[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 38: දකුණු ආසියාවේ විශාල බිතුසිතුවම් සංඛ්‍යාවක් සහිත රංගිරි දඹුලු රජමහා විහාරය

දකුණු ආසියාවේ විශාල බිතුසිතුවම් සංඛ්‍යාවක් සහිත රංගිරි දඹුලු රජමහා විහාරය


ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂයෙන් බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට මෙන්ම ගෞරවාදරයට පත්ව ඇති දඹුලු විහාරය වඩාත් ප්‍රසිද්ධියට පත් වී තිබෙන්නේ පුරාණ ලෙන් විහාර සහ එහි ඇති බිතුසිතුවම් ද නිසා ය. ලෝක උරුමයක් (World Heritage)  ලෙස ද නම්කර ඇති දඹුලු විහාරය දකුණු හා අග්නිදිග ආසියාවේ ඇති විශාලතම ලෙන් විහාර අතරින් එකකි.

එපමණක් ද නොව දකුණු ආසියාවේ ඉතා හොඳින් ආරක්ෂා වී ඇති බිතුසිතුවම් සහිත ස්ථානයක් ද වෙයි. (The Cultural Triangle of Sri Lanka Dambulla .The Golden Mountaian Temple prof. Senaka Bandaranayake p.136-137- unesco Publishing – The Central Cultural Fund -1993)


දඹුල්ලේ පෞරාණිකත්වය ක්‍රිස්තු පූර්ව සමයට අයත්වන බව එහි ලෙන්වල ඇති ශිලා ලේඛනවලින් ම පැහැදිලි වේ. එසේ වුව ද, මෙම පුදබිම පළමු වරට සඳහන් වන්නේ වළගම්බා රාජ සමයේ (ක්‍රි.පූ. 29-17) දී ය. එහි දක්නට ලැබෙන ලෙන් විහාර ඒ රජු විසින් කරවන ලදැයි විශ්වාස කෙරේ. අඩි 2000 (දෙදහසක්) පමණ ප්‍රදේශයක පැතිර ඇති අඩි 500 ක් පමණ ඉහළට නගින විශාල කලුගල් පර්වතයක් යට මෙම දඹුලු විහාරය ගොඩනංවා ඇත. මෙය ලංකාවේ පිහිටා ඇති පුරාණ ගල්ලෙන් අතර විශාලතම ගල්ලෙන් විහාර වලින් එකක් ද වන්නේ ය.

දඹුලු විහාරය පොළොන්නරුවේ රජ වූ මහ විජයබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරවන ලද විහාර ගැන සඳහන් වන මහාවංශයේ දෙවැනි කොටසේ අවධාරණය කර ඇත.දඹුලු ලෙන් විහාර ගැන මීළඟ සඳහන වන්නේ දඹුල්ලේ විහාරයේ පිහිටුවා ඇති නිශ්ශංකමල්ල රජුගේ (ක්‍රි.ව. 1187-1196 සෙල්ලිපියකිනි.) දඹුලු විහාරයේ මිදුලේ වාහල්කඩ පසු කිරීමත් සමඟ දකුණු පස ඇති පර්වතයේ මෙම ශිලාලිපිය කොටා ඇත. එහි පේළි 25 කි. මෙම සෙල්ලිපියේ අවසාන පේළි කිහිපයෙන් කියැවෙන්නේ “ත්‍රිපිටකයේ සඳහන් බුද්ධ වචනයට ගරුකර දීර්ඝ කාලයක් තිස්සේ වෙන් වී පැවති තුන් නිකාය සමගි කර විදුනැණ නගා සිටුවී ය. රජු විසින් පෙර රජ දවස කරවා නටබුන් වූ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරවී ය. තවදුරටත් ඔහු විසින් අනුරාධපුරය, දෙවිනුවර, මහියංගනය යන ස්ථානවල විහාර කරවා විශාල ප්‍රදානයන් ද කරන ලදී.

