Print this Article


දහමට අනුගත ජීවිතය

දහමට අනුගත ජීවිතය

යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය හා අසාර්ථකත්වය රඳා පවතින්නේ ඔහුගේ හික්මීම හා ස්වයං විනයක් පවත්වා ගැනීමෙනි.

මෙය බුදුරජාණන් වහන්සේ ආත්මය මනාසේ තබා ගැනීම යනුවෙන් දේශනා කළ හ. යමෙකු සමාජය තුළ සිල්වත්ව සිටිත් ද හෙතෙම සමාජයේ පැසසුමට ලක්වේ. යමෙකු සමාජය තුළ අධම්ම චාරීව, විෂමචාරීව, දුශ්සීලව සිටිත් ද, හෙතෙම මුලු මහත් සමාජයේ ම නිග්‍රහය ට, අවමානය ට ලක්වේ.

එම නිසා ධර්මයට අනුගතව, ජීවිතය සකස් කර ගැනීම සඳහා, නිසැකව ම සිල්වත්වීම සැදැහැති සිතින් උපයුක්තව කටයුතු කිරීම, ත්‍යාගවන්තයකු වීම අත්‍යවශ්‍ය වේ. දුශ්සීල පුද්ගලයා නිරතුරුව කය, වචනය මෙහෙයවනු ලබන්නේ වැරැදි ක්‍රියාවන් සඳහා ය. එ තුළින් මෙලොව දී ම නින්දා විඳීම, වද බන්ධනාදියට ලක්වීම, ධන හානිය, ජීවිතය හානිය යන පීඩාවන්ට ලක්ව, මරණින් මතු අපාය ගාමී වීමට ද සිදු වේ. දුශ්සීල යමෙක් තමාගේ දුසිල්වත් බව දැන එම දුශ්සීල භාවයෙන් අතමිදී සීලයෙහි පිහිටියේ වී ද ඒ සියල්ලෙන් ම ඔහු නිදහස් වේ. එමගින් ඔහුට මහත් සම්පත්තියක් ම හිමි වේ. එබැවින් එය උතුම් මංගල්‍යයකි.

සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීමට හේතු වන්නා වූ, බොහෝ පින් කර ගැනීමට සුදුසු වූ බුද්ධෝත්පාද සමය තුළ මනුෂ්‍යාත්ම භාවය ලබා සිටින්නවුන් අතුරෙන් යමෙකු හට තුනුරුවන් කෙරෙහි පැහැදීම ලක්ෂණ කොට ඇත්තා වූ ශ්‍රද්ධාව නැත්තේ වී නම්, ඒ තැනැත්තාට කිසිදු පිනක් දහමක් කරගත නොහැකි වේ. ඔහුට ලැබුණා වූ බුද්ධෝත්පාද කාලය හා මනුසත් බව නිරර්ථක වන්නේ ය. ඔහුගේ සිත පාපයට ම නැමෙන, ඇලෙන, ගැටෙන බැවින් බොහෝ පව් කොට මරණින් මතු ඔහු නරකයේ ද පැසෙන්නේ ය. අශ්‍රද්ධාවත් වූ යමෙකු සැදැහැවතකු වී නම්, එයින් ඔහුට බොහෝ දන් පින් දහම් සිදු කරගත හැකි වේ. මරණින් මතු සුගතිගාමි විය හැකි ය. එබැවින් අශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව ඇති කර ගැනීම ද උතුම් මංගල්‍යයක් වන්නේ ය.

