Print this Article


මේ වස්සාන කාලයයි - 06: උභය පාර්ශ්වයේම අදිටන විය යුත්තේ කුමක්ද?

මේ වස්සාන කාලයයි - 06:

උභය පාර්ශ්වයේම අදිටන විය යුත්තේ කුමක්ද?

මෙම ලිපි පෙළෙන් අද දවසෙහි බලාපොරොත්තු වන්නේ, තථාගත බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්තියක් ලෙස ‘වස්සූපනායික’ ධර්ම පැනවීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා විසින් එම ධර්ම මාර්ගය අනුගමනය කරමින්, මාර්ගඵල අවබෝධය ලැබ සියලු කෙලෙසුන් නැසීමෙන් රහත් භාවයට පත් වූ ආකාරයත්, උන්වහන්සේලා උපාසක උපාසිකා නම් වූ පිරිසටද වැඩ සලසා දුන් ආකාරය පිළිබඳවත් ධර්ම විවරණයක් කර ගැනීමයි.

මේ සඳහන් කරන දහම් කතාව ඔබ බොහෝ කෙනෙක් මෙයට පෙරාතුව අසා තිබෙන්නට පුළුවනි. කියවා තිබෙන්නට ද පුළුවනි. මේ දහම් කතාව අප විසින් වර්තමාන පරිසරයට ගළපාගෙන, වස්සාන කාලයේ ගිහි පැවිදි දෙපාර්ශ්වය ම භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයෙන් ඵල ලබන්නේ කෙසේ දැයි විමසා බලමු.

සැවැත් නුවර වැසි මහාපාල නම් කෙලෙඹි පුත්‍රයෙක් ගිහිගෙයි කළකිරී ශ්‍රද්ධාවෙන් පැවිදි ජීවිතයට පත්විය. බුදුරජාණන් වහන්සේ වෙතින් කමටහන් ලබා, හැටනමක් භික්ෂූන් සමඟ එකසිය විසි යොදුන් මඟ ගෙවා එක්තරා පිටිසර ගමකට වැඩම කළහ. එම ගමෙහි මිනිස්සු ඉතාම සීලසම්පන්න, පිළිවෙත් මඟ අනුගමනය කරන මේ භික්ෂූන් වහන්සේලා දැක සතුටුව වඩා හිඳුවා මෙසේ විමසූහ.

“ඔබ වහන්සේලා වඩින්නේ කොහි ද?”

“උපාසකවරුනි, පහසු තැනක් සොයාගෙන අපි වැඩම කරන්නෙමු.”

උපාසක උපාසිකාවන් විසින් මේ භික්ෂූන් වහන්සේලා වස් විසීමට සුදුසු ස්ථානයක් සොයා වැඩම කරන්නේ යැයි සිතා, වස් විසීමට ආරාධනා කොට උන්වහන්සේලාට පහසුවෙන් වාසය කිරීමට සුදුසු ආකාරයෙන් විහාර, සෙනසුන් පිළියෙළ කොට දුන්නාහ. පාලිත තෙරුන් වහන්සේ වස් වසන දවසෙහි ඒ හැම දෙනා වහන්සේට කතා කොට මෙසේ සඳහන් කරති. “ඇවැත්නි, අද වස් වසන දවස නේද? අපිද මෙතෙක් තැන් භාවනාවට සුදුසු කාලයක් බවට පත් කරගෙන සිටින්නෝ වෙමු. අපි මෙහි පැමිණුනේ තථාගත බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් රැගෙනයි. බුදුරජාණන් වහන්සේ විසින් සියලු කෙලෙස් නසා රහත් බව ඇතිකර ගැනීමට අවශ්‍ය කමටහන් අපට ලබා දෙනු ලැබූහ. බුදුරජාණන් වහන්සේලා, වැඩ සිටින තැනම සිට අප කරන කියන, හිතන දේ දැනගනිති.’ හරියට මදු සහිත සොරුන් අල්ලාගන්නා රාජ පුරුෂයන්ට සේ බුදුරජාණන් වහන්සේට අපේ සිත් දැනගන්නට පුළුවනි.”

මෙසේ පාලිත තෙරුන් වහන්සේ තමාටත් අවවාද කොටගෙන, අන් භික්ෂූන් වහන්සේලාටත් අවවාද කොට වස් සමාදන් වූහ. ඒ කාලය තුළ අප්‍රමාදී ව, උත්සාහවත් ව භාග්‍යවතුන් වහන්සේ වෙතින් ලබාගත් කමටහන් ප්‍රගුණ කළ සේක. එසේ ප්‍රගුණ කර, කෙලෙස් නසා, ලෝකෝත්තර ස්වභාවයෙන් ඉහළම ස්වභාවයට පත් වූ හ. දායකයෝත් උන්වහන්සේලාට වැඳ පුදා, දන් දී, උපස්ථාන කොට සීල සමාධි ප්‍රඥා ගුණ වඩා පොහෝ දිනයන්හි පෙහෙවස් සමාදන්ව දෙලොව ජීවිතය ම සැප සාදාගත් බව ධර්ම කතාවේ සඳහන් ය.

