටගනී. ඉන් කවරක් ක්‍රියාත්මක වේ ද? රූපවාහිනිය නරඹන සිතිවිල්ල ක්‍රියාත්මක වීමට බොහෝ ඉඩකඩ ඇත. හේතුව එබඳු අවස්ථා බොහෝ ඇතිවන බවක් දක්නට ලැබීම ය. ඉන් සිදු වන්නේ ප්‍රබලව උදා වූ සිතිවිල්ල ක්‍රියාත්මක වීම ය.

රූපවාහිනිය නැරඹීමට වඩා පාඩම් කළ යුතු යි යන සිතිවිල්ල ප්‍රබල වුවහොත් ඒ පාඩම් කරන පැත්තට සිතිවිල්ල ගලා යනු ලැබේ. ඒ ක්‍රියාවම නොවේ ද මුළු ජීවිතය පුරා සිදුවන්නේ.

ඉලක්කයකට යාමට නම්, ඉතා සැලසුම් සහගතව ගමන යායුතුව ඇත. අප වෙන් වෙන්ව කල්පනා කළහොත් තම තමන්ට අතීතයේ පැවැති ඉලක්ක වෙත නිවැරැදි ව, උත්සාහවන්ත ව ගමන් කළේ නම්, ඒ ඉලක්ක වෙත ගමන් කර තිබේ ද? නිවැරැදි ඉලක්ක වෙත ගමන් කළ නොහැකි බවක් නොවේ. ඒ ඉලක්ක වෙත යාමට එක දිගට සිත ගමන් නොකිරීම නිසා ඊට යා නොහැකි විය හැකි ය. එහෙත් එසේ ගමන් කිරීම කළ නොහැකි දෙයක් නොවේ.

ඉලක්ක වූ අරමුණු වෙත යාමේ දී අතර මගදී වෙනත් අරමුණු වෙත සිත නොයා යුතු ය. එසේ බාහිර අරමුණු වෙත සිත ගියහොත් ඉලක්කය වූ ගමන වෙත කෙදිනකවත් යා හැකි නොවේ. කවර බාධක පැමිණිය ද තමා අපේක්ෂා කළ නිවැරැදි අරමුණට යා හැකි අයුරෙන් පළමුව සකස් කර ගත යුත්තේ සිත ය.

අකුණු ගැසුවත්, තදබල ව වැස්ස ඇද වැටුණත්, කවර ව්‍යසන සිදුවුව ද එක් දිසාවකින් පායන ඉර වෙනත් දිසාවකින් බැස යනු ලැබේ. කවර තරමක ව්‍යසන, බාධක පැමිණිය ද ඉර බැස යන දෙසට එය ගමන් කරනු ලැබේ. එක දිගට නිවැරැදිව ඉතා උතුම් අරමුණකට සිත මෙහෙය වූ උත්තමයන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් අපි වෙමු. බුද්ධත්වය ලැබීම ලොව උතුම්, ඉතා දුර්ලභ සිදුවීමකි. ළඟා විය හැකි අපහසුම ක්‍රියාව වේ. ඒ සඳහා ළඟාවීමට ඉතා සැලසුම් සහගතව මාත්‍රයක් පමණවත් ආපස්සට නොගිය උත්තමයන් වහන්සේ මහ බෝසත්තුමා වේ.