Print this Article


වස්සානයයි කඨින චීවර පූජාවයි: ප්‍රතිපදාවෝම පූරණය කරති

ප්‍රතිපදාවෝම පූරණය කරති

මාතිකමාතාව ප්‍රමුඛ සැදැහැවතුන්ගේ ආරාධනාව පිළිගත් සියලු දෙනා වහන්සේ වස් විසීමට සූදානම් විය. ඇසළ පෝදා උදේ වරුවෙහි ගම්වාසී සියල්ලෝ ම එක් ව හැට දෙනා වහන්සේට කුටි හැටක් සාදා සඟ සතු කොට පූජා කළහ.

මේ පින්කම බොහෝ දෙනාගේ සාධුකාර මැද සිදු වූ අසිරිමත් පින්කමක් විය. දායක දායිකාවන් පස් හය දෙනා බැගින් අභිනවයෙන් කුටි ඉදිකරන ලද මහා උද්‍යානයේ ඒ ඒ කුටියේ වෙසෙන ස්වාමීන් වහන්සේට අතපැන් වඩා පූජා කොට සියලු දෙනා වහන්සේ ම කොළ අතු සෙවිලි කළ මහා ශාලාවට වැඩමවා දවල් දානය පූජා කළහ. සවස් භාගයෙහි තරුණ , මහලු සියලු දෙනා ම එක්ව මේ සැටදෙනා වහන්සේ සංඝස්ථවිරයන් වහන්සේගෙන් පළමුව පංච ශීලය සමාදන්ව ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව වාඩි වී සියලු දෙනා වෙනුවෙන් ප්‍රමුඛ දායිකාව වූ මාතිකමාතාව මෙසේ කියා සිටියා ය. “ස්වාමීනි, ඔබ වහන්සේලා හැට දෙනා වහන්සේ ම මෙම තුන් මාසය තුළ වස් සමාදන් ව මෙහි වාසය කරන ලෙස ආරාධනා කරමු. මේ වස් කාලය තුළ චීවර , පිණ්ඩපාත, සේනාසන, ගිලානපත්‍ර්‍යය යයි කියනු ලබන සිව්පසයෙන් අපි ඔබ වහන්සේලාට උපස්ථාන කරන්නෙමු. අහිතක් නො සිතා ඔබ වහන්සේලාට අවශ්‍ය බේත් හේත් වෙතොත් අපට දන්වනු මැනවි. අපට මෙලොව පරලොව යහපත පිණිස, සඟමොක් සුව ලබා ගනු පිණිස අපගේ මේ කාරුණික ආරාධනය පිළිගනු මැනව“යි පවසමින් එක එක නමට එක එක බැගින් පිළිගැන්වීමට සූදානම් කරගෙන තිබුණ නෙළුම් කොළයක ඔතන ලද නෙළුම් මල් පහකින් සමන්විත ගොටුව, වස්සාවාසික රෙදි හතර රියනේ හැඩට ඔතා එක එක නමට දෙතුන් දෙනා එකතු වී පූජා කළෝ ය. එසේ කරන ලද්දේ ගම්වාසී සියල්ලන්ගෙන් ම එක පවුලකින් එක්කෙනෙක්වත් සම්බන්ධ කරගනු සඳහා ය. හැටදෙනා වහන්සේ අතුරෙන් දැන උගත් දේශකයන් වහන්සේ නමක් සියල්ලන්ට ම සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් විචිත්‍රවත් දේශනාවක් පවත්වා මේ මහා පිරිස තුළ බලවත් ශ්‍රද්ධාවක්, භක්තියක් , පිනට ලැදිකමක් ඇති කර වූ සේක.

එතැන් පටන් හීල් දානය, දවල් දානය සවස – හැන්දෑවට උණුදිය හෝ ඇල්දිය ගිලන්පසක් පූජා කොට බණ ඇසීමට ද ඒ දේශනාවන්හි දී දෙනු ලබන මෛත්‍රී භාවනාව , ආනාපානසති භාවනාව, මරණසති භාවනාව ආදිය කැමති ඇත්තන්ට වැඩීමට උපදෙස් ද දුන් සේක. මාතිකමාතා උපාසිකා තොමෝ තම පිරිසත් සමඟ දවල් කාලයේ උන්වහන්සේලා දකින්නට ගියා ය. හැම කුටියක් ම හිස් ය. කිසිදු භික්ෂූන් වහන්සේ නමක් නො සිටියහ. එහි දී මාතිකමාතාව භික්ෂූන්ගේ ආවතේවයට නවතා සිටි කැපකරු දායක මහතාගෙන් මේ ගැන විමසන්නී “භික්ෂූන් වහන්සේලා කොයි වැඩ සිටිත් දැ”යි ඇසී ය. “මහෝපාසිකාවෙනි, උන්වහන්සේලා උදේට වත් පිළිවෙත් කොට දන් වළඳා රැස්වී ධර්ම සාකච්ඡා ආදියෙහි යෙදෙති. ඇතැම් දිනවල මේ වන ලැහැබෙහි එක එක ගස්යටට ගොස් තැන්පත් ව ඉඳගෙන භාවනා කොට දවල් දානයට නැවත මෙහි වඩිති. දවල් දානයෙන් පසු ටික වේලාවක් විවේක ගෙන නැවත වන ලැහැබට ගොස් භාවනාවෙහි යෙදී සිටීම සිරිත යි. දායක භවතුන් හැන්දෑවට ආරාමයට එකතු වන වේලාව බලාගෙන පැමිණ ඇඟපත සෝදාගෙන පිරිසුදුව මේ ශාලාවට රැස්වෙති.

දිනපතා දායක භවතුන් හමුවන්නේ ද මේ අවස්ථාවේ දී ය. කා සමඟත් කතා කොට, දහම් දෙසා, ඔවුන් ගිය පසු උන්වහන්සේලා තම තමන් වඩන භාවනාවන් පිළිබඳව විමසිය යුතු කරුණු සාකච්ඡා කරමින් දැනකියා ගෙන සියලු දෙනා වහන්සේ ම එක් ව ප්‍රත්‍යවේක්ෂා කිරීමේ සිට සූත්‍ර දේශනාවන් කීපයක් එකට සජ්ඣායනා කොට දෙවියන්ට පින් දී තම තමන්ගේ කුටිවලට ගොස් මෛත්‍රි භාවනාදිය වඩමින් සැතපීම චාරිත්‍රය යි. නැවත අලුයම අරුණට පළමුව පිබිද මුහුණ කට සෝදාගෙන, බුදුන් වැඳ, වත්පිරිත් දේශනා කොට, වැඩි කතාබහෙන් තොරව ප්‍රතිපදාවෝ ම සම්පූර්ණ කෙරෙති.”