දඹුලු විහාරයෙහි සැතපෙන, හිඳින හා වැඩහිඳින පිළිම රන් ආලේප කර හත් ලක්ෂයක් (කහවනු) ධනය වියදම් කර, පූජාවක් පවත්වා මෙම විහාරයට “ස්වර්ණගිරිගුහා” යන නම තැබීය, යන්න යි”. නිශ්ශංකමල්ල රජුගේ මෙම ශිලා ලිපියෙන් දඹුල්ල පිළිබඳ වැදගත් කරුණු දෙකක් අනාවරණය වෙයි.

1. නිශ්ශංකමල්ල රජු දඹුලු ලෙනෙහි ඇති හිටි පිළිම , හිඳි පිළිම හා සැතපෙන පිළිමවල රන් ආලේප කර හත් ලක්ෂයක් (කහවනු) ධනය වියදම් කර පූජාවක් පැවැත්වීම

2. දඹුලු ලෙනට ස්වර්ණගිරි ගුහා යැයි නම් තැබීම

මේ රජු විසින් කරවා ඇත්තේ මෙම පිළිමවලට රන් ආලේප කිරීම පමණි. එයින් පෙනී යන්නේ මෙම ප්‍රතිමා නිශ්ශංකමල්ල රාජ කාලයට පෙර සිට ම පැවැති බව ය. දඹදෙණි රාජධානි සමයේ ලියන ලද පූජාවලිය ග්‍රන්ථයේ ද නිශ්ශංකමල්ල රජු දඹුලු විහාරයේ තිබු බුදුපිළිම හැත්තෑ තුනක රන් ආලේප කළ බව සඳහන් කර ඇත. නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරුවේ පිහිටි පී‍්‍රතිදායක මණ්ඩප සෙල්ලිපියේ ද “ගල්පොත” ශිලාලිපියේ ද ඉහත සඳහන් කරුණු සඳහන් වේ. මීට අමතරව දඹුලු විහාර තුඩපත් දෙකකින් ද තහවුරු වී ඇත. දඹුලු විහාරයට ‘ජම්බුකෝල’ යන නාමය ප්‍රථම වතාවට මහා වංසයේ දෙවැනි කොටසේ සඳහන් වන්නේ පොළොන්නරුවේ රජ වූ මහවිජයබාහු රාජසමය ගැන සඳහන් කිරීමේ දී ය.

(රන්ගිරි දඹුලු රජ මහා විහාරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 29-30 මධ්‍යම සංස්කෘතික අරමුදල -1995)

දඹුලු විහාරයේ විහාර පහ

ඓතිහාසික මෙන්ම, පුරාවිද්‍යාත්මක වශයෙන් ද වැදගත්වන මෙහි ඇති ලෙන් විහාර සංකීර්ණය විශිෂ්ට කලා නිර්මාණයන්ගෙන් යුක්ත ලෙන් විහාර පහකින් යුක්ත ය. ඒවා මෙසේ ය. 1.දේවරාජ විහාරය අංක 01 (2) මහාරාජ විහාරය (අංක 02) ලෙන (3) මහා අලුත් විහාරය (අංක 03) (4) පශ්චිම විහාරය (අංක 04) (5) දෙවන අලුත් විහාරය (අංක 05 ලෙන ) ය. දඹුල්ල චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ බෞද්ධ සැදැහැවතුන්ට බුදුරජාණන් වහන්සේගේ රුව ගුණ තමන්ගේ අභිමානවත් ඉතිහාසය සහ බුද්ධ ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන යන ක්‍රියා මාර්ගය විදහා පෙන්වීම යි. දඹුලු විහාරයේ සිතුවම් තුළින් සාමාන්‍ය ජනතාවගේ හැඟීම් ප්‍රදර්ශනය වන බව පැවසෙන්නේ මේ නිසා විය හැකි ය. ශ්‍රී ලංකාවේ වැඩිම බිතු හා වියන් සිතුවම් සංඛ්‍යාවක් ඇත්තේ දඹුලු විහාර සංකීර්ණයේ ය. එම ප්‍රමාණය වර්ග අඩි 20,000 (වර්ග අඩි විසිදහස) ඒ හරුණු විට මෙහි විවිධ ප්‍රමාණයේ ප්‍රතිමා එකසිය පනස් හතක් දැකිය හැකි ය.

