Print this Article


මහා ප්‍රජාපතී ගෝතමි තෙරණියගේ ශාසනික මෙහෙවර

මහා ප්‍රජාපතී ගෝතමි තෙරණියගේ ශාසනික මෙහෙවර

මෙම ලිපියේ මුල් කොටස පසුගිය 13 දා පත්‍රයේ පළවිය.

අවසානයේ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ඨ ගරු ධර්ම පිළිගෙන පිළිපදින්නේ නම් එතුමියගේ පැවිදි උපසම්පදාව සිදු වන්නේ යැයි වදාළ සේක.

එය ප්‍රජාපති ගෝතමිය හිස් මුදුනෙන් පිළිගනු ලැබීය. ඒ අනුව ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂූණි ශාසනය ප්‍රතිෂ්ඨාපනය මේ තුළින් ආරම්භ වූයේය.

පැවිදි උපසම්පදාව ලබා ගත් ප්‍රජාපතී ගෝතමී තෙරණිය බුදුරජුන් වෙත පැමිණ වැඳ නමස්කාර කළහ. ඉන්පසු බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට ධර්මය දේශනා කළ සේක. එතුමිය දහම් අසා කමටහන් වඩා රහත් වූවාහ. සෙසු පන්සියයක් භික්ෂූණින් වහන්සේ නන්ද තෙරුන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලැබ රහත් භාවයට පත්වූහ. අනතුරුව යශෝධරා දේවිය ඇතුළු තවත් ශාක්‍ය කුල කුමරියෝ සසුන්ගත වූහ.

මේ සංසිද්ධිය නිසා බුද්ධ කාලීන භාරතයේ පැවති බෞද්ධ සංස්ථාව තුළ විශාල පරිවර්තනයක් විය. මේ තුළින් එතෙක් බුදු සසුනේ පිරිමි පක්ෂයට පමණක් සීමා වී තිබූ පැවිද්දේ උරුමය කාන්තා පක්ෂයට ද උදාවුණි. බුද්ධ කාලීන භාරතයේ සමාජ වරප්‍රසාද අහිමිව සමාජයේ ඉමහත් පීඩාවන්ට ලක්ව සිටි කාන්තාවන්ට භික්ෂූණි සංස්ථාව ආරම්භ වීම තුළින් ලැබූ අස්වැසිල්ල ඉමහත් ය. මේ නිසා සසර බිය දුටු ස්ත්‍රීන්ට තථාගතයන් වහන්සේගේ ධර්ම විනයෙහි සසුන්ගතව බඹසර ජීවතය ගත කරමින් සසර ගමනේ නිමාව දකින්නට මග පෑදුනේ ය. ආනන්ද තෙරුන් වහන්සේගේ සහ මහා ප්‍රජාපතී ගෝතමියගේ අප්‍රමාණ වෑයම නිසා භාරතයේ එදා දහදුක් විඳීමින් සිටි දහස් ගණන් කාන්තාවන්ට හිත සුව ගෙන දෙන්නක් ම විය. බමුණු ආගමෙන් එල්ල වූ දැඩි ලෙස කාන්තාවන් ප්‍රතික්ෂේප වීම හේතුවෙන් කාන්තාව නිවසේ මෙන් ම සමාජය තුළ ප්‍රතික්ෂේපිත ජන කොටසක් බවට පත්ව තිබිණි. සිය ස්වාමිවරුන්ගෙන් සහ තමන් බැල මෙහෙවරකම් කළ නිවසේ හාම්පුතුන්ගේ තාඩන පීඩනයන්ට ලක් වූවෝද, (රජ්ජුමාලා), කුල භේදයෙන් පීඩා වින්ද (අශෝකමාලා) දුගී දුප්පත්කමින් තැවුනෝ ද (කුද්දුත්තරා) සමාජ අපයෝජනයට පත් වූ (අම්බපාලි, සිරිමා) ආදී සියලු ස්ත්‍රී වර්ගයා සසුන්ගත වීමේ වරප්‍රසාදය ලදහ. ශාක්‍ය කුලය වැනි උසස් කුලයෙන් විශාල පිරිසක් පැවිදි වීම අතිශය වැදගත් වේ.

බුදු සසුනේ සියලු දෙනාට ම පැවිද්ද විවරව තිබූ කේන්ද්‍රස්ථානය යි. එහි ප්‍රතිඵලයක් ලෙස භික්ෂූණි ශාසනය භාරත දේශයේ මනාව මුල් බැස ගනිමින් ගම් නියම් ගම් ජනපද, රාජධානිවල සිඝ්‍රයෙන් පැතිරී යයි.

එසේම භික්ෂූණි ශාසනය බොහෝ ඉක්මණින් පුළුල් ලෙස පැතිරීමට හේතු වූයේ ඒ ඒ පෙදෙස්වලින් කුල කතුන් බුදුරදුන් කෙරෙහි පැහැදී, ධර්මය කෙරෙහි පැහැදී , සංඝයා කෙරෙහි පැහැදී, සසර බිය දැක හට ගත් සංවේගය නිසා තම ස්වාමීන්ට, දෙමාපියන්ට සහ ඥාතීන්ට දන්වා ශාසන ලැදියාවෙන් පැවිදි බව ලබා ගත් නිසා ය. මේ ආකාරයට දිනෙන් දින කාන්තාවන් විශාල ප්‍රමාණයක් සසුන්ගත වීම නිසා භික්ෂූණින් වහන්සේලාගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය විය. එමෙන්ම භික්ෂූණිහු ගුණාත්මක හා සංඛ්‍යාත්මක ලෙස වර්ධනය වීම නිසා ඔවුහු සමාජයේ පිළිගත් ජනප්‍රිය පිරිසක් බවට පත් වූ හ. මේ අනුව සම්බුදු සසුන භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකා යැයි සිව්වනක් පිරිසකගෙන් යුක්ත වූ හ.