Print this Article


වස්සානයයි කඨින චීවර පූජාවයි: කමටහන් වඩා මගඵල ලැබිය නොහැකි ද?

කමටහන් වඩා මගඵල ලැබිය නොහැකි ද?

මාතිකමාතාවෝ භික්ෂු උපස්ථායකගෙන් මෙසේ විමසී ය. ‘පින්වත, දැන් උන්වහන්සේලා දැකීමට කුමක් කළ යුතු ද?’

මෑණියනි, අර ගහේ එල්ලා තිබෙන ලී බම්බුවට මේ පොල්ලෙන් වාර දෙකක් ගසා ශබ්ද කරනු මැනවි. එවිට සියලු දෙනා වහන්සේ ම ටික වේලාවකින් මෙතැනට වඩිනු ඇතැ’යි උපස්ථායක පුරුෂයා කී ය. මාතිකමාතාව ඔහු ලවා ම ගෙඩිය ගැස්ස වූ පසු සියලු දෙනා වහන්සේ ම ආරාමයට පැමිණිය හ. උපාසිකාව ඇතුළු පිරිස උන්වහන්සේලාට ගිලන්පස පූජා කොට කතාබස් කර අසන්නී, ‘ස්වාමීනි, ඔබ වහන්සේලා කොහි වැඩිය සේක් ද?’ ‘උපාසිකාවෙනි, අපි සැටදෙනා වහන්සේ ම තථාගතයන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මේ වස් තුන්මාසය තුළ සුදුසු තැනකට ගොස් භාවනා වඩා මග ඵල ලබා ගැනීමට අදිටන් කරගෙන සිටිමු’යි පවසා, පැමිණි සඟ පිරිසක් බැවින් ඔවුනොවුන් එක් ව සිටින විට කථා කිරීමට සිදුවන බැවින් තනි තනිව ම මේ වන ලැහැබෙහි වෙසෙමින් භාවනාවට ම කාලය ගතකරන්නෙමු’ යි පිළිතුරු දුන්හ.

එවිට උපාසිකාව අසන්නී. ‘ස්වාමිනි දන් දීම ආදියෙන් පමණක් සෑහීමකට පත් නොවී අපටත් ඉඩකඩ ඇති පරිදි කමටහන් වඩා මගඵල ලැබිය නොහැකි ද?’ ‘උපාසිකාවෙනි, පිළිවෙත් ගරුකව වෙසෙමින් කමටහන් වඩතොත් පෙර පින් තිබෙන කවර කෙනකුට වූව ද මග ඵල ලැබීමට අපහසුවක් නැතැයි කරුණු සහිතව වදාළ සේක. ‘එසේ නම් ස්වාමීනි, අපටත් සුදුසු භාවනාවක් ලබාදෙනු මැනැවැ් යි දැඩි ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටියා ය. මහ තෙරණුවෝ, තථාගතයන් වහන්සේ තමන් වහන්සේලාට දෙවා වදාළ භාවනා ක්‍රමය ම උපාසිකාව ඇතුළු පිරිසට ඉගැන්වූහ. මේ වස්කාලය තුළ ආගමික වතාවත් කරන අතර ම ගෙදර දොරේ වැඩ කටයුතු ද අතපසු නොකර, භාවනාවෙහි යෙදුනා හ. මෙසේ දෙමසක් පමණ ගතවන විට මාතිකමාතා තොමෝ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සහ කාමරාග , පටිඝ යන ඕරාම්භාගීය සංයෝජන සපුරා විනාශ කොට උතුම් වූ අනාගාමී ඵලයට පත්වූවා ය.

බලවත් සේ සතුටට පත් ඕ තොමෝ අපි වස්වසවන ලද ස්වාමීන් වහන්සේලා මග ඵල අවබෝධ කොට නිමකර ඇද්දැයි සිතීය. “නුවණින් කමටහන් ඉගෙනගත් මම ඍද්ධිමය බල සහිතව අනාගාමී තත්ත්වයට පත් වූව ද උන්වහන්සේලා තවමත් මාර්ග ඵලයක් තබා ධ්‍යානයක් වත් උපදවාගෙන නැත.” මෙයට හේතුව කුමක් දැයි දිව නුවණින් ම බැලූ ඇයට පෙනුනේ අපි සැදැහැ සිතින් අඩුපාඩුවකින් තොරව දානය පිළියෙල කළ ද ඒ ඒ භික්ෂූන් වහන්සේලා ප්‍රිය කරන, ඒ ඒ ශරීරවලට ගුණදායී ආහාර පාන අපෙන් ලැබෙන්නේ නැත. ඒ කාරණය නිසා සිත එකලස් කරගත නො හැකිව උන්වහන්සේලා භාවනාවෙන් දුක් විඳිති.