නිවන් සුවය ලබාගැනීම ලෙහෙසි පහසු දෙයක්ද?
සිංගප්පූරුවේ
ප්‍රධාන සංඝනායක
වේරගොඩ සාරද නා හිමි
එතං විසෙසතො ඤත්වා
අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති
අරියානං ගොචරෙ රතා
අප්‍රමාදයෙ අගය වෙසෙසින
දැන හැඳින ලොව නුවණ ඇති දන
ප්‍රමෝදය ලැබ අප්‍රමාදෙන්
ඇලෙති පියයෙහි නිවෙන රහතුන්
දිනක් දන්සලේ ආහාර ගෙන යන්නට පැමිණෙන දුගියන් ගේ කෑ කෝ ගසන හඬ ඇසූ සාමාවතී
‘පියාණෙනි, මේ මිනිසුන් කෝලාහළ කර ගැනීම නවතාලන්නේ නැත්තේ මන්දැ’යි විමසුවා ය.
‘දියණියනි, එය නවත්වන්නට අපහසු ය. ඒ ඔවුන් ගේ ස්වභාවය’යි හේ පැවසී ය. ‘එය පිළිවන්
පියාණනි.’ ‘කෙසේ ද දියණියනි එය කරන්නේ?’ ‘දන් සල වටා වැටක් ඉදි කරන්න. එක් අයකුට
පමණක් එකවර එන්නටත්, එක් පසෙකින් ඇතුළු වී අනෙක් පැත්තෙන් පිට වන්නටත් හැකි වන
පරිදි එය සකස් කරන්න.’ ‘ඉතා මැනවි දියණියනි.’ යි පවසා දන්සල පාලක තෙම එසේ කළේ ය.
එතැන් පටන් දන්සලෙහි කලබල හා ඝෝෂා නැතිව සියල්ල සාමකාමී වූයේ ය.
ඝෝෂක සිටාණෝ දන්සලෙහි ශබ්දවලට හොඳට හුරු පුරුදුව සිටි හෙයින් නිශ්ශබ්දතාව ගැන
විස්මයට පත් විය. එහෙයින් හේ මිත්‍ර නම් වූ දන්සැල් පාලක තැන කැඳවා ‘දැන් අසරණයන්ට
දන් දීම නවත්වලාදැ’යි විමසී ය. ‘නැත. තවමත් දිනපතා දානය දෙනු ලැබේ.’ ‘එසේ නම් දින
කීපයක සිට කිසි ශබ්දයක් නැත්තේ කවර හෙයින් ද?’ ‘ඔවුන් ට පිළිවෙළට පැමිණ කරදරයක්
නැතිව ආහාර ගන්නට පිළිවෙළක් යෙදුවෙමි. ‘ඔබ ඇයි කලින් එසේ නො කළේ?’ ‘කලින් මම ඒ ගැන
දැන ගෙන නො සිටියෙමි.’ ‘කලින් නො දැන සිටි දෙයක් දැන් දැන ගත්තේ කෙසේ ද?’ ‘මගේ
දියණිය මට කියා දුන්නා’ ‘මා නොදත් දියණියක් ඔබට කොයින් ද?’ මේ අවස්ථාවේ දී සාමාවති
සිටු දියණිය තම දියණිය බවට පත් වූ සියලු කතා පුවත කියන්නට මිත්‍රට සිදු විය.
ඒ ඇසූ සිටුතුමා බලවත් කම්පාවට පත්ව ‘ඇයි ඔබ මේ බව මට කලින් නො කීවේ? මේ සාමාවති මගේ
මිතුරා ගේ දියණියයි’ මෙසේ කියා හෙතෙම සාමාවතී ගෙන්වී ය. ‘ඔබ අසුවල් සිටුතුමා ගේ
දියණිය යැයි කියන්නේ සැබෑදැ’යි විමසූ ඔහුට ‘එසේ ය’ යන පිළිතුර ලැබිණි.
‘එසේ නම් දුක් නො වන්න. ඔබේ පියා මගේ මිත්‍රයා ය. දැන් ඔබ මගේ ම දියණියයි. යැයි
පවසා හිස සිඹ ඇය පිළිගත් හෙතෙම පන්සියයක් පිරිවර ළඳුන් ද දී ඇය තමන් ගේ දියණිය ලෙස
එතැන් පටන් හදා ගත්තේ ය.
දිනක් නගරයේ උත්සවයක් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම උත්සවයට සාමාන්‍යයෙන් නිවසින් පිට
නො යන ප්‍රභූ පවුල්වල දියණියන් තම තමන් ගේ පරිවාර සමග ගඟට ගොස් ස්නානය කිරීම ද
ඇතුළත් ය. ඒ අනුව එදින සාමාවතී ද පිරිවර ළදුන් 500 ද සමඟ රජ වාසල ඉදිරියෙන් යෙදී
ඇති මාවතින් ගඟට ගියා ය.
සී මැදුරු කව්ළුවෙන් මඟ දෙස බලා සිටි උදේනී රජ තෙම එම ළඳුන් දැක ‘මේ කෙළි දෙලෙන් යන
ළඳුන් කා ගේ ද?’ යි විමසා සිටියේ ය. ‘භද්දවතිය සිටාණන් ගේ සාමාවතී නම් දියණිය ගේ
පිරිවර ළඳුන් ය’ යි රජතුමාට පිළිතුරු දෙන ලදී. ඒ ඇසූ රජ තෙම සිටුතුමාට දන්වා
සාමාවතිය අග මෙහෙසුන් තනතුරේ තබා ගත්තේ ය. ඇය ගේ පිරිවර කතුන් 500 ද රජවාසලට ගෙන්වා
ගන්නා ලදී.
මේ අතරතුර තවත් කාන්තාවක් ද රජතුමා ගේ අග මෙහෙසිය තනතුරට පත් වූවා ය. ඇය ගේ නම
මාගන්දි ය. ඇය ගේ දෙමාපියන් ඇය බුදුරදුන්ට පාවා දෙන්නට වෑයම් කළ අවස්ථාවෙහි
බුදුරදුන් කී වදනක් පිළිබඳව අමනාපය ඇය සිත් තුළ මුල් බැස තිබිණ. සාමාවතී බුදුරදුන්
ගේ ශක්තිමත් ශ්‍රාවිකාවක් වූවා ය. එහෙයින් බුදුරදුන්ගෙන් පළිගන්නට සිතමින් සිටි
මාගන්දියා ගේ වෛරය සාමාවතිය හා පිරිසට ද යොමු විය. |