Print this Article


මහා ප්‍රජාපතී ගෝතමි තෙරණියගේ ශාසනික මෙහෙවර

මහා ප්‍රජාපතී ගෝතමි තෙරණියගේ ශාසනික මෙහෙවර

අංජන (මහා සුප්‍රබුද්ධ) රජුට හා රූ සිරියෙන් අගතැන්පත් ලුම්බිනී නම් බිසොවුන්ට දාව උපන් වැඩිමහලු දියණිය මායා නම් විය. ඇයට මේ නම තබනු ලැබුවේ දුටුවන් මෝහනයට පත් කරවන රූපයක් පැවැති නිසාවෙනි.

ලුම්බිනී බිසොවුන් හට තවත් වසර දෙක තුනකට පසු දෙවන දුවක් ද ලැබිණි. ඇය පළමු දියණියටත් වඩා රූපශ්‍රීයෙන් ශෝභමාන වූවා ය. මේ නිසාවෙන් පළමු දියණිය “මහාමායා ගෞතමි” නාමයත් දෙවන දියණිය “මායා ගෞතමි” යනුවෙනුත් තම් තැබී ය. මේ දෙදෙනා උපන් අලුත සිය පිය රජතුමා විසින් ජ්‍යොතිර් විද්‍යාඥයන් ගෙන්වා (නිමිත්ත පාඨක බමුණන්) ඒ ඒ කුමාරියන්ගේ උපන් වෙලාවල් ද, ගත ලකුණු අනුව පලාපල බලා කියන්න යැයි අයැදී ය. ඔවුන් මැනවින් ඒ සියල්ල පිරික්සා මේ කුමරියන් දෙදෙනා ම සක්විති රජ වන්නට තරම් පින් ඇති දරුවන් ලබන්නට පින් ඇති බව පැවසූහ. බමුණන්ගේ ශාස්ත්‍ර අනුව දෙවෙනි දුව (මායා ගෞතමි) බොහෝ දරු කැළකට මවක වෙතැයි කී බස අසා පිය රජ ඇගේ පළමු නම වෙනස් කොට “ප්‍රජාපතී ගෝතමි” යැයි දෙවෙනි නමක් තැබී ය. පසු ව කුමරිය දෙවෙනි නමින් ප්‍රසිද්ධ වූවා ය.

තරුණ වයසේ සිටි සිංහානු රජුගේ හා කාංචනා අග බිසවුන්ගේ වැඩිමහලු පුත් වන ශුද්ධෝදන (සුදොවුන්) කුමරුට මෙම කුමාරිකාවන් දෙදෙනා ම විවාහ කර ගැනීමට සිත් පහළ විය. විශේෂිත සැලකිය යුතු කරුණක් නොමැතිව එක් භාර්යාවකට වඩා වැඩියෙන් බිරියන් තබා ගැනීම ශාක්‍ය වංශික රජුන්ට නීතියෙන් තහනම් විය. මේ නිසා සිංහානු රජ, රාජ සභාව කැඳවා පුතුගේ ඉල්ලීම එයට ඉදිරිපත් කළේ ය. රාජ සභාව සුදොවුන් කුමරුගේ අදහස විචාරා එයට කී කරුණු විමසා බලා කුමරියන් දෙදෙනා ම සරණපාවා ගන්නට අවසර දුන්හ. (කුමරියන් දෙදෙනාට ම සක්විති පුතුන් ලැබීමට ඇති වාසනා ගුණය)

මහාමායා බිසවුන් වහන්සේ කළුරිය කිරීමෙන් පසු සිදුහත් බිළිඳුන් හදාවඩා ගැනීමේ වගකීම (කිරිමව් තනතුර) පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමියන් වෙත ය. තම පුතු වන නන්ද කුමරු කිරිමව්වරුන්ට බාර දී සිදුහත් කුමරුගේ සුළු මව ලෙස හදා වඩා ගත්තේ මහා ප්‍රජාපතී ගෞතමි විසින් ය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සමයේ සසුන් ගත වීමට කැමැත්ත ඉල්ලී ය.

“අථ මහා පජාපති ගෝතමියා පබ්බජ්ජාය චිතතං උප්පජ්ජි” (චට්ට සංගායනා සංයුක්ත තැටි 03) “ස්වාමිනි, තථාගතයන් වහන්සේගේ ධර්‍ම විනයෙහි ස්ත්‍රීන්ට පැවිදි භාවය ලබාදෙන සේක් නම් මැනැවැයි” භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කර සිටියා ය. අනතුරු ව බුදුරදුන් විසින් තථාගත ධර්‍ම විනයෙහි ස්ත්‍රීන් පැවිදි වීමට රුචිය අපේක්ෂා නො කළ යුතු යැයි ද, තථාගතයන් වහන්සේ මේ සඳහා අවසර නොදෙන්නේ යැයි ද පැවසූ සේක.

“සාධු භනෙත ලභෙය්‍ය මාතුගාමො තථාගතස්ස වෙදිතෙ” “ධම්ම විනයෙ ආගාරස්මා අනගාරියා පබ්බජ්න්‍ති” (චුල්ලවග්ගපාලි විනය පිටකය - භික්ඛුනි ඛන්දකය )

“ගෝතමිය, කම් නැත. තථාගතයන් දැන හෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු රිසි නොවේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මේ නිසා මහා ප්‍රජාපතී ගෝතමි දුක් දොම්නසින්, කදුළු සළමින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට නික්ම ගියා ය.

සුදොවුන් රජුගේ අභාවයෙන් පසු ව දැඩි කළකිරීමට පත් ගෝතමියට නැවත සසුන්ගත වීමේ ආශාව බලවත් ව දැනෙන්නට වූවා ය. එසේ ම ශාක්‍ය කෝලිය ගැටුම සංසිඳවීමේ දී පැවිදි වූ කුමාරවරු පන්සිය දෙනාගේ භාර්යාවන් පන්සිය දෙනා ද ප්‍රජාපතී ගෝතමිය වටා එකතු වූ හ. ගෝතමිය ප්‍රධාන කොට, කසාවත් හැඳ වේසාලි (විශාලා) නුවර බලා ගමන් ආරම්භ කළෝ ය. එහි දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කූටාගාර ශාලාව වෙත ගියෝ ය. එහි දී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත් විමෙන් ගෝතමිය බුදුරජාණන් වහන්සේගේ තථාගත ධර්‍ම විනයෙහි ස්ත්‍රීන්ට පැවිදි භාවය ලබා ගැනීමට අවසර දෙන මෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විට ආනන්ද තෙරුන් වහන්සේ බුදුරදුන් වැඩ සිටි කූටාගාර ශාලාව වෙතට වැඩම කළේ ය. එහි දී සිය සුළු මව මහා ප්‍රජාපතී ගෝතමි පිළිබඳ සියලු පුවත් බුදුරජාණන් වහන්සේට පවසා ස්ත්‍රීන්ට තථාගත ධර්‍ම විනයෙහි පැවිදිභාවය ලබාදෙන ලෙස අයැද සිටියේ ය. මෙම අවස්ථාවේදීත් සිය සසුනේ ස්ත්‍රීන්ට පැවිදි බව ලබා දීමට කටයුතු නො කරන බව බුදුරදුන් ප්‍රකාශ කළ සේක.

මෙලෙස කාන්තාවන්ට පැවිදි උපසම්පදාව එකවර (පහසුවෙන්) ලබා නො දීමට කරුණු කිහිපයක් බලපාන ලදී.

එදා පැවති බමුණු දහමේ කාන්තාවට ලබාදුන් පහත් තත්ත්වය අවබෝධ කරදීමට.

කාන්තාවට පැවිදි භාවයේ ඇති වටිනාකම මේ තුළින් තව තවත් අවබෝධ කරලීමට.

අපහසුවෙන්, වෙහෙසවීමෙන් ලබන දෙයක ඇති වටිනාකම අවබෝධ කිරීමට.

කාන්තාව තුළ ස්වාභවයෙන් ම පවතින ඇතැම් ගති ස්වභාවයන් තේරුම් කර දීමට (නිහතමානි ගුණ ඇති කිරීමට)

පළමු ඉල්ලීම සිදු කළ සැණින් ම බුදුරදුන් ඊට අවසරය ලබා දුන්නේ නම් ප්‍රව්‍රජ්‍යාභාවයෙහි කිසිදු බැරෑරුම් බවක් පැවිදි භික්‍ෂුණීහු නො දනිති. දුකසේ අපහසුවෙන් ලබාගත් කල ශාසනික බ්‍රහ්මචර්යාව හොඳීන් වටහාගෙන ඒ අනුව ජීවත් වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති.

අනතුරුව ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ස්ත්‍රීන්ට මාර්ගඵල ලබා ගත හැකිදැයි විමසූ සේක. තව දුරටත් ආනන්ද තෙරුන් මෙසේ ප්‍රකාශ කළේ ය. “ප්‍රජාපතී ගෝතමියගේ ගුණ ප්‍රකාශ කර ඇය බොහෝ උපකාර වී ඇති බැවින් ධර්ම විනයෙහි පැවිදි බව ඇයට ලබා දෙනු මැනැවැයි” ආනන්ද තෙරුන් බුදුරදුන්ගෙන් ඉල්ලා සිටි සේක.

ඉතිරි කොටස 22වනදා බිනර අව අටවක පෝදා පත්‍රයේ පළවේ