Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: අනුවණ ඇසුරට වඩා හුදකලාව යහපත්

අනුවණ ඇසුරට වඩා හුදකලාව යහපත්

සමාජ ජීවිතයේ දී තමා ඇසුරට ගන්නා මිත්‍රයා තමාට වඩා උසස් ඥානයෙන් හෝ අත්දැකීම්වලින් පිරිපුන් පුද්ගලයෙකු වීම වඩාත් යෝග්‍ය වේ. තමා හා සමාන පුද්ගලයෙකුගේ ඇසුර ද වරදක් නැත.

නුවණැති පුද්ගලයන් ආශ්‍රයට ගැනීම සුදුසු බවත් අනුවණ පුද්ගලයන් ඇසුරට නොගත යුතු බවත්, බුදු දහම අවධාරණය කර ඇත. සමාජය තුළ ජීවත්වීමේ දී එබඳු පුද්ගලයන් හඳුනා ගත යුතු ය.

සමාජ ජීවිතයේ දී තමා ඇසුරට ගන්නා මිත්‍රයා තමාට වඩා උසස් ඥානයෙන් හෝ අත්දැකීම්වලින් පිරිපුන් පුද්ගලයෙකු වීම වඩාත් යෝග්‍ය වේ. තමා හා සමාන පුද්ගලයෙකුගේ ඇසුර ද වරදක් නැත. නමුත් තමාට වඩා පහත් පුද්ගලයෙකු සමඟ ආශ්‍රය කිරීම සුදුසු නැත. එබඳු පුද්ගලයෙකු ඇසුරට පැමිණ තිබේ නම්, ඔවුන්ගෙන් දුරස්විය යුතු ය. තමාට කුමන ආකාරයෙන් අලාභයක් සිදුවුවත්, එබඳු පුද්ගලයෙකු හැකි ඉක්මණින්ම ඇසුරින් ඉවත් කර දැමීම අත්‍යවශ්‍ය ය. එබඳු පුද්ගලයන්ගේ ඇසුරට වඩා හුදකලාව ජීවත්වීම වඩාත් සුදුසු බව බුදු දහම අවධාරණය කර ඇත.

ඤාණවන්ත පුද්ගලයා කවරෙක් ද? යන්න එකවර ප්‍රකාශ කළ නොහැකි ය. නමුත් දහමෙහි එබඳු පුද්ගලයන්ගේ ස්වභාවය පෙන්වා ඇති නිසා ඔවුන් හඳුනාගැනීම පහසු වෙයි. නුවණැති පුද්ගලයාගේ ලක්ෂණ තුනක් පිළිබඳව වේඛනස්ස සූත්‍රයේ දක්වා ඇත.

1.අසඨො – සට කපට කම්වලින් තොර පුද්ගලයෙකු වීම

2.අමායාවී – කරන සෑම ක්‍රියාවක්ම අව්‍යාජ වීම

3.උජු ජාතිකෝ – අයහපත් දෙය තුළ ඍජු ප්‍රතිපත්තියක් තිබීම

මෙම ලක්ෂණයන්ගෙන් අනූන පුද්ගලයා නුවණැති පුද්ගලයෙකු ලෙස ධර්මයේ දක්වා ඇත. වර්තමාන සමාජයේ නුවණැති පුද්ගලයන් තෝරා ගන්නේ ඔහු හෝ ඇය ලබා තිබෙන උපාධිය අනුවයි. එසේත්, නැත්නම්, අධ්‍යාපන සහතික අනුවයි. නමුත් දහමට අනුව එසේ විග්‍රහ නොකරයි. උගතුන් අතර වුව ද, බොහෝ අවස්ථාවල බහුල වශයෙන් දුර්ගුණ පවතින බව ඇතැම් විට ඔබත් අවබෝධ කරගත් අවස්ථා තිබෙන්නට පුළුවන්. නුවණැත්තා ද, උගතා ද අතර යම් වෙනසක් පවතින බව දැකිය හැකිය. උගතා තුළ පෙර දැක්වූ ලක්ෂණ තිබේ නම්, නුවණැත්තෙක් ලෙස අර්ථ දැක්විය හැකි ය. එසේ නොවන්නේ නම් නුවණැත්තෙක් ලෙස අර්ථ දැක්වීම අපහසු වෙයි. ඇතැම් අවස්ථාවක උගත්කමක් නැති, නූගත් පුද්ගලයෙකු සතුව පෙර දැක්වූ ලක්ෂණ තිබිය හැකි ය. එසේ නම්, ඔහු අනිවාර්යයෙන්ම නුවණැත්තෙකු ලෙස හැඳින්විය හැකි ය.

නුවණැති පුද්ගලයෙකු විසින් කිසි විටෙකත් ඔහු ජීවත්වන සමාජයට ,පරිසරයට අලාභයක් හෝ හානියක් සිදු නොකරයි . යම් පුද්ගලයෙකු අතින් එබඳු දෙයක් සිදුවන්නේ නම්, ඔහු නුවණැති පුද්ගලයෙකු වශයෙන් සැලකිය නොහැකියි. මේ පදනම් අනුව බලන විට ඔබගේ ඇසුරේ සිටින බොහෝ පුද්ගලයන් ඇසුරට නුසුදුසු බව වැටහේවි. එහෙත් එකවර ඔවුන් අතහැර දැමිය නොහැකියි. කළ යුතු වන්නේ එබඳු පුද්ගලයන් සමීප ඇසුරට නොගෙන අතේ දුරින් තබා ගැනීමයි. ඔබ අනිවාර්යයෙන්ම එය කළ යුතුම ක්‍රියාවයි. එසේ නොකරන්නේ නම්, ළඟදීම එබඳු පුද්ගලයන් නිසා විශාල අපහසුතාවයකට පත්වීමයි. නුවණැති පුද්ගලයන් ඇසුරට සොයනවාට වඩා ලෙහෙසි ක්‍රමය වන්නේ තමා එබඳු මිත්‍රයකු බවට පත්වීමයි. අවංකකමත් අනුවණකමත් අතරේ වෙනසක් පවතී.

එම වෙනස ඉතා ඉක්මනින් වටහාගත යුතුයි. එසේ නැතහොත් ඔබ අතින් වුව ද, අවංක කමක් යැයි සිතා අනුවණකම් සිදුවිය හැකියි. පසුව හඬා වැලපී කම් නැත. ජීවිතයේ එක වතාවක් හෝ ඊට වඩා වැඩි අවස්ථා ගණනක් මේ වන විට අවංකකම යැයි රැවටී අනුවණකම් කළ අවස්ථා තිබෙන්නට පිළිවන්. නමුත් ඒවා දැන් සිදු වී අවසානයි. කම්පාවී ඵලක් නැත. ඉතා ඉක්මනින්ම කළ යුතු වන්නේ හෙට දවසේ එබඳු දෙයක් සිදුනොවීමට වග බලා ගැනීමයි.