Print this Article


අකුසල් දුරැර කුසල් වඩමු

අකුසල් දුරැර කුසල් වඩමු


නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගතිප්පදෙසො
යත්ථට්ඨිතො නප්පසහෙථ මච්චුං

සුපින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයේ වැඩවසන සමයෙහි සුප්පබුද්ධ ශාක්‍ය රජතුමන් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.

මෙම සුප්ප බුද්ධ රජතුමා අප බුදුරදුන්ගේ මාමා වන අතර, යශෝදරා දේවිය හා දෙව්දත්ගේ පිය රජතුමන් ය. තම දූ කුමරිය වැන්දඹු කොට බුදු වීමට වනගත වී යැයි ද, පුතා දේවදත්ත මහණකොට වෙනස්කම් කළේ යැයි ද යන කරුණු වරදවා තේරුම් ගෙන බුදුරදුන් කෙරෙහි වෛර බැන්දේ ය.

වරෙක අප බුදුරදුන් ශ්‍රද්ධාවන්ත උපාසකයෙකුගේ ආරාධනාවකට අනුව මහ සඟන පිරිවරා දානයට වඩින කල සුප්පබුද්ධ රජු මග අවුරාගෙන, ක්‍රෝධයෙන් මතුර මතුරා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ එමඟ නොවැඩ පෙරළා වඩින කල ආනන්ද හිමියන් අමතා ආනන්දය, සුප්පබුද්ධ රජ කරන ලද්දේ මහා පාප කර්මයකි. එහි ප්‍රතිවිපාක වශයෙන් මෙයින් හත්වෙනි දින මාලිගාවේ දී ම පොළොව පලා ගෙන මරණින් මතු නිරයේ උපදින්නේ යැයි වදාළ සේක.

සුප්පබුද්ධ රජතුමා ද මෙම කාරණය දැනගෙන මාලිගාවේ සියලුම මහල්වල දොරගුළු දමවා, මුරකරුවන් යොදවා හත්දින ගෙවනතුරු හත්වෙනි මහලට වී දිවා රාත්‍රී ගත කළේ ය. එහෙත් හත්වෙනි දින රජුගේ මංගල අශ්වයා කිපී නොසන්සුන්වූයේ අසු සන්සිඳවනු පිණිස උඩුමාලේ දොරවල් ළඟට යනවිටම සියලු දොරවල් විවෘත විය. ක්‍රමයෙන් පාත මාලයටම වැටී පොළොව පැලී ගොස් අපායේ උපන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේ කුසල්, අකුසල් සිදුවීම් පිළිබඳ ව දේශනා කළ සෑම තැන දී ම සැප දුක සාපේක්ෂකව සම්බන්ධ කළ සේක. සත්වයන් අතර මිනිසා සැපවිඳීමට මෙන්ම එයට සූදානම් වීමටද අතිදක්ෂතාවයක් , කුසලතාවයක් දක්වන්නේ ය. එහෙත් දුක සැප දෙක ම සෑම සත්වයාටම සාධාරණ වන්නේ ය.

අකුසලං භික්ඛවෙ පජහථ කුසලං භික්ඛවෙ භාවෙථ. සක්කා භික්ඛවෙ අකුසලං පජහිතුං සක්කා භික්ඛවෙ කුසලං භාවේතුං යනාදී වශයෙන් ප්‍රාණඝාත, අදත්තාදානාදී අකුසල් අත්හරින්ටත්, දාන, ශීල, භාවනා දී කුසල කර්මයන් වර්ධනය කරන්ටත් විඤ්ඤාණය දියුණු කළ මිනිසාට හැකියාවක් ඇත්තේ ය.

ලෝභ, දෝෂ, මෝහා දී අකුසල මූලයන් නිසා ඇතිවන සිත් හා චෛතසික මතුමත්තෙහි මහා පාප කර්මවලට ද, යළි ප්‍රතිවිපාකවලට ද හේතු භූත වන්නේ ය. එහි ප්‍රතිවිපාක අකුසලයත් සමගම වින්දිත වන්නේ ය. දේවදත්ත, සුප්ප බුද්ධ, චිංචිමානවිකාව ආදීන් කළ මහා පාප ක්‍රියාවන්වල විපාක ඒ ක්ෂණයේ ම වින්දිත වූ වග ප්‍රකට වන්නේ ය.

වර්තමානයේ මෙ තරම් විඤ්ඤාණය දියුණු කිරීමට පහසු මානව සමාජය තුළ සිදුවන වධ හිංසා දෙස බලන විට පෙනෙන සත්‍ය ධර්මතාවය නම් තවම මිනිසා කුසල් අකුසල් පිළිබඳ පාඩම නිසියාකාරව හඳුනාගෙන නැති බවයි.

යම්කිසි ක්‍රියාවක් කරන්නට අරමුණ පස්සේ දුවන සිත, චේතනාව දක්වා ගොස් යළි එයින් ම තම කුසලතාවය නවතී නම් එය අකුසලයයි. කුසලතාවය හෙවත් දක්ෂතාවය ඉස්මතු වේ නම් එය කුසලයයි.

කුසලය හා අකුසලය නිතැතින් ම ආගමට, දහමට සම්බන්ධ වන බැවින් විශේෂයෙන් බෞද්ධ දර්ශනය තුළින් කෙනෙකුගේ චිත්ත සන්තානයේ කුසල අකුසල භාවය හඳුනාගත හැක.

මෙම කාරණය නිමිති කරගෙන අප බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. යම් තැනක සිටි තැනැත්තා මාරයා නොමඩීද එබඳු තැනක් අහසෙහි හෝ මුහුද මැද හෝ, පර්වත ගුහාවල හෝ නැත්තේ ය. මේනිසා අකුසල් දුරුකොට කුසල් කරන්නට අදිටන් කරගත යුතු වන්නේ ය.

බුදු දහමේ දක්වන කුසල් හෝ අකුසල් දැන ගැනීමට උපයෝගී වන කාරණා කීපයක් දැන ගත යුතු වන්නේ ය.

කුසලා කුසල හේතු හෙවත් කුසල්, අකුසල්වලට මූල ධර්ම, අකුසල් මුල්, කුසල් මුල්, චේතනාව හා විපාක වශයෙනි.

මානව සමාජය අති දීර්ඝ කාලයක් හොඳ නරක අත්දැකීමෙන් ම හඳුනාගෙන තිබේ. යම් සිද්ධාන්තයක් තුළ හොඳ දේ වශයෙන් ද, එයට ප්‍රතිවිරුද්ධ දේ නරක වශයෙන් ද සම්මත කරගෙන මානව පරපුරේ ජීවාත්මක පැවැත්ම අඛණ්ඩ ව පවත්වාගෙන එන ලදී. පසුකාලීනව ආගමික නායකයන් තවදුරටත් එම අදහස් විශ්ලේෂණය කරමින් මානව සමාජයේ පමණක් නොව ජීව අජීව පරිසරයේ තිරසර පැවැත්ම උදෙසා උපදෙස් මාලාවන් ප්‍රකාශකොට, සංස්ථාපනය කළ බැවින් වර්තමානය දක්වා සත්ව සන්තතියේ පැවැත්ම සහතික වන්නේ ය.

මිනිසාගේ ප්‍රථම ප්‍රයත්නය හා වර්තමාන ප්‍රයත්නය දක්වා ප්‍රකාශවන ප්‍රධාන ලක්ෂණය නම් ජීවනාධාරය පිණිස සත්ව හිංසාවත්, එයට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ වූ අවිහිංසාවත් ක්‍රියාත්මක කිරීමත් ය. දුරාතීතයේ අවිහිංසාව ක්‍රියාත්මක වූ බැවින් උදාර මානව ශිෂ්ටාචාර බිහි වූ අතර හිංසාව ක්‍රියාත්මකව එම සියලු ශිෂ්ටාචර විනාශ විය. මෙලොව උපන් සෑම සත්වයාටම ප්‍රධාන අපේක්ෂා දෙකක් ඇත. ජීවත්වීම හා පරිසරය අල්ලා ගැනීම ය.

මේ අදහස් දෙකට ම අවශ්‍යවන පරිකල්පනය හා ප්‍රඥාව ආගම දහම ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන්නේ ය. විශේෂයෙන් බුදුදහමේ දැක්වෙන ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රීය ආදී කුසල චේතනා වෙනත් ආගම් දර්ශනවලින් නොලැබෙන නිසා ලෝක ජනතාවගෙන් වැඩිදෙනෙක් කරදර, හිරිහැර සම්බාධක වධ වේදනාවන්ගෙන් පීඩා විඳින වග ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

වර්තමාන මානව සමාජයේ කුසලතා වර්ධනයට අත්‍යවශ්‍ය වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ කරුණාව හා මෛත්‍රියයි. එම විශ්ව ශක්තිය ශිෂ්ට සම්පන්න සදාචාරාත්මක ජීවනාධාරයටත්, සංසාර ජීවිතයටත් එකසේ මහෝපකාරී වන්නේ ය.

ලෝකයේ සෑම දෙනාම කුසල්, අකුසල් හඳුනා ගනිත්වා

ලෝක සාමය ඇතිවේවා.