ශ්‍රද්ධාවන්තයෙකු වීමට ප්‍රධාන වශයෙන් ලක්ෂණ තුනකින් සමන්විත විය යුතු ය. එනම්,

සිල්වතුන් වහන්සේ දැකීම, මසුරු මල දුරු කිරීම, සද්ධර්මය ශ්‍රවණය කිරීම, ඒ තුළින් තමාගේ ජීවිතය සාර්ථකත්වයට පත් කර ගනී ද? හෙතෙම ශ්‍රද්ධාවන්තයෙකු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ජීවිතයට හොඳ නරක විනිශ්චය කර ගැනීමට පවතින ප්‍රධානතම මිණුම් දණ්ඩ ධර්මය ය. යම් පුද්ගලයෙකු ධර්මයේ ස්පර්ශය ජීවිතයට ප්‍රායෝගිකව ළඟා කර ගනී ද, ඔහුට ව්‍යර්ථ වූ ජීවිතයේ යථාර්ථ සුවය ළඟා කර ගත හැකිය. එතුළින් ද සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු දෙය ලෙස බැහැර කිරීමටත් ශද්ධාවන්තයා මූලිකව ම ප්‍රඥා ගෝචර වේ.

එහෙත් බොහෝ දෙනා වර්තමානය තුළ නිසරු දෙය සරු ලෙසත්, සරු දෙය නිසරු ලෙසත් සලකමින් නිතරම වැරැදි කල්පනාවල එළඹෙති. එවැනි පුද්ගලයින් ආත්ම දමනය ට අවැසි සරු දහම නොලබති.

තමා මනාකොට තබා ගැනීමට නිරතුරුව ජීවිතයට අත්හැරීම, පරිත්‍යාගය පුරුද්දක් බවට පත් කර ගත යුතු ය. එවිට තමාගේ සිත තුළ ගොඩනැගෙන මසුරු බව දුරු කර ගත හැකි ය. නිරන්තරයෙන් ම කාමභෝගී ව භෞතික දෙය පමණක් ජීවිතය කරගත් මිනිසුන් නිසැකව ම මරණින් මතු නරක, තිරිසන් ආදී සතර අපාය තුළ ම පුනර්භවය සකස් කර ගනිති. ජීවිතයට පුරුදු කරන ලද අත්හැරීම, පරිත්‍යාගය පමණක් මිනිසාගේ සුගතිය සඳහා හේතුවෙති.

තමාට අයත් වස්තුව සැඟවීම ලක්ෂණ කොට ඇත්තා වූ මසුරු මලයෙන් යුක්ත වූවන්ගෙන් ඇතැමෙක් පරහට දීම, තබා, තමාගේ සැප පිණිසවත් ස්වකීය ධනය යොදා නොගනිති. ඇතැමෙක් පිනටත් කිසිවක් නොදී අඹුදරුවන් සමඟ තමා ම අනුභව කරති. මේ දෙපාර්ශවයේ ම මිනිසුන් ඔවුනොවුන් ලැබුවා වූ වස්තුවෙන් ගත යුතු සම්පූර්ණ ප්‍රයෝජනය නොලබන්නෝ ය. ඔවුහු මසුරු ගතිය හේතුවෙන් ම නැණවතුන්ගේ නින්දාවට භාජනය වන, ලාමක ජීවිතයක් ගත කොට මසුරුකම හේතුවෙන් ම නොකැමැත්තෙන් ම හඬ හඬා මරණයට පැමිණ මරණින් මතු ප්‍රේතව බොහෝ සා පිපාසාදී මහත් දුකට භාජනය වෙති. ධනය ඇත්තා වූ යමෙක් ඒ මසුරු ගතිය තමා තුළින් බැහැර කොට, තමා පමණක් සැප විඳීමට බලාපොරොත්තු නොවී දුගී මගී, යාචක, ශ්‍රමණ, බ්‍රාහ්මණාදීන් දානයෙන් සතුටු කරමින් වාසය කෙරෙත් නම්, ඔවුහු මෙලොවදී ම සියල්ලන්ගේ ම ප්‍රශංසාවට පත්ව, මරණින් මතු සුගතිගාමී වේ. එබැවින් මසුරු බව නැති කර ගැනීම ද උතුම් මංගලයකි.

උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

දියාළුවෝ තමන් කැමැති තැනකට ජලය ගෙන යති. හී වඩුවෝ තමන්ට වුවමනා පරිදි හී දඬු නමති, පණ්ඩිතයින් තමාගේ ආත්මය දමනය කර ගනිති.