[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රඥාවෙන් ජීවත්වීම උතුම් ය

ප්‍රඥාවෙන් ජීවත්වීම උතුම් ය


තිලෝගුරු ලොව්තුරු බුදුපියාණෝ දමනය කළ නොහැකි විෂම පුද්ගලයන් දමනය කළ සේක. සච්චක, සුචිරෝම ,ඛරරෝම වැනි යකුන් ඒ අතර වේ. යකුන් අතර සිටි ආලවක නුවණැත්තෙකි. ආලවක යකු වාසය කළේ දඹදිව මගධයේ අලව් නුවර ය.

බුදුපියාණෝ අලව් යකු හමුවට වඩින වේලේ ඔහු සිය භවනයේ නොසිටියේ. යකු එනතෙක් බලා සිටි බුදුරදුන් යක්ෂ භවනයේ අසුන් ගත්හ. එකෙනෙහි බඩ සායෙන් පීඩිතව පැමිණි ආලවක, බුදුරදුන් දැක යක්ෂාරූඪ වූයේ ය. හැසිරීම අමුතු ය. ආගන්තුක සත්කාර නොදත් හෙතෙම බුදුරදුන් පිළිගත්තේ අමුතුම අයුරිනි.

ශ්‍රමණය, මාගේ විමානයෙන් එළියට යව, (නික්ඛම සමණාති) යහපතැයි කියූ බුදුරදුන් නික්මුණු සේක. යළිත් යකු කියන්නේ, මාගේ විමානයට ඇතුළු වෙව, (පවිස සමණාති) බුදුන් වහන්සේ එසේම කළ හ. එලෙස තෙවරක් ම කළහ. සිව් වනවර එසේ නොකළහ. තමන් වහන්සේ එසේ නොකරන බව වදාළ හ. තමන්ට හැකි දෙයක් ඇත්නම් කරන්නැයි වදාළ හ.

එවිට කෝප වූ යකු, බුදුරදුන්ගෙන් ප්‍රශ්න ඇසීම ට සැරසුණේය.

ශ්‍රමණය , තා අතින් ප්‍රශ්නයක් විමසන්නෙමි. එය නොවිසඳන්නේ නම් සිත පෙරළන්නෙමි. ළය පලන්නෙමි. පාදෙකින් අල්ලා මුහුදු පරතෙර දමන්නෙමි.

එවිට බුදුරදුන් වදාරන්නේ, ඇවැත් යක්ෂය, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බ්‍රහ්මයන් සහිත වු. ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙවියන් හා මිනිසුන් සහිත වූ සත්ත්ව වර්ගයා අතර යමෙක් මාගේ සිත පෙරලන්නේ ද , ළය පලන්නේ ද? දෙපයින් ගෙන මුහුදු පරතෙර දමන්නේ ද? එබන්ඳෙකු මම නොදකිමි. තවද ඇවැත් යක්ෂය, තෝ යමක් කැමැති නම් අසවයි වදාළ හ.

එවිට ආලවක යක්ෂ තෙමේ මෙසේ ප්‍රකාශ කළේය.

ආලවක යක්ෂයාගේ ප්‍රශ්නය

කිංසූධ චිත්තං පුරිසස්ස සෙට්ඨං - කිංසූ සුචිණ්ණෝ සුඛමාවහාති

කිංසූ හවේ සාධුතරං රසානං - කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨන්ති

මේ ලෝකයෙහි පුද්ගලයාට කවර නම් වස්තුවක් ශ්‍රේෂ්ඨ වේ ද? පුරුදුකරන ලද කවර නම් ධර්මයක් සැප ගෙනදේ ද? ඒකාන්තයෙන් ම රස අතරින් කවර නම් රසයක් අතිශයින් රසවත් වේ ද? කෙසේ ගෙවන ජීවිතය ශ්‍රේෂ්ඨ වන්නේ ද?