දඹුලු ලෙන් විහාරවල බිතුසිතුවම්

ශ්‍රී ලංකාවේ මෑත භාගයේ සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වූ එස්.පී. චාල්ස් මහතා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියවස් සමරු ග්‍රන්ථයට (චිත්‍රකලාව) ලියන ලද කරුණු ඉතා වැදගත් වේ.

“මෙහි වූ සියලු චිත්‍ර මැන මහනුවර සමයට අයත් ලෙස සලකන්නට බොහෝ දෙනා පුරුදු වී සිටිති. දඹූලු විහාරය එදා සිට මෙදා වනතුරු කිසි කලෙක නොසලකා හැර තිබූ ස්ථානයක් නොවේ. පොළොන්නරු සමයට අයත් සිත්තම් පහසුවෙන් හඳුනාගත හැකි වේ. මහනුවර සමයේ සිතුවම් ගැන ද විවාදයක් නැත. එහෙත් මහනුවර සමයටත්, පොළොන්නරු සමයටත්, අතර නොනැසී ආ චිත්‍ර සම්ප්‍රදායක් පෙන්වන බිතුසිතුවම් රාශියක් ඇති බව පෙනේ. සමහර තැනක ඇත්තේ පසුකාලයක පැරැණි චිත්‍ර උඩ යොදන ලද සායමත්, රේඛාත් පමණි. සමහර තැනක දී දක්ෂ ශිල්පීන් ට අසු වු අවස්ථාවන්හි පැරැණි චිත්‍ර උඩම රේඛාවෙන් චිත්‍රය ලකුණු කර, වර්ණ යෙදූ තැන් පැහැදිලිව දැකිය හැකි ය. විමසිලි සහිතව බැලුවොත් ඒවා යටින් වර්ණ රේඛා පැහැදිලි ව පෙනේ. සිංහල ශිල්පියාට චිත්‍ර ගැලපීමේ දී තිබුණු නිපුණත්වය වියනේ වූ විශාල චිත්‍ර වලින් පැහැදිලි වේ. ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, මාර පරාජය දැක්වෙන චිත්‍ර නුවර සමයේ චිත්‍ර ශිල්පියෙකුට කළ හැකි නොවේ. ඒවා පොළොන්නරු යුගයේ චිත්‍ර නිර්මාණ වුවත් ඊට බොහෝ කලකට පසුව කරන ලද ඒවායි. වියනේ මාර දූවරුන්ගේ නැටීම දැක්වෙන චිත්‍රයෙහි මාර දූවරුන්ගේ ශීර්ෂාභරණ දඹුල්ලට සීමා වූ විශේෂ සැරසිලි ය. එතරම් විසිතුරු වූත්, සිත්ගන්නා සුළු වූත්, සැරසිලි සීගිරියෙන් පසු කාන්තා චිත්‍රයෙහි වූයේ නම් ඒ කලාතුරකිනි. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ කොණ්ඩය මුදුන් කොට බැඳ කොණ්ඩය පෙනෙන සේ සැරසිලි සහිත ශීර්ෂාභරණයන් පැළඳීම ය. මේ නර්තනය දැක්වෙන තැන තවත් රූප පහක් සිත්තම් කර ඇත. වළාකුළු යොදා ඒ මත තවත් කාන්තා රූපයක් සිත්තම් කර තිබේ. මේ සියලු කාන්තා චිත්‍රයන්ගේ ශීර්ෂාභරණ එකසේ ම විසිතුරු ය. මේ චිත්‍රවල මහනුවර සමයේ සිතුවම්වල ආභාසය ලබා ඇත. වියනේ එක් පසෙක දක්නට ලැබෙන පේළි 17 කින් යුත් බුද්ධ චරිතය දැක්වෙන චිත්‍රය එහි ඇති උසස් චිත්‍රය කි. එහි සමහර වගන්ති මහනුවර සමයේ ලියන්නට ඇතුවාට සැක නැත. බුදු වී සත්සතිය දැක්වෙන චිත්‍ර පෙළ ඉතා විසිතුරු ය.

