තෙවළා බුදු වදන් අතරින් - 43:
පංච කාම අරමුණු පරිහරණයේදී
දැඩි ආත්ම සංයමයක් ඕනෑ
කොළඹ විශ්ව විද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
" පංචකාම ලෝකය පිළිබඳ අත්දැකීම් විවිධ ය. එසේම ඒ සම්බන්ධයෙන් පුද්ගල කැමැත්ත හා
මනාපය ද විවිධ ය. තම පෞද්ගලික රුචි අරුචිකම් අනුව පංචවිධ කාමය ආශ්වාදනය කිරීමෙහිලා
දරණ ප්‍රයත්නයේදී අරගල හා ගැටුම් නිර්මාණය වේ. තම මනාපය අනුව කාම වස්තූන් අත්පත් කර
ගැනීමට ත් ඒවා ආශ්වාදනය කිරීමටත් දක්වන උනන්දුව හා උත්සාහ ය ද විවිධය."
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සමයෙහි පස්කම් සුවයෙන් යුක්ත, එහිම ඇලී
ගැලී වාසය කරන පසේනදී කොසොල් රජතුමා ඇතුළු රජවරු පස්දෙනෙක් අතර ලොව වඩාත් ම උසස්
කාමය කුමක්දැයි යන සාකච්ඡාව ඇතිවිය. ඔවුන් අතර සිටි, එක් රජ කෙනෙකු කාමවස්තූන්
අතුරින්, රූපය අග්‍ර යැයි කීය.
තවත් අයෙකු කාම වස්තූන් අතුරින් ශබ්දය අග්‍ර යැයි පැවසී ය. තවත් රජ කෙනෙකුගේ අදහස
වූයේ කාමවස්තූන් අතර, ගන්ධය උසස් බව යි. කාමවස්තුන් අතුරින් රසය ඉතා උසස් දෙයකැයි
තවත් රජ කෙනෙකු පැවසී ය. කෙනෙකුගේ අදහස වූයේ ස්පර්ශය කාම වස්තූන් අතර, උසස් ම දේ බව
යි. මෙසේ පස් රජුන් එකිනෙකා අතර ලොව උසස් ම කාමය යනු කවරේදැයි යන වාදයක් ඇතිවිය.
ඔවුනොවුන් තම මතවාදයේ බලවත් ව පිහිටා කටයුතු කළ හෙයින් ලොව අග්‍රතම කාමය කවරේද?
යන්න නිගමනය කිරීමට නොහැකි විය. ඉක්බිති පසේනදී කොසොල් රජු තීරණය කළේ බුදුරදුන් හමු
වී මේ පිළිබඳ සාකච්ඡා කොට උන්වහන්සේගෙන් විසඳුමක් ලබා ගැනීම වැදගත් බව යි. එම අදහසට
සෙසු රජවරුන්ගේ ද එකඟතාව පළ වූ හෙයින් කොසොල් රජු ඇතුළු රජවරු බුදුරදුන් හමුවට ගොස්
උන්වහන්සේ සමග ඒ පිළිබඳ සාකච්ඡා කළහ. කාමවස්තූන් අතර උසස් ම කාමය කුමක්දැයි
ඔවුනොවුන් අතර ඇති වූ වාදය පිළිබඳ බුදුරජුන්ට දන්වා සිටිය හ. සියල්ල අසා සිටි
භාග්‍යවතුන් වහන්සේ,
“මහරජ මම වනාහි පංචකාම ගුණයන් අතුරින් මනාපය කෙළවර කොට ඇති දෑ අග්‍රයැයි කියමි.
මහරජ, රූපය ගැන කෙනෙකුට කැමැත්තක් උපදී. එහෙත් වෙනත් කෙනෙකුට රූපය ගැන අමනාපයක්
ඇතිවේ. රූපය ගැන කැමැත්තක් ඇති පුද්ගලයා, එයින් සතුට ට පත්ව එම රූපයම නැවත නැවතත්
ප්‍රාර්ථනා කරයි. එම රූපය හැර වෙනත් කිසිදු රූපයක් ප්‍රාර්ථනා නොකරයි. ඔහු තමාගේ
සිත් ගත් රූපයම සියලු රූප අතරින් උතුම් කොට සලකයි. මහරජ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය
ගැන කෙනෙකුට කැමැත්තක් ඇති වෙයි. කෙනෙකුට අකැමැත්තක් ඇතිවෙයි. ස්පර්ශයට කැමැත්තක්
ඇති වූ තැනැත්තා, තමාගේ සිත් ගත් ස්පර්ශයම නැවත නැවත නැවතත් ප්‍රාර්ථනා කරයි. එම
ස්පර්ශය හැර, වෙනත් කිසිදු ස්පර්ශයක් ප්‍රාර්ථනා නොකරයි. ඔහු, ඔහුගේ සිත් ගත්
ස්පර්ශය ම සියලු ස්පර්ශ අතරින් උසස්කොට සලකයි.”