බුදුරදුන්ගේ පිළිතුර ගාථාව

සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං - ධම්මෝ සුචිණ්ණෝ සුඛමාවහාති

සච්චං හවේ සාධුතරං රසානං - පඤ්ඤා ජීවිං ජිවිතමාහු සෙට්ඨන්ති

මේ ලෝකයෙහි පුද්ගලයෙකුට තිබෙන ශ්‍රේෂ්ඨතම වස්තුව ශ්‍රද්ධාව වේ. මනාකොට පුරුදුකරන ලද කුසල් දහම් සැප පිණිස පවතී. රසයන් අතුරෙන් සත්‍යය වචනය නමැති රසය අතිශයින් ම රසවත් වේ. එසේම ප්‍රඥාවෙන් ජීවත්වීම ශ්‍රේෂ්ඨ වන්නේ ය. නිවන අවබෝධය පිණිස ද ප්‍රඥාව හේතු වේ.

ආලවක යක්ෂයාගේ ප්‍රශ්නය

කථංසු තරතී ඔඝං
කථංසු තරතී අණ්ණවං
කථංසු දුක්ඛං අච්චේති
කථංසු පරිසුජ්ඣති

කෙසේ නම්, චතුර්විධ ඕඝය තරණය කරම් ද? කෙසේ නම් සංසාර සාගරය තරණය කරම් ද? කෙසේ නම් දුක පහ කෙරේ ද? කෙසේ නම් පිරිසුදු වේ ද?

බුදුරදුන්ගේ පිළිතුරු ගාථාව

සද්ධාය තරතී ඔඝං
අප්පමාදේන අණ්ණවං
විරියේන දුක්ඛං අච්චේති
පඤ්ඤාය පරිසුජ්ඣති

ශ්‍රද්ධාවෙන් චතුර්විධ ඕඝය තරණය කරේ. (කාම ඕඝය /භව ඕඝය / දිට්ඨි ඕඝය / අවිජ්ජා ඕඝය) අප්‍රමාදයෙන් භව සාගරය තරණය කෙරේ. වීර්යයෙන් දුක පහ කෙරේ. ප්‍රඥාවෙන් පිරිසුදු වේ.

ආලවක යක්ෂයාගේ ප්‍රශ්නය

කථංසු ලභතේ පඤ්ඤං
කථංසු වින්දතේ ධනං
කථංසු කිත්තිං පප්පෝති
කථං මිත්තානි ගන්ථති

එහි තේරුම කෙසේ නම් ප්‍රඥාව ලබත් ද? කෙසේ නම් ධනය ලබත් ද? කෙසේ නම් කීර්තියට පැමිණේ ද? කෙසේ නම් මිත්‍රයන් ලබයි ද?

බුදුරදුන්ගේ පිළිතුරු ගාථාව

සුස්සුසා ලභතේ පඤ්ඤං
උට්ඨාතා වින්දතේ ධනං
සච්චේන කිත්තං පප්පෝති
දදං මිත්තානි ගන්ථති

එහි තේරුම . නුවණැත්තන්ගෙන් ධර්මය අසන තැනැත්තා ප්‍රඥාව ලබයි .උත්සාහවන්තයා ධනය ලබයි. සත්‍යය වචන කියන්නා කීර්තියට පත් වෙයි. දන් දෙන පුද්ගලයා මිතුරන් ලබයි.

ආලවක සූත්‍රය පුරාම දැක්වෙන අයුරු ඉතා අර්ථාන්විත දහමක් පැනෙයි. තවද, යක්ෂයා බුදුරදුන්ගෙන් විමසන්නේ, ගෘහස්ථ ජීවිතයක් ගෙවන කවර නම් පුද්ගලයෙක් මෙලොවින් පරලොවට ගිය විට සෝක නොකරන්නේ ද? යනුවෙනි.

එවිට බුදුරදුන්ගේ පිළිතුර වූයේ මෙබන්දකි

යස්සේතේ චතුරෝ ධම්මා – සද්ධස්ස ඝරමේසිනෝ

සච්චං ධම්මෝ ධිති චාගෝ – සවේ පෙච්ච න සෝචති

ගිහිගෙය වසන, ශ්‍රද්ධාව ඇති යම් පුද්ගලයෙකුට සත්‍යය, ඉන්ද්‍රිය දමනය, ධෘතිමත් බව, ත්‍යාගය යන මේ ධර්ම සතර ඇත්නම් ඔහු මෙලොවින් පරලොවට ගිය තැන ඒකාන්තයෙන් ම ශෝක නොකරයි.

මේ දෙසුම අසා පැහැදුණු ආලවක යක්ෂයා මෙසේ ද කියයි. මම බුදුන්, දහම්, සඟුන්, සරණ ගියේ වෙයි. උන්වහන්සේලා වඳිමින් මම ගමින් ගම, නුවරින් නුවර හැසිරෙන්නෙමි. තවද, ඔබ වහන්සේගේ දහම ඉතා යහපත, මුනින් අතට තිබු භාජනයක් උඩු අතට තබන්නේ ද, වැසී තිබුණු යමක් විවර කරන්නේ ද, මං මුලා වූවකුට යම් සේ මාර්ගය කියන්නේ ද, ඇස් ඇත්තෝ රූප දකින්නෝ ද, අඳුරේ යන කල තෙල් පහනක් දල්වන්නේ ද, එපරිද්දෙන් තථාගතයන් වහන්සේ දම් දෙසූ සේක. මම අද සිට බුදුන් වහන්සේ ද, ධර්මය ද, භික්ෂු සංඝයා ද, සරණ යෙමි. අද පටන් මම දිවිහිමි කොට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු සේ සලකත්වා, දරත්වා යනුවෙනි. ඒ අනුව මෝහාන්ධකාරයෙන් වෙලී සිටි යකු පින්වත් උපාසකයෙකු බවට පත් විය.

ආලවක සූත්‍රය තුළ අර්ථාන්විත දහම් කරුණු කිහිපයක් පැනෙයි. එනම්

ශ්‍රද්ධා සම්පන්න බව, කුසල් දහම් වර්ධනය කිරීම, සත්‍යය වචන කථා කිරීම, ප්‍රඥා සම්පන්න බව ( මෝඩකමින් තොර බව) අප්‍රමාදී ගතිය (උත්සාහය) , වීර්යය වැඩීම, ධර්මය ඇසීම හා දන්දීම ය.

අප සාමාන්‍යයෙන් අසන, දකින දෙයකට වඩා වැඩි යමක් මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙයි. ආලවක යක්ෂයා බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තේ ධර්මය ඇසීමෙනි. ප්‍රඥාව ලැබුවේ ධර්මය ඇසීමෙනි. විමසීමෙනි. ප්‍රඥාව පහළ වූ තැන ලෝක යථාර්ථය විනිවිද දකී.

කෙනෙක් දැනුම ලබන ආකාර කිහිපය කි. එනම් ඇසීමෙන්, කියවීමෙන්, අතපත ගෑමෙන් යමක් දැනගනී. එලෙස අපට දැනුම ලබාගත හැකි ය. ඒ තුළින් කිසියම් විෂයයක් පිළිබඳ දැනුම අපට ලැබේ. එනම් විද්‍යා දැනුම, ගණිත දැනුම, ඉංගී‍්‍රසි දැනුම, ඉතිහාසය දැනුම ඈ වශයෙනි. ඒ අප ලබන විෂයය දැනුම යි. නමුත් දහම් දැනුම ලැබීම අමාරු ය. අවබෝධ කර ගැනීම අපහසු ය. ඊට හේතුව? දහම ගෝචර වන්නේ ප්‍රඥාව ඇත්තන්ට පමණි.

ආලවක සූත්‍රයේ පැනෙන පරිදි අලව් යකු ප්‍රඥාව ලැබුවේ ධර්මය ඇසීමෙනි. එපරිද්දෙන් අපත් ප්‍රඥාව ලබන පිළිවෙත් අනුගමනය කළ යුතු ය. සෙවිය යුතු ය. භජනය කළ යුතු ය. ප්‍රඥාවන්තයින් ඇසුරු කළ යුතු ය. සේවනය කළ යුතු ය. අනුවණයන් ඇසුරු නොකරමු. බාල අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙමු. පිදිය යුත්තන් පුදමු. බුදුබණ අසමු, වැරැදි මග නොයමු. මිථ්‍යාවෙන් මිදෙමු, නිසරු දේ ඈත් කරමු. සරු දේ ගමු. ප්‍රඥාවෙන් ලොව බබළවමු. අන්ධකාරයේ ජිවත්වීමෙන් ඵලක් නැත. එය සසර ගමන තවත් දීර්ඝ වීමට හේතු වෙයි. එබැවින් ප්‍රඥාවෙන් ජීවත්වීම උතුම් වන්නේ ය.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk