[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මේ වස්සාන කාලයයි - 05: අධ්‍යාත්මික ගුණවගාව වස්සානයේ දී ඕනෑමයි

මේ වස්සාන කාලයයි - 05:

අධ්‍යාත්මික ගුණවගාව වස්සානයේ දී ඕනෑමයි

වස්සාන සමයෙහි මාර්ග ඵල අවබෝධය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූවත් ධර්ම කතාවේ පෙන්වා දෙන අමාදොර වෙත සමීපවන ගමන් මාර්ගයට පත්වීම අවශ්‍ය බව අපි පැහැදිලි කරගත්තෙමු.

එනම් අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා නම් වූ මාර්ගය ඔස්සේ පිළිවෙලින් ශික්ෂා මාර්ගය දියුණු කරගෙන සීල, සමාධි, ප්‍රඥා මාර්ග පිළිවෙලින් දියුණුකරගෙන, සක්කාය දිට්ඨියේ පටන් සංයෝජන පිළිවෙලින් බැහැර කර ගැනීමේ මාර්ගයට පිවිසිය යුතු ම යි. තමාගේ අධ්‍යාත්මික ගුණයන් ක්‍රමයෙන් දියුණු කරගත යුතුමයි. පසු ගිය වසරේ පැවැති කෙලෙස්වලට වඩා මේ වසර වන විට කෙලෙස්වල අඩුවීමක්, සංසිඳීමක් තමා තුළ පැවැතිය යුතු ම යි. මින් අදහස් වන්නේ පසු ගිය වස්සාන කාලය තුළ අප වස් හාරමාසයක් මෙලෙසින් කටයුතු කළා. කඨින චීවර පූජා පින්කමත් ඉතාමත් ඉහළින් සිදු කළා. ලෞකික වශයෙන් සිරිත් විරිත් පෙරහර චාරිත්‍ර හා ඇසට පෙනෙන, කනට ඇසෙන, සිතට දැනෙන බොහෝ දේ, බොහෝ සේ දුටුවත්, සිදු කළත්, සිතට දැනෙන අධ්‍යාත්මික කෙලෙසුන් හි සංසිඳීමක් සිදු වී ඇත්දැයි නුවණින් සිතා බැලීම අවශ්‍යයයි. තවත් සරලව සඳහන් කරන්නේ නම්, “තණ්හා, මද, මාන, දිට්ඨි’ සංසිඳී යමින් වඩ වඩාත් ඇස, කන ආදී ඉන්ද්‍රියන් හි සංසිඳීමක්, රූපා ආදී අරමුණු පරිහරණයේ දී අකුසල කර්ම රැස් නොවී කුසල මාර්ගය ම සකස්වන බවත් තමන්ට වැටහී ඇත්දැයි තමා තමා විසින් ම සිහිපත් කරගත යුතුමයි.

එසේ නොමැති වූයේ නම්, වස්සාන කාලයක ආරම්භය ද අවුරුද්දේ අනිකුත් මාසවල වගේ ම පින්කම් කරන, පෙරහර පවත්වන, විවිධ ආකාරයේ ආගමික උත්සව පවත්වන කාලයක් පමණක් බවට පත්විය හැකි ය. එය බුදුරජාණන් වහන්සේ විසින් වස්සූපනායික ධර්ම යටතේ, තමන් ලද ප්‍රඥප්තියෙන් බලාපොරොත්තු වූ අදහස ඉටුනොවීමක් ලෙස අප සිහිපත් කරගත යුතු ම යි.

බුදුරජාණන් වහන්සේගේ සමයේ දී සෑම වස්කාලයක ම, සෑම ආරාමයක ම, සෑම ස්ථානයක ම වස් විසූ උපසපන් භික්ෂූන් වහන්සේලා අතරින් වැඩි පිරිසක් හෝ කිහිප නමක් හෝ මාර්ගඵලාවබෝධයට පත්වූහ. එසේ නොමැති නම්, ඒ මාර්ගඵලාවබෝධයට ළංවීමේ අවස්ථා ඇති කරගත් බව ඉතාම පැහැදිලියි. මේ නිසා වර්තමාන පරිසරය අනුව, තවත් වස් කාලයක් ආරම්භ කළා හෝ පවත්වනවා හෝ කියන අදහසට වඩා, දහස් ගණනකගේ සහභාගිත්වයෙන්, ඇතුන් සහිත මහ පෙරහරකින් කඨින චීවරය වැඩම කළා කියන අදහසට වඩා අධ්‍යාත්මික ගුණවගාවක් ඇති කර ගැනීම කළ යුතුමයි. ඒ බවට වස්සානය ආරම්භයේ දී ම ඔබ විසින් අධිෂ්ඨාන කර ගැනීම අවශ්‍යයයි.

වස්සානය ආරම්භයේ දී ඔබ කළ චාරිත්‍රයක් පිළිබඳවත් සිහිපත් කිරීම අවශ්‍යයයි. බුදුරජාණන් වහන්සේගේ දවස ඉහත සඳහන් කළ ආකාරයෙන් වස් ආරාධනා කළේ මෙලෙසය. භික්ෂූන් වහන්සේලාට පැන් පිළිගන්වා, දෙපා නැමැඳ මේ වස් තුන්මාසයක කාලය තුළ මේ ස්ථානයේ වැඩ සිටින ලෙස ආරාධනා කිරීමෙනි. ඒ අනුව භික්ෂූන් වහන්සේලා ඇසළ මාසයේ අව පෑළවිය දා බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තිය අනුව “ඉමස්මිං විහාරෙ ඉමංතේ මාසං ඉධ වස්සං උපේමි” යන අධිෂ්ඨානය අනුව මේ විහාරයෙහි, මේ වස් තුන්මාසයක කාලය තුළ වස්සාන සමය අධිෂ්ඨාන කොට ගත කරමි යන අදහසින් ඒ කාලය එතැන් සිට ගත කරනු ලැබුහ.

වර්තමානයේ දී දායක පිරිස විසින් ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතික පරිසරය අනුව දැහැත් වට්ටියක්, එයට අවශ්‍ය මූලික යමක් සමඟින් බෙහෙත්, ගිලන්පසට අවශ්‍ය යමක් වෙන්නට පුළුවනි. පිළිගන්වා, දැහැත් ගොටුවක් පිළිගන්වා වස් ආරාධනා කිරීම සිරිතයි. එයට අමතරව විශේෂයෙන් පූජා කරන යමක් එහි අඩංගුව පවතිනවා. එය වර්තමානයේ හඳුන්වන්නේ වැසි සළුව ලෙසයි. මින් අදහස් කරන්නේ රෙදි කඩකුයි. තවත් වචනයකින් සඳහන් කරන්නේ නම් ස්නානය කිරීමට අවශ්‍ය රෙදි කඩකි. ශාසනික වචනය නම් නානකඩය යි.

එවැනි යමක් පුජා කිරීම සිරිතයි. එය භාග්‍යවතුන් වහන්සේ දවස සිදු වූ අතුරු කතාවක් හා සම්බන්ධයි. භික්ෂූන් වහන්සේලාට දායක ඇත්තන් විසින් වස් විසීම පිණිස ආරාධනා කළා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තිය අනුව වාසය කළා. උන්වහන්සේලා ස්නානය කිරීමට හෝ විහාරය තුළ හෝ එහා මෙහා අවශ්‍ය පරිදි ගමන් කිරීමේ දී එනම් වැසිකිළියකට කැසිකිළියකට ගමන් කිරීමේ දී හෝ උන්වහන්සේලා වැස්සට තෙමීමට අසු වී උන්වහන්සේලාට අතිරේකව තව අඳනයක් හෝ සිවුරක් නොතිබීම නිසා තෙමුණු සිවුර වේලා ගැනීමටවත් අවස්ථාවක් තිබුණේ නැහැ. එයට හේතුව නිරන්තරයෙන් ම වැසි ඇද වැටීමයි. මේ නිසා යම් යම් භික්ෂූන් වහන්සේලා නග්නව ස්නානය කළා. මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට දැන ගන්නට ලැබීම නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට අමතර වැසි සළුවක් පිළිගැන්වීමට අවසර ලබා දුන්නා. ඒ අනුව වස් ආරාධනා කිරීමේ දී නාන කඩයක් හැටියට වැසි සළුවක් පිළිගන්වනවා. එය තුන් සිවුරට අයත් සිවුරක් ද නොවෙයි. ස්නානය කිරීමට අවශ්‍ය රෙදි කොටසක්.

එවැනි රෙදි කැබැල්ලක් හෙවත් වැසි සළුවක් පිළිගන්වා වස් ආරාධනා කිරීම චාරිත්‍රයක් හැටියට දැක්විය හැකියි. ලාංකේය පරිසරය තුළ වර්තමානයේ ප්‍රධාන වශයෙන් එක පුද්ගලයෙක් හෝ එක පවුලක් හෝ පිරිසක් හෝ ඒ සඳහා ඉදිරිපත් වුවත්, එය සාම්ප්‍රදායිකව ගමක සතර පේරුවේ ම දායකයන් නියෝජනය කරමින් කරන ක්‍රියාවක් හැටියට දැක්විය හැකියි. එයින් එක පිරිසක් පමණක් මේ උතුම් ආරාධනාව සිදු කළා යන අදහස් කිරීමක් නොකෙරේ. සියලු දෙනා නියෝජනය කරමින් එය සිදු කරන බව ඉන් අදහස් කර ගත හැකියි. සියලු දෙනා ම සිදු කරනවා යැයි පැවසීමෙන් යම් විටක අධ්‍යාත්මික වශයෙන් වගකීම් සිදු කිරීමේ දී අඩුපාඩුකම් සිදුවිය හැකියි. යම් පුද්ගලයෙක් හෝ යම් පිරිසක් සියලු දෙනා නියෝජනය කිරීමෙන් ප්‍රධානත්වය දැරීමෙන් අධ්‍යාත්මික වගකීම් යුතුකම් ඉටු කිරීමේ දී අඩු පාඩු නොවී ඉදිරිපත්වී කටයුතු කිරීමට පහසුකම් සලසා දිය හැකියි.

ඒ නිසා එක පිරිසක් ප්‍රධාන දායකත්වය දැරීම හෝ මුල්වීම ඒ ඇත්තන් පමණක් පින් කමක්, කඨින පින්කමක් සිදු කරනවා යන වැරැදි අදහසින් තොර වී සියලු දෙනා විසින් ම ගමක සියලු දායකයන් විසින් හෝ ඒ විහාරයට සම්බන්ධ සියලු දෙනා විසින් එක හා සමානව ම ආනිසංස බලාපොරොත්තුවෙන් ධර්ම මාර්ග අනුගමනය කරන කාලයක් හැටියට කල්පනා කිරීම අවශ්‍යයයි. එදා බුදුරජාණන් වහන්සේගේ දවස, දහතුන් වන වස වේරංජාවේ දී වේරංජා බමුණා වස් ආරාධනා කළා. එහෙත් වස් ආරාධනාව අමතක වූවා. එහෙත් එසේ විය යුතු නොවෙයි. ආරාධනා කළ දායක ඇත්තන්, ගමේ සියලු දෙනා ම, විහාරයට සම්බන්ධ සියලු දෙනාමත් භික්ෂූන් වහන්සේලාට ශාසනික වශයෙන් අවශ්‍ය සියලු දේ ලබා දිය යුතුයි. ප්‍රධාන වශයෙන් දානය, බෙහෙත්හේත් පිළිබඳව සොයා බැලීමත්, උන්වහන්සේලාට වැස්සෙන්, පින්නෙන්, වනසතුන් හෝ සොර සතුරන්ගෙන් හෝ කරදරයක් සිදුවේ දැයි සොයා බලමින්, එයටත් ආරක්ෂාවක් සලසා දෙමින් උපස්ථාන කිරීම, රැක බලා ගැනීම ආරාධනාවෙන් හා ඒ වෙනුවෙන් සම්බන්ධ ව සිටීමෙනුත් බලාපොරොත්තු වෙනවා.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk