Print this Article


බෝසත් දරුවන්ට: පිළිවෙළට වැඩකරන්න හුරුවන්න

පිළිවෙළට වැඩකරන්න හුරුවන්න

පිළිවෙළ කියන්නේ පුරුද්දක්. කෙනෙකුගේ ජීවිතයට පිළිවෙළ ළඟා වෙන්නේ පුරුදු පුහුණුූ කරගත් දේ සමඟ යි. බොහෝ වේලාවට ඒ පුරුද්ද අපට ලැබෙන්නේ දරුවනේ, අපේ අම්මගෙන්, තාත්තගෙන්, ආච්චිගෙන්, සීයාගෙන් ,අපි ඇසුරු කරන අයගෙන්.

ඒ වගේ ම පාසලෙන්, දහම් පාසලෙන්, හොඳ පුරුදු ඉගෙන ගන්නට ලැබෙනවා. කිසිම පිළිවෙළක් නැති, මව්පියන්ගේ දරුවන් අපිළිවෙළ වෙනවා නම්, එයත් පුදුමයක් නොවෙයි නේද? මව්පියන් අපිළිවෙළ නම් දරුවනුත් අපිළිවෙළ යි. ඒ නිසා පින්වත් දරුවනේ, අම්මා, තාත්තගේ යම් පිළිවෙළක් නැති වුණත් පිළිවෙළට හැදෙන්නට පුරුදු වෙන්න ඕනෑ.

“පිළිවෙළ” ජීවිතයට ළංකර ගන්නට කැමැති නම් එය අනිවාර්යයෙන්ම ජීවන පුරුද්දක් කරගත යුතු වෙනවා.

අපිළිවෙළට වඩාත් කැමැති පිරිසකුත් අප අතර සිටිනවා. ඒත් ඔවුන් අපට පෙනෙන්නේ නෑ. නො පෙනුනාට අපිළිවෙළ දුටු ගමන් ඒ පිරිස එතැනට සමීප වෙනවා. එතැනින් නවතින්නේ නෑ. එක, එක් දෝස ගෙදරට අරගෙන එනවා.

අපිළිවෙළට ඉන්නට කැමැති පිරිස තමයි පෙරේතයෝ කියන්නේ. පේ‍්‍රතයින්ට ගැවසීමට සුදුසු පරිසරය හදාගන්නේ තමන්ම යි. විශේෂයෙන් ම දරුවන්ගේ නිවෙස්වල අපිළිවෙළ තිබුණොත් අනිවාර්යයෙන් ම පේ‍්‍රතයින්ගේ බැල්ම වැටෙනවා ම යි. ඒ නිසා දරුවන්ගේ නිවෙස් විවිධ අද්භූත දෝසවලින් මුදවා ගන්න, ඒ වගේ ම සාමකාමී වටපිටාවක් ගොඩනඟන්න අවශ්‍යම දේ තමයි පිළිවෙළ කියන්නේ. ඒ නිසා දරුවනේ පිළිවෙළ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න කියලා අවධාරණයෙන් සිහිපත් කරනවා.

තුන්වැන්න, පිළිවෙළ වෙන්නට කලින් මනස හදා ගන්න ඕනෑ. ඕනෑම වැඩක් පිළිවෙළට කරන්න නම් මනස සැහැල්ලු කෙනෙක් විය යුතු ම යි. ඒ කියන්නේ හිසේ බරක් නැති කෙනෙක් වෙන්න ඕනෑ. හිසේ කිසිම නිදහසක් නැති මිනිසුන්ගේ වැඩත් අපිළිවෙළයි. ඒ නිසා ජීවිතයට පිළිවෙළ කියන දෙය හොඳින් හුරු කරගන්න ඕනෑ. එයට කැමැති හැම දෙනා ම මුලින් ම කරන්න ඕනෑ, මනස සැහැල්ලු කර ගැනීම යි.

නිවෙසේ ජීවත්වන විට දහසක් රාජකාරි තිබෙනවානේ. එය අම්මා, තාත්තට, මේ දරුවන්ට, අප හැමෝට ම පොදුයි. ඒත් දරුවනේ මේ වැඩකටයුතු දරා ගන්නට නො හැකි නම් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් . පාඩම් කරන්න. අමතර පන්ති යන්න, ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න අමාරු අවස්ථා එනවා නේද? මෙලෙස එකින් එක ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට නම් හිස නිදහස් කර ගන්නම වෙනවා. “මගේ ඔළුව යකාගේ කම්මල වගේ” කියලා සමහර අය කියනවා අසා තිබෙනවා නේද? එහෙම වෙන්නේ හිතට නිදහසක් නැති වුණාම යි. එවැනි තත්ත්වයක් ඇති වුණාම පාඩම් මතක හිටින්නේ නෑ. ඒ අපිළිවෙළ නිසා.

මනස අපිළිවෙළ වුණා ම අප රෝගී වෙනවා. මානසික ආතතිය කියන්නේ එයට යි. එවිට බාහිර ක්‍රියාකාරකම් පවා අපිළිවෙළ වෙනවා. එහෙම නම් . පිළිවෙළ පුරුදු කර ගන්න කලින් මානසික පිළිවෙළ ඇති කර ගත යුතු බව මේ දරුවන්ට මතක් කරනවා.

ඊළඟට, අප තුළ සිටින ලොකුම බහිරවයා තමයි අවසිහිය. බහිරවයා කීවා ම බය හිතෙනවා නේද?

“මේ දැන් තිබුණා. ඒත් දැන් හොයාගන්න නැහැනේ’ කියමින් සමහර ආච්චිලා, සීයලා කණ්ණාඩි කුට්ටම හිසේ තබාගෙන ගේ පුරාම එය සොයනවා. ගෙදර කුස්සියේ වැඩට ගන්න පිහිය සොයා ගත නොහැකි ව සමහර අම්මලා මොර දෙනවා. ‘මගේ උපකරණ අල්ලන්නවත් එපා’ කිසිම දෙයක් පරිස්සම් කරන්න බැහැනේ’ කියලා ගෝරනාඩු කරනවා. සමහර වෙලාවට පා පැදියේ යතුර සොයා ගන්න බැරිව තාත්තා තරහ ගන්නවා. සමහර වෙලාවට අක්කලා , නංගිලා පාසල් යන්න ප්‍රමාදවෙලා ටයි පටිය, සපත්තු කුට්ටම සොයනවා. අයියා මගට ගිහින් අමතක වුණු පොත ගෙනයන්න ආපසු හැරී එනවා. උදේ කෑම ටික ගෙන යන්නට අමතක වෙලා සමහර දරුවන්ට කුස ගින්නේ ඉන්න සිදු වෙනවා. සීයා බුලත් කොටන වංගෙඩිය නැති බව කියමින් දවසම කණස්සල්ලෙන් සිටිනවා. ගෙදරක පරිසරයේ හැටි පේනවා නේද? අවසිහිය නිසා මොන තරම් ප්‍රශ්න ඇති වෙලා ද? “මොන බහිරවයා ගෙනිහින්ද? කියලා මම දන්නේ නෑ’ කියලා සමහරු කියනවා. මෙලෙස කියමින් නැති වූ දේ සොයන අපට අරියාදු කරන බහිරවයා වෙන කිසිවෙක් නොවෙයි, දරුවනේ. අපිළිවෙළ ම තමයි.

හොඳින් සිතා බැලුවොත් පුංචි ඔබටත් තේරුම් ගන්නට හැකිවෙයි අපේ ජීවිතේ වැඩිම කාලයක් ගත කරන්නේ මේ වගේ නැති වූ දේ සොයන්න කියලා. පිළිවෙළ පුරුදු පුහුණු නො කළාම ජීවිත කාලය පුරා ම සොය සොයා ම ඉන්න තමයි අපට සිදු වෙන්නේ. අපිළිවෙළත් සමඟ ගෙදර ජීවිතයේ, පාසල් ජීවිතයේ ප්‍රශ්න ඇති වෙද්දී හොඳින් තිබෙන මනසත් ව්‍යාකූල වෙනවා. ඒ කියන්නේ කලබල වෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනෑ.

ඉක්මනින්ම කේන්ති ගන්නේ, නො සන්සුන් මනසක් ඇති වෙන්නේ මෙවැනි අමතක වීම් නිසා. අවසිහිය හොඳ සිහිය බවට පත් කර ගන්න නම් ඉතාම ඉක්මනින් අප කවුරුත් පිළිවෙළ පුරුදු කරගත යුතු ම යි. ගෙදර දී , පාසලේ දී සියලු කටයුතු පිළිවෙළට සිදුවෙනවා නම් කාලය ඉතිරි කර ගන්නටත් පුළුවන් වෙනවා. ඒ වගේ ම මනසත් සැහැල්ලු වෙනවා. ප්‍රශ්න ඇති කරවන අවසිහිය කියන බහිරවයා එළවා දැමුවොත් පින්වත් දරුවනේ, ඔබගේ ගෙදරත්, පාසලත්, පන්තියත් පිළිවෙළ වී මේ දරුවන් දියුණුවට පත්වෙනවා.

ඒ වගේම ලස්සන විතරක් තිබුණාමත් මදි. පිළිවෙළ ගැන සඳහන් කළ ගමන් පිරිසුදුකම, ලස්සන ගැන තමයි මතක් වෙන්නේ. හැමදේම ලස්සනට තියෙනවා කියන්නේ පිළිවෙළ ම ද කියලා සොයා බලන්න ඕනෑ. එය වැඩියෙන් ම වැදගත් වෙන්නේ පුංචි දරුවන්ට. අධ්‍යාපනය ලැබීමේ දී සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දරුවෙකුගේ සහ ඉගෙන ගන්නේ නැති දරුවෙකුගේ වෙනස පොත් මේසය දෙස බැලූ විට හොඳින් හඳුනා ගන්නට පුළුවන්. පොත්ටික ලස්සනට, සීරුවට තිබෙන පොත් මේසය පිළිවෙළයි කියා සිතුවාට ඒ පිළිවෙළින් ඉගෙන ගන්න දරුවාට ප්‍රයෝජනයක් නෑ. ඒ නිසා පිළිවෙළ ගැන හරියටම අවබෝධ කරගන්න ඕනෑ. මෙතැන දී ගැටලුවක් ඇති වෙන්නත් පුළුවන්. එවැනි පිළිවෙලක් අනවශ්‍යයි කියලා. දරුවන් මේ කියන්නේ හැමෝම ගැන නොවෙයි. පොත්පත් ටික, ගෙදර පිළිවෙළට තිබෙන්නට ඕනෑ . හැබැයි එහෙම නැති අය අධ්‍යාපනය ලබන්නේ නෑ කියලා අප කියන්නෙත් නෑ. අප මොනයම් හෝ කටයුත්තක නිරත වුණාට පසුව ඒ භාණ්ඩ අදාළ තැන්වල පිළිවෙළට තබනවා විනා හැමදාම, හැමදේ ම එකම පිළිවෙළකට තැබීමට උත්සාහ ගැනීම කළ යුතු දෙයක් නොවෙයි. ඒ කියන්නේ අප ගත්ත භාණ්ඩ එතැන ම තියන්නට ඕනෑ. තරමට වඩා පිළිවෙළ ගැන වධ වෙන්නට ගියොත් එයත් මානසික ප්‍රශ්නයක් වෙනවා. එවිට ඒ තැනැත්තාගේ කාර්ය කාමරය පිළිවෙළ කිරීම ම යි. ඇඳුම් අස්කිරීම ම යි.