බුදු වී හතළිස්පස් වසරක් වස් විසූ හැටි එක වස වෙන වෙනම චිත්‍රයකින් වෙන වෙන ම සිතුවම් කර ඇත. වේලුවනාරාමයෙහි ගත කළ බව පෙන්වීම සඳහා එහි උණ පඳුරු සිත්තම් කර තිබේ. එයින් ගැලපීම උසස් බවට පමුණුවා තිබේ. පොළොන්නරු යුගයත්, මහනුවර යුගයටත් අතර පාරම්පරික චිත්‍රශිල්පීන්ගේ සිතුවම්හි කැපී පෙනෙන නිදහස් රේඛා කර්මය මේ චිත්‍රවලින් හොඳින් දැක්වේ.

කුඩා වුවත් මැදවල විහාරයේ මිනිස් රූපවලට සාමානත්වයක් දරයි. පිරිනිවන්පෑමට තුන් මසකට පෙර ආයුෂ නිම වූ බැව් පැවසීම දැක්වෙන චිත්‍රය මනස්කාන්ත දර්ශනය කි. තුන් මසකට පළමු මහා සංඝයා වහන්සේ කැඳවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට ත්‍රිවිධ ශික්ෂාවෙහි යෙදෙන ලෙස අවවාද කිරීම ද මනහර ගැලපීමකි. මේ සිත්තම් එකකට එකක් දෙවැනි නොවන ලෙස චිත්‍රයට නගා තිබේ. ඊට බොහෝ කලකට පෙර අඳින ලද චිත්‍රයන් ගැන නොසලකාම ඒ තේමාවන් යටතේ ම ශිල්පියාගේ දක්ෂතාවය මතම මේ සිතුවම් නිර්මාණය කර ඇත.

මේ චිත්‍රයන් ඇඳීම සඳහා භාවිතා කළ වර්ණයන්ගේ උසස් බව නිසා ම මෙම සිතුවම් තවමත් අලුත් ස්වභාවයකින් යුක්ත ය. වර්ණ වැඩි ගණනක් භාවිතයට ගෙන නැත. මෙහි යොදා ඇති සුදු පාට පි‍්‍රයංකර ය. වර්ණ පිළිබඳ පාරම්පරික දැනීම් සම්භාරයක් ලබාගත් චිත්‍රශිල්පීන්ගේ සිත්තම් මෙහි දැකගත හැකි ය. දඹුල්ලේ බිතුසිතුවම් කළ චිත්‍රශිල්පීන් බෝධි කට්ටලමේ මූලාචාරීන්ගෙන් පැවත එන නිලගම සිත්තරුන්ට අයත් වන්නේ ය.

"පුරාවිද්‍යා සියවස වෙනුවෙන් චිත්‍රකලාව" ග්‍රන්ථය සංස්කරණය කළේ ආචාර්ය නන්දදේව විජේසේකර ය. ඒ සඳහා පාරම්පරික ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.පී. චාල්ස් මහතා ලියු චිත්‍ර කලාව ක්‍රි.ව. 1200-1400 පරිච්ඡේදයෙනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1990.

විශේෂ සටහන

දඹුල්ල බිතුසිතුවම් කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ලෙන් හා බිතුසිතුවම්වල විකාශනය සහ එක් එක් යුගවලට අයත් ආවේණික සිතුවම් ශෛලීන් එකම ස්ථානයක දී අධ්‍යයනය කළ හැකි අයුරින් සැලසුම් කරන ලද්දකි.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk