Print this Article


මතක ශක්තියට දිව්‍ය ඖෂධයක්...

මතක ශක්තියට දිව්‍ය ඖෂධයක්...

ආනාපාන සතිය ඉතා පහසු, ඉතා වටිනා ප්‍රතිඵල ලබා දෙන සුවිශේෂී භාවනාවක්. ‘ආනාපාන’ කියන තැන ‘ආන’ යනු ඇතුළට ඇදෙන හුස්ම යි. ‘අපාන’ කියන්නේ පිටවන හුස්ම, ඇතුළුවන හුස්ම හා පිටවන හුස්ම පිළිබඳ ව සිහිය එළවීම, නැතිනම් කල්පනාවෙන් සිටීම ආනාපාන සතිය යි.

ආනාපානසතිය බුද්ධ කාලයටත් එහා ගිය භාවනා ක්‍රමවේදයක්. බුදුරජාණන් වහන්සේ ඊට විශේෂ අර්ථ කථනයක් දී තිබුණාට බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමට පෙර භාරතීය සමාජය තුළ තිබූ දෙයක්. එහෙත් ඒ තරම් රමණීය ලෙස, බුද්ධිමත් ලෙස එය ක්‍රියාත්මක වුණේ නෑ. කෙසේ වුව ද එකල ලෞකික ධ්‍යාන සමාපත්ති වැනි දේ උපදවාගෙන තිබෙන්නේ ආනාපාන සතිය ම පාදක කරගෙන යි. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුත්ථ, පඤ්චම යන රූපාවචර ධ්‍යාන පහෙන් සිව්වැනි, ධ්‍යානය දක්වා රූපාවචර ධ්‍යාන සතරත්, ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය යන අරූපාවචර ධ්‍යාන සතරත් එකතු වූ විටයි අෂ්ට සමාපත්ති වන්නේ. මේ අෂ්ට සමාපත්ති උපදවා ගැනීම කියලා කියන්නේ ලෞකික මනස උපරිම තලයට දියුණු කිරීම යි. අධ්‍යාත්මික තලයෙහි මූලික පියවර සෝවාන් වීම යි. අෂ්ට සමාපත්ති උපදවා ගැනීම අධ්‍යාත්මික තලයේ උපරිම ඵලය යි. ලෞකික මනස මේ තරම් දියුණු කරන්නට පුළුවන් මූලික පියවර තමයි ආනාපානසති භාවනාව.

බුද්ධ කාලයට පෙර භාරතීය සමාජය තුළ විවිධ තාපස කණ්ඩායම්වල රූපාවචර ධ්‍යාන හා අරූපාවචර ධ්‍යාන යන දෙකොටස ම උපදවාගත් පිරිස් සිටියා. පස්වග තවුසන් රූපාවචර ධ්‍යානවල පඤ්චම ධ්‍යානය ම උපදවාගෙන සිටියා. ආලාරකාලාම, උද්දකරාමපුත්ත දෙදෙනා ඇතුළු යම් පිරිසක් ලෞකික වශයෙන් සැලකෙන රූපාවචර හා අරූපාවචර ධ්‍යාන දෙකොටසම, උපදවා ගත් පිරිසක් ලෙසයි සැලකෙන්නේ.

බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමට පෙර, වප් මඟුල් උත්සවය පවත්වන අවස්ථාවේ දී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ දෙස නොවෙයි බලාගෙන සිටියේ. උන්වහන්සේ ඵලක් බැඳගෙන ආනාපාන සතිය වැඩිය බව සඳහන් වෙනවා.

ආනාපානසතිය බුද්ධ දර්ශනයට ම, බුදු සසුනටම අදාළ වූ දෙයක් නොවන බව ඒ අනුව පැහැදිලියි. ආනාපානසතිය පොදුවේ භාරතීය සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ පැවැති දෙයක් වුවද, බුදුරජාණන් වහන්සේ ඊට සුවිශේෂී අර්ථ කථනයක් ලබා දී තිබෙනවා. නව්‍ය එකතු කිරීම් කර තිබෙනවා. සමථ භාවනාවතුළින් අප දකින්නේ සාමාන්‍යයෙන් සිතිවිලි, නැතිනම් කෙලෙස් සමථයකට පත් කිරීමයි. නැතිනම්, සමනයකට පත් කිරීම යි. අෂ්ට සමාපත්ති උපදවා ගැනීමෙන්, ධ්‍යාන තත්ත්වයන්ගෙන් බලාපොරොත්තු වන්නේ තාවකාලිකව, තදංග වශයෙන් කෙලෙස් යටපත් කිරීම යි. කාමඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුකුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණ, නිවන ආවරණය කරන ධර්ම තදංග වශයෙන්, තාවකාලිකව යටපත් කිරීමක් පමණයි සිදු කරන්නේ. නිවන් දැකීම දක්වා යන්නා වූ ගමනේ දී, ලෝකෝත්තර ගමනේ දී, නැතිනම් අධ්‍යාත්මික ගමනේ දී එසේ තදංග වශයෙන් ප්‍රහාණය කරන නීවරණ ධර්ම, දස සංයෝජන ධර්ම වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම සිදු කරනවා.

බොහෝ ගැඹුරු භාවනාවන්ට මූලික පියවරක් වශයෙන්, විශේෂයෙන් ම විදර්ශනා ප්‍රඥාව වැඩීම සඳහා මූලික පියවරක් වශයෙන් සලකන්නේ ආනාපානසති භාවනාව යි.

සිත කොටස් දෙකකින් සමාධි ගත කරන්න, එක්තැන් කරන්න පුළුවන්කම තිබෙනවා. මිච්ඡා සමාධි හා සම්මා සමාධි යනුවෙන්, මිච්ඡා සමාධි කියන්නේ නරක විදිහට, නරක අරමුණක සිත දියුණු කිරීමයි. සම්මා සමාධිය කියන්නේ හොඳ චේතනාවක, කුසල චේතනාවක, කුසල අරමුණක සිත දියුණු කිරීම යි. මිච්ඡා සමාධිය දියුණු කළ අය තමයි යම් යම් පර්යේෂණවලින් මනුෂ්‍යයාට, සමාජයට, පරිසරයට, විශ්වයට අහිතකර යම් යම් නිපැයුම් නිර්මාණය කරන්නේ. උදාහරණ වශයෙන් මේ මානව ඉතිහාසය තුළ පරමාණු බෝම්බ, න්‍යෂ්ටික අවි ආයුධ, වගේ දේවලින් මොනතරම් ප්‍රකෝටි සංඛ්‍යාත මිනිස් සංහාර සිදු වී තිබෙනවා ද? මිච්ඡා සමාධිය දියුණු කිරීමෙන් තමයි එවැනි නිර්මාණ කරන්නේ.

සම්මා සමාධියට අයත් වන්නේ බුද්ධාදී උත්තමයන් වහන්සේලා. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්, සුවිශේෂී ඥාන ලාභී රහතන් වහන්සේ, පසේ බුදුහාමුදුරුවන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා.

සම්මා සමාධියෙහි අග්‍රස්ථානය, නැතිනම් අගතැන් බව සම්මා සම්බුද්ධත්වය යි. ආනාපානසතිය පමණක් ගෙන විමසුවේනම්, සාමාන්‍යයෙන් භාවනාවට පිවිසෙන අවස්ථාවේ දී පංච නීවරණ ධර්ම තදංග වශයෙන් යටපත් කිරීමකුයි සිදුවන්නේ. මෙහිදී අප සැලකිය යුතු වන්නේ ආනාපානසතිය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව යි. මා දකින විදිහට, මෑත ඉතිහාසයේ ප්‍රායෝගික ව ආනාපානසතිය ඉහළින් වැඩූ උත්තමයන් වහන්සේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන් වහන්සේ යි.

