Print this Article


 මෙත් සවිය මෛත්‍රී සංසදයෙන් මහියංගණ පුද බිමේ ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ

 මෙත් සවිය මෛත්‍රී සංසදයෙන් මහියංගණ පුද බිමේ ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ

වැල්ලවත්ත ශ්‍රී විජයාරාමය ප්‍රධාන මූලස්ථානය ලෙස පවත්වා ගනිමින් ‘මෙත්සවිය මෛත්‍රී සංසදය’ ඉකුත් පහළොස් වසර පුරා සමථ හා විපස්සනා භාවනාව හය දහසකට අධික පිරිසකට උගන්වා ඇති අතර, ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කර ඇත.

මීට අමතරව බෞද්ධ භාවනාවේ ප්‍රයෝජනය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ පවත්වමින්, දෙස් විදෙස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලට එම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරනු ලබන ආයතනයකි. මිරිසවැටිය සළපතල මළුව ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම, නාගදීප වන්දනාවේ යන සැදැහවතුන්ගේ පහසුව සඳහා නාගදීපය සහ කිළිනොච්චියේ ලුම්බිනි විහාරයේ වැසිකිළි පද්ධතීන් සාදා නිම කොට පූජා කිරීම, මහියංගණ රාජමහා විහාරයේ ලක්ෂයකට වැඩි පිරිසකට පිරිසුදු ජලය පානය කළ හැකි, ජල පිරිපහදුවක් සාදා පූජා කිරීම මෙතෙක් ඉටු කරන ලද සමාජ සේවාවන් අතර වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් වූ දුරුතු පුන් පොහෝ දින ශ්‍රී ලංකාද්වීපයේ, මහියංගණයේ මහවැලි නදිය අසබඩ මහා නාගවන නම් වූ උද්‍යානයෙහි පැවැති මහා යක්ෂ සංගමය දිවැසින් දැක, පළමු වැනි වරට ශ්‍රී ලංකාවට වැඩම කළහ. මහියංගණ චෛත්‍යරාජයා පිහිටි ස්ථානයට ඉහළ අහසේ පෙනී සිට නොයෙකුත් ප්‍රාතිහාර්යය දක්වා, යක් පිරිස දමනය කර ඔවුන් ගිරි දිවයිනට යවා මෙම දිවයින ධර්මයෙහි පැවැත්මට සුදුසු ස්ථානයක් බවට පත් කළහ. ඒ අවස්ථාවෙහි එහි රැස් වූ දෙවි දේවතා සමූහයාට ධර්මය දේශනා කොට අවසානයේ දී පූජා වස්තුවක් ඉල්ලා සිටි සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් පිරිනමන ලදී.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්ම ස්පර්ශයෙන් පවිත්‍ර වූ ද, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ දී ම තනන ලද්දා වූ ප්‍රථම චෛත්‍යරාජයාණන් වහන්සේ සහිත මහියංගණ පුදබිමෙහි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී වසර 2600 ක් සපිරීම සමරනු පිණිස හා ප්‍රථම ලංකාගමනය සිදු වී වසර 2600 සමරනු පිණිස ද චිරාත් කාලයක් පවත්නා පූජා වස්තුවක් ගොඩනගා බෞද්ධ සැදැහැවතුන් හට වන්දනාමාන කර කුසල් රැස් කර ගැනීම පිණිස ද යන අරමුණු පෙරදැරිව 2012.01.08 වැනි දින අඩි 84 ක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ගොඩනැගීමේ භාරදූර වූ පුණ්‍ය කටයුත්ත , මෙත්සවිය විසින් අරඹන ලදී.

අස්ගිරි විහාර පාර්ශ්වයේ එවකට මහානාහිමිපාණන් වහන්සේගේ සහ මහියංගණය රජමහා විහාරයේ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ සහ මෙත්සවිය අනුශාසකව වැඩ සිටි අපවත් වී වදාළ අහංගම ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වය මත සහ මෙත්සවිය සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මඟපෙන්වීම මත ඉදි කිරීම් කටයුතු අරඹන ලද එම පිළිම වහන්සේ ‘2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ’ ලෙස නම් කර ඇත. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ අසූහාරදහසක් ධර්මස්කන්ධය සිහිවනු පිණිස අඩි 84 ක උසින් යුක්තව මහියංගණ පුදබිමෙහි විල්ලුව වැව මැද ජලය මත සීමා මාලකයට යාබදව තනනු ලබන අතර, රුපියල් ලක්ෂ 550 ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කොට ඇති බවද කියයි.

මහියංගණ පින් බිමෙහි ඉදිවන අඩි 84 ක් උසැති හිටි බුද්ධ ප්‍රතිමාවහන්සේ මෙරට බෞද්ධ ඓතිහාසික නිර්මාණ අතරට එකතු වන ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වනු නිසැක ය.

බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කිරීම සඳහා අත්තිවාරම දැමීම මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ටී. ආර්. ජයසිංහ මහතාගේ උපදෙස් මත සිදු විය. මෙහි අවසන් අදියර ලෙස පිළිමය තැනීම ඇරඹීම 2018.06.03 දින ආරම්භ කළ අතර, පිළිමය ඉදිකිරීමේ අවසන් අදියර සඳහා ආධාර කළ හැකි බවද එම පදනම කියයි.