කෝසල සංයුත්තයේ එන මෙම පඤ්ජරාජ සූත්‍රය පංචකාම ලෝකයට ඇලීම සම්බන්ධයෙන් මිනිස් සිතේ
ඇති ගැඹුරු ස්වභාවය පැහැදිලි කරයි. පසේනදී කොසොල් රජු හා සෙසු රජවරු අතර ඇති වූ
අදහස වූයේ පංචකාම වස්තූන් අතරින් කවරක් උසස් වේද? යන්නයි. එකිනෙක රජවරු තම තමන්ගේ
පෞද්ගලික අත්දැකීම් අනුව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම වස්තූන් උසස් යැයි
පැවසූහ. එහෙත් කිසිවෙකුටත් එකඟතාවකට පැමිණීමට නොහැකි විය. එයට හේතු වූයේ එකිනෙකාගේ
සිත් ගත් කාම වස්තූ විවිධ වූ නිසයි. තමා සිත් ගත් කාම වස්තු සියල්ලන්ට ම පොදු ඒවා
නොවන බව ඔවුන්ට වැටහීමක් නොතිබුණි. මෙය වනාහි පොදුවේ කවුරුත් සිතන, කල්පනා කරන
ආකාරය යි. සැම කෙනෙක් ම තම රුචි, අරුචිකම් අනුව පංචකාම වස්තුවලට ඇලී ගැලී කටයුතු
කරති. ඇතැමෙකුට රූපය හා සම්බන්ධ දේ රුචිවන අතර, තවත් අයෙකුට ශබ්දය හා සම්බන්ධ දේ
රුචි වෙයි. ඇතමෙකුට රුප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදි සියල්ල ම හෝ එයින් එකක් හෝ
කීපයක් රුචි වේ. ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ වෙනත් භෞතික දෑ සම්බන්ධයෙන් හෝ රුචි
අරුචිකම් ඇතිවන්නේ මේ ආකාරයට ය. එබැවින් පංචකාමය සම්බන්ධයෙන් කොසොල් රජු හා සෙසු
රජවරුන්ගේ වටහා ගැනීම නිවැරැදි නොවේ.
මෙම අර්බුදය විසඳාගැනීම සඳහා ඔවුන්ට බුදුරදුන්ගේ උපදෙස් පැතීමට සිදුවිය. බුදුරදුන්
වැඩ සිටි දෙව්රම් වෙහෙරට ගිය කොසොල් රජතුමා ඇතුළු රජවරු පංචකාම වස්තූන් පිළිබඳ
තමන්ගේ ස්ථාවරය බුදුරන්ට ප්‍රකාශ කළහ. එයට උන්වහන්සේ ලබාදුන් පිළිතුර දෙමින් “මහරජ
පංච කාම ගුණයන් අතුරෙන් යමක් මනාපය හෙවත් කැමැත්ත කෙලවර කොට ඇත්තේද? එය අග්‍රයැයි
මම කියමි.” යනුවෙන් දේශනා කළහ. බුදුරදුන්ගේ මෙම ප්‍රකාශනය කාටත් පොදු වූ ස්වභාවය
යි. පංච කාම ගුණ අතරින් යමක් අග්‍ර වන්නේ ඒ සම්බන්ධයෙන් පුද්ගලයා තුළ පවතින කැමැත්ත
හා ආශාවේ තිව්‍රතාව අනුව යි. එබැවින් පංචකාම වස්තු පිළිබඳ අගය තීරණය වන්නේ ඒ කෙරෙහි
පුද්ගල කැමැත්ත තිබෙනතාක් පමණි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචවිධ අරමුණු කාමය
නොවන බව බුදුරදුන්ගේ පිළිතුරෙන් පැහැදිලි වේ. උන්වහන්සේ වදාළ පරිදි පංචවිධ අරමුණු
පිළිබඳ පුද්ගල මනසේ පවතින කැමැත්ත හෙවත් මනාපය කාමය ලෙස පිළිගෙන තිබේ. ඒ අනුව
පුද්ගලයාගෙන් පරිබාහිර අරමුණු කාම නොවන බවත්, ඒ කෙරෙහි පුද්ගල සන්තානයේ ඇතිවන
කැමැත්ත කාමය වශයෙන් ගැනෙන බවත් මේ අනුව නිගමනය කළ හැකි ය. මෙය අතිශය දාර්ශනික
මෙන්ම ගැඹුරු මනෝවිද්‍යාත්මක විග්‍රහය කි.
මිනිසුන් අතර කාම වස්තූන් අරභයා විවිධ අරගල නිර්මාණය වන්නේ මේ හේතුව නිසයි. පංචකාම
ලෝකය පිළිබඳ අත්දැකීම් විවිධ ය. එසේම ඒ සම්බන්ධයෙන් පුද්ගල කැමැත්ත හා මනාපය ද
විවිධ ය. තම පෞද්ගලික රුචි අරුචිකම් අනුව පංචවිධ කාමය ආශ්වාදනය කිරීමෙහිලා දරණ
ප්‍රයත්නයේ දී අරගල හා ගැටුම් නිර්මාණය වේ. තම මනාපය අනුව කාම වස්තූන් අත්පත් කර
ගැනීමට ත්, ඒවා ආශ්වාදනය කිරීමටත් දක්වන උනන්දුව හා උත්සාහ ය ද විවිධය. ස්ත්‍රී
පුරුෂ වශයෙන් මෙන්ම විවිධ භෞතික දෑ සම්බන්ධයෙන් ලස්සන, අවලස්සන, සුන්දර, අසුන්දර
ආශ්වාදනීය, අශ්වාදනීය නොවන රසවත්, නීරස මිහිරි, අමිහිරි ආදි වශයෙන් ඇතිකෙරෙන බෙදීම
මිනිස් මනසේ නිර්මිතයන් ය. පංචකාම වස්තුවල පවතින්නේ ඒවාට ම ආවේණික වූ, අනන්‍ය වූ
තත්ත්වයකි. ඉහතින් දැක්වූ පරිදි මිනිසා විසින් තම කැමැත්ත පරිදි ඒවාට විවිධ සංකල්ප
ආරෝපණය කරනු ලබන අතර පසුව එම ආරෝපිත සංකල්ප අනුව කාම වස්තු අත්පත්කරගැනීමටත්, ඒවා
සම්බන්ධයෙන් අගයන් නියම කිරීමටත් උනන්දු වේ. කෙනෙකුට ලස්සන වන දෑ, තවත් කෙනෙකුට
අවලස්සන වන්නේ මෙසේ මනසින් ආරෝපිත සංකල්ප හා මනාප, අමනාප අනුව ය. එසේ නොමැතිව ලස්සන
හෝ අවලස්සන එම වස්තුවට ආවේණික වූවක් නොවේ. එසේ වන්නේ නම් අප ලස්සන යි, සුන්දර යි,
ආශ්වාදජනනී යි යනුවෙන් සිතන දෑ සැමටම එක හා සමාන විය යුතු ය. එක හා සමාන ම
ආශ්වාදයක්, සතුටක් එයින් ලැබිය හැකි විය යුතු ය. එහෙත් ලොව කිසිවක් එසේ වන්නේ නැත.
එබැවින් පංචකාම වස්තුන්ට මනසින් ආරෝපිත දෑ සාපේක්‍ෂක දේ ය. ඒ සියල්ල පුද්ගල කැමැත්ත
මත පවතී. බුදුරදුන් පසේනදී කොසොල් රජුට කළ දේශනාව දාර්ශනික මෙන්ම, මනෝවිද්‍යාත්මකව
ගැඹුරු වන්නේ මේ අනුව ය.
පංචකාම වස්තුන් පිළිබඳ ගොඩනගාගත් ආකල්ප අනුව, ඒවා අත්පත්කරගැනීමටත්, ආශ්වාදනය
කරගැනීමටත්, ඒ සියල්ල සැමවිටම තමා සන්තකයේ තබාගැනීමටත් දරන ප්‍රයත්නය නිසා පෙරටත්
වඩා අරගල වැඩිවී තිබෙන්නේ එම පංචකාම අරමුණු බාහිර වශයෙන් නිතර උත්තේජනය කරනු ලබන
මාධ්‍ය මෙන්ම අවස්ථා සුලභව පවතින නිසයි. පංචකාම යනුවෙන් අදහස් වන්නේ රූප, ශබ්ද,
ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු ගොඩනැගීමට ඉවහල්වන සියල්ල යි. කාම යනු කැමැත්ත යි.
එබැවින් පංචකාම යනුවෙන් අදහස් වන්නේ ලිංගිකත්වය පමණක් නොවන බව මතක තබාගත යුතු වේ.
ලිංගික කාමය පංචකාමයේ එක් අංශයක් පමණි. එයින් මෙපිට අප පරිහරණය කරන සියලු භෞතික දෑ
පංචකාමයට අයත් වේ.
වර්තමානයේ ඇතැම් අත්තර්ජාලය, දුරකථන, රූපවාහිනි ආදි විද්‍යුත් මාධ්‍ය මෙන් ම විවිධ
මුද්‍රිත මාධ්‍ය මගින් පංචකාම ලෝකය ආස්වාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබේ. ඇස,
කන, නාසය, දිව ශරීරය මෙන්ම මනස යන ඉන්ද්‍රියන් පිනවීම, සතුටු කිරීම අරමුණු කරගත්
රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ සිතිවිලි සංකල්ප හැඟීම් ආදි අරමුණු නිතර නිතර උත්තේජනය
කිරීම මෙම මාධ්‍යවල ස්වභාවය යි. එබැවින් ඒවා පරිහරණය කිරීමේ දී දැඩි ආත්ම සංයමයක්
අවශ්‍ය වේ. |