ආනාපාන සතිය වැඩීමෙන් අප්‍රමාණ මානසික දියුණුවක් ලබන්නට පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කොට තිබෙනවා. උන්වහන්සේ සාමාන්‍යයෙන් පාසල් ගියේ දෙක, තුන පන්තිවලට පමණයි. එහෙත් මියන්මාර් රාජ්‍යයෙන් පිටරැටියෙකුට ප්‍රදානය කළ ඉහළම තනතුර අභිධජ මහා රට්ඨගුරු තනතුර යි. එය ලබන්නට තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වුණා. ඉන්පසු එම තනතුර මේ වනතුරුත් කිසිවෙකුට හිමි වී නෑ. ඒ වගේ ම උන්වහන්සේට තුරුණු වියේ දී ම බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ සභාපතිත්වය, ලබා ගන්නට හැකි වුණා. මියන්මාරයේ දී (බුරුමය) හයවැනි ධර්ම සංගායනාව පැවැත් වූ අවස්ථාවේ එහි දිනෙක සභාපතිධූරයට උන්වහන්සේ පත් කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නැතිනම් විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබඳව කථිකාචාර්ය, මහාචාර්ය ධූරයන් හොබවමින් අන්තිමේ දී උපකුලපති ධූරයට පත් වෙන්නට හැකියාව ලැබුණා. ඒ වගේ ම මියන්මාර් රාජ්‍යයෙන් උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත උපාධිය හිමි වුණා. භාෂා දොළසක් පිළිබඳව ලිවීමට, කියවීමට කතා කිරීමට හැකියාව ලැබුණා. ඒ අනුව ප්‍රායෝගිකව ආනාපාන සතිය වැඩීම තුළින් ලබන ඉහළම ප්‍රතිඵලය අත්පත් කරගත් ඉතාම ඉහළ ගණයේ පරමාදර්ශී නිදර්ශනය, උන්වහන්සේ යි.

ඒ අනුව ආනාපානසතිය අපට මොනතරම් වටිනවා ද? එය මොන තරම් ශ්‍රේෂ්ඨ මාණික්‍යයක් ද?. අප තවමත් අඳුරේ අතපත ගාමින් සිටින බවකුයි පෙනෙන්නේ. අපේ රටේ බෞද්ධ සංස්කෘතිය තුළ ආනාපානසතිය පමණක් වුවද වඩනවා නම්, මොන තරම් කාර්ය භාරයක් කළ හැකි ද? මොන තරම් පැතිවලින් ලෝකය ජය ගන්නට පුළුවන් ද? ජීවිතය පිළිවෙළ කර ගැනීමට, පහසු කර ගැනීමට, පිළිවෙළකට වැඩක් කර ගැනීමට, මතක ශක්තිය දුර්වල අයට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට, ඉගෙනීම සාර්ථක කර ගැනීමට ආනාපානසතිය මොන තරම් දිව්‍ය ඖෂධයක් ද?

බුදු සව්වන් අතර පරමාදර්ශය සපයා තිබෙන උත්තම ගණයේ ස්වාමීන් වහන්සේ නමක් ලෙස අප සලකන්නේ සැරියුත් මහරහතන් වහන්සේ යි. උන්වහන්සේ උපතිස්ස පරිබ්‍රාජක ව සිටිය දී අස්සජී හිමියන්ගේ ‘යෙ ධම්මා හේතුප්පබවා’ ආදී ගාථා ධර්මය ශ්‍රවණය කිරීමෙන්, ඒ ගාථාවේ දෙපාදයක් ඇසීම පමණින් ම සෝවාන් බවට පත් වුණා. එයින් අදහස් වන්නේ බුදුරජාණන් වහන්සේ හැරුණුකොට උන්වහන්සේ සංසාරයේ අසීමිත විදිහට ආනාපාන සතිය වඩන ලද බවයි. එහෙත් උපතිස්ස පරිබ්‍රාජකගේ මිත්‍ර කෝලිත පරිබ්‍රජකට සෝවාන් වීමට මේ ගාථාවේ පාද සතරම අසන්නට සිදුවුණා. එය වෙනම කතාවක්.

බෞද්ධ සාහිත්‍යයේ මේ ආකාරයට සඳහන් වෙනවා.

අප්පකෙ නා භි මෙධාවි
පාභතෙන විචක්ඛණො
සමුට්ඨ පෙති අත්තානං
අනුං අග්ගිංව සන්ධමන්ති

ආනාපාන සතිය වැනි භාවනාවක් වඩා සිත දියුණුකර තිබෙන කෙනා ඥානවන්තයෙක්. ‘මේධාවි’ කියන ඥානවන්තයාට බොහොම ස්වල්පය යි, ඕනෑ කරන්නේ. බොහෝ ප්‍රමාණයක් ඕනෑ කරන්නේ නෑ. දැනුම නම් දැනුම මෙළවීම පමණයි අවශ්‍ය වන්නේ. ඒ මූලික පියවර තුළින් ම විශාල දෙයක් තේරුම් ගැනීමේ, ‘පාභතෙන විචක්ඛණො’ ප්‍රභාෂ්වර, විචක්ෂණ නුවණ මෙහෙයවා විශාල දෙයක් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා.

හරියට කෙසේ ද කියනවා නම් සමුට්ඨාපෙති අත්තනාං
අනුං අග්ගිංව සන්ධ මන්ති

සුළු ගින්නකින් විශාල ගින්නක් ඇති කරගන්නා සේ යි.

කුඩා ගිනි කූරක් දැල්වීමෙන් රටක් රාජ්‍යයක් වුව දවා අළු කරන්නට පුළුවන්. මහා ගිනි ජාලාවක් බවට පත් කරන්නට පුළුවන්. එලෙස ආනාපාන සතිය තුළින් මනස දියුණු කළ කෙනාගේ නුවණ කොයිතරම් ද කියනවානම්, දැනුම තුළ ඉතාම සුළු දෙයක් වුව ද, මෙළවීම තුළින් විශාල පරාසයක යමක් හඳුනා ගැනීමේ, අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් ‘බුද්ධිය මෙහෙයවීම’ යන්න ඇත්තේ ආනාපානසතිය තුළ යි. කට පාඩමෙන් බුද්ධිය මෙහෙයවිය නොහැකියි. එතැන නිර්මාණය වන්නේ උගත්කම පමණයි. උගත්කමතුළ බුද්ධිය මෙහෙයවන්නට පුළුවන්කම තිබෙන්නේ ආනාපානසතිය වැඩීමෙන් ම යි.

මීට සමීප අතීතයේ ජීවමාන සාධකය වශයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන් වහන්සේ මෙවැනි සුවිශේෂී ස්මෘති ඥානයක් ප්‍රකට කළා වූ, උත්තම ගණයේ ස්වාමීන් වහන්සේ නමක් ලෙස සලකන්නට පුළුවන්. අපට තිබෙන ජීවමාන සාධකය උන්වහන්සේ යි. එනිසා ආනාපාන සතිය වැඩීමට පැකිළෙන්නට අවශ්‍යතාවක් නෑ. දෙවතාවක් සිතන්න අවශ්‍ය නෑ. ඕනෑම කුඩා ළමයෙකුට වුණත් පුරුදු පුහුණු කළේ නම් විශාල දියුණුවක් ලබන්නට, ආධ්‍යාත්මික වශයෙන්, ලෞකික වශයෙන් වුවත් බොහෝ ජයග්‍රහණ උපදවා ගන්නට පුළුවන් දිව්‍ය ඖෂධයක් ලෙස යි ආනාපානසතිය හඳුන්වා දිය හැකි වන්නේ.

මෙම ලිපියේ ඉතිරි කොට ''ආනාපාන සතිය වැඩීම ඉතා පහසුයි" බිනර අව අටවක පෝදා (සැප්තැම්බර් 22) පත්‍රයේ පළවේ.