මෙම දහම් කතාව වර්තමාන පරිසරය තුළ කොතෙක්දුරට ක්‍රියාත්මක වන්නේ දැයි අප විසින් සිතා බැලිය යුතුයි. වස් විසීම වස්සානයේ පින්කම් චාරිත්‍රයක් හැටියට සිදු නොකොට, මෙසේ පාලිත තෙරුන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා හැට නම අධිෂ්ඨානයෙන් ඒ තුන් මාසයක කාලයෙන් ප්‍රයෝජන ගත් ආකාරය වර්තමානයෙහි සියලු උපසපන් භික්ෂූන් වහන්සේලාත්, දායක දායිකාවන් සියලු දෙනා විසිනුත් නිරන්තරයෙන් මෙනෙහි කරගත යුතුයි. වස්සාන කාලය ආරම්භ වන්නේ ලාංකික පරිසරයෙහි දැහැත් ගොටුවක් හෝ දැහැත් අතක්, වැසි සළුවක් සමගින් පිළිගැන්වීමේ චාරිත්‍රයෙනි.

එම චාරිත්‍රය සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්නට භික්ෂූන් වහන්සේලාට කරන ආරාධනාවකි. ඒ වගේ ම තමන් ද මේ කාලය තුළ සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩා උතුම් වූ ධර්ම මාර්ගයේ සැනසිල්ලක් ලබනවා කියන අදහසයි. ඒ අනුව මේ වස් තුන්මාසයක කාලය වසරේ අනෙකුත් කාලවලට වඩා සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන කාලයක් හැටියට ම දියුණු කර ගැනීමට භික්ෂූන් වහන්සේලාත්, දායක පිරිසත් අධිෂ්ඨාන කරගත යුතු වේ. වස්සාන කාලයෙහි පින්කම් සිදු කරනවා කියන අදහසින් කාර්ය බහුලත්වයට පත් වී, වැඩ කටයුතු සංවිධානය කරමින්, පිරිස කැඳවමින්, බොහෝ බාහිර කටයුතුවල යෙදෙමින්, කාලය ගත කිරීමෙන් සිදු වන්නේ සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්නට තිබෙන කාලය මද වීමයි. භික්ෂූන් වහන්සේ නමක්, පැවිදි ජීවිතයට පත්වීමේ දී ඇතිකර ගත්තා වූ ස්වයං අධිෂ්ඨානය නිරන්තරයෙන් සිහිපත් කර ගත යුතු ම ය.

එනම් ‘නිබ්බාණ සච්චිකිරියා ය’ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස පැවිදි වෙනවා කියන අදහසයි. දවසේ වැඩි කාලයක් ඒ වෙනුවෙන් පිළිවෙත් පුරනවා යන අදහසින් ම සතර ඉරියව් පැවැත්විය යුතු ය. අන් අයට පිහිටවීම පිණිස ද, යම් කාලයක් වෙන් කර ගත යුතු ය. එනමුත් ඒ කිසිදු කාර්යයක් නිසා තමා ඇති කරගත් මූලික අදහස වූ ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන්, සසරින් නිදහස් වීමේ අරමුණ බැහැර නොවිය යුතු ය. වස් තුන් මාසයක කාලයක් එක විහාරයක හෝ එක ස්ථානයක වැඩ සිටින්නට විනය ශික්ෂා පද පැනවීමෙන් හෝ විනය ප්‍රඥප්තියක් අනු දැන වදාරමින් භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වන්නට ඇත්තේ තව දුරටත් ඒ අරමුණ ඉටුකර ගන්නට වඩා යහපත් වූ අවස්ථාවක් සලසා දීම ය.

දායක දායිකාවන්ගේ හෝ මහජනතාවගේ ඉල්ලීම නිසා භික්ෂූන් වහන්සේලා වැසි වැටෙන කාලය තුළ එක ස්ථානයක වැඩ සිටීමට අධිෂ්ඨාන කර ගත්තත්, එය අර්ථාන්විත බවට පත්වූයේ ඒ කාලය සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩමින්, කමටහන් දියුණු කිරීමෙන් මාර්ගඵල අවබෝධයට අවශ්‍ය අවස්ථාව පහසුවෙන් සලසා ගැනීමේ හැකියාව ලැබුණු නිසයි.