Print this Article


දහම් පිපාසිත සමාජයට බුදුසරණ ධර්ම චාරිකා පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයෙන් ඇරඹුණු වගයි

දහම් පිපාසිත සමාජයට බුදුසරණ ධර්ම චාරිකා පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයෙන් ඇරඹුණු වගයි

දහම් පිපාසිත සමාජයේ සිත් පහන් කරවන මා හැඟි පින්කමක් ඉකුත්දා (31) කොළඹ දිසාවේ පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ දී පැවැත්විණි.

බුදුසරණ ධර්ම චාරිකා පුණ්‍ය මහෝත්සවයේ පළමු වන ධර්ම දේශනාව එහිදී පැවැත්විණි.

සංකල්ප මාවතේ සිට ප්‍රදේශයේ සැදැහැති පින්වතුන්ගේ දායකත්වයෙන් හේවිසි පූජා සහ සාධු නාද මධ්‍යයේ මල්, පහන්, ගිලන් පස බුද්ධ පූජා පෙරහර සංකල්ප විහාරය වෙත ළඟා විය.

අනතුරුව හේවිසි පූජා සහ සාධු නාද මධ්‍යයේ ධර්ම දේශනාව සඳහා ධර්ම ශාලා මන්දිරය වෙත පූජ්‍ය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ වැඩම කරවුයේ ඉමහත් ශ්‍රද්ධා ගෞරවයෙනි. මාකන්දන සංකල්ප විහාරාධිපති, කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ විසින් එහිදී කෙටි අනුශාසනාවක් පවත්වනු ලැබුහ. අපේ රටේ පත්තර මහ ගෙදර ලෙස ගෞරවයට පත් ව ඇති ලේක්හවුස් ආයතනය හෙවත් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශත වර්ෂයකටත් අධික කාලයක සිට මෙරට ජනතාවගේ නැණ පහන් දැල්වීමට මහඟු මෙහෙවරක් සිදු කරන අතර, වාර්ෂික මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව ආදී ආගමික කටයුතු නොපිරි හෙලා ඉටු කරන බව පැවසුහ. වෙසෙසින්ම වත්මන් සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ආයතනයේ අභිවෘද්ධියට මෙන්ම සේවක සුබ සාධනයට මහත් මෙහෙවරක් සිදු කරන අතර ආගමික, සාමාජීක මෙහෙවර ද නොඅඩුව සිදු කිරීම මහත් සතුටට කරුණක් බවද උග්ගොඩ ධම්මින්ද හිමියෝ පැවැසුහ.

සංකල්ප ධර්ම මන්දිරය පිරී ඉතිරී යන මහ පිරිසක් ධර්ම ශ්‍රවණයට තැන්පත්ව සිටියහ. ඖෂධීය දැහැත් වට්ටිය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා විසින් බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වමින් ධර්ම දේශනාවට ආරාධනා කළහ.

සංකල්ප විහාරස්ථ දායක පින්වතුන් මෙන්ම මාකන්දන, බටකැත්තර, මඩපාත ඇතුළු අවට ප්‍රදේශවාසින්ගෙන් ධර්ම මන්දිරය පිරී පැවැතිණි. ලොකු කුඩා සියලු දෙනා මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළහ.

බුදුසරණ ධර්ම චාරිකා පළමු ධර්ම දේශනාව පවත්වමින් පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමිපාණන් වහන්සේ මෙසේද පැවැසුහ.

පත්තර මහ ගෙදර බුදුසරණ පුවත්පත අඛණ්ඩව සතර පෝදාටම පළවන එකම බොදු පුවත්පත ය. දශක හයකට ආසන්න කාලයක් පුරා බුදුසරණ පුවත්පත මෙරට ජනතාවගේ දහම් නැණ වර්ධනයට සිදු කර ඇති සේවය සුවිශාලය.

අප කුඩා කාලයේ දී පවා නොකඩවා කියවු බුදුසරණ පුවත්පත ධර්ම ඥානය වර්ධනය කර ගැනීමට එක් හේතුවක් විය. ධර්මය දේශනා කරන නවක දේශක ස්වාමීන් වහන්සේලාටත්, ධර්මය කියවන සුවහසක් බෞද්ධ පාඨකයාටත් නිරන්තරයෙන් කියවා බලා ධර්ම ඥානය පෝෂණය කර ගැනීමට බුදුසරණ මහත් මෙහෙවරක් ඉටු කරයි. වෙසෙසින් ම වෙසක් සමය ආදී ඓතිහාසික ආගමික අවස්ථාවන්හී දි මෙරට සම්භාවනීය ධර්ම විනයධර මහා යතිවරයාණන් වහන්සේලාගේ සාර ගර්භ ලිපි මඟින් බුදුසරණ කවදත් පෝෂණය වු බව බුදුසරණ පාඨකයාට රහසක් නොවේ.

මෑත භාගයේ වැඩ සිටි සම්භාවනීය යතිවරයන් වහන්සේලා අතර මහාචාර්ය වරකාවේ ධම්මාලෝක නාහිමි, අඹන්වැල්ලේ පඤ්ඤාසේකර නාහිමි, තලල්ලේ ධම්මානන්ද මහා නාහිමි, පල්ලත්තර සුමනජෝති නාහිමි, කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, තලල්ලේ ධම්මාලෝක නාහිමි, අකුරැටියේ අමරවංශ නාහිමි, කොත්මලේ අමරවංශ නාහිමි, හෑගොඩ ඛේමානන්ද නාහිමි, වටරප්පල නන්දරතන නාහිමි ආදී නම් හාර පන්සියයක මහා යතිවරයන් වහන්සේලා තෛ‍්‍රනිකායික පුජනීය මහ සඟ රුවන බුදුසරණට ලිපි සම්පාදනය කළා.

එම ලිපි කියවා තිබෙන අතර අප සිත් ගත් බොහෝ ලිපි අප ඒකරාශි කර තිබෙනවා. බුදුසරණ ධර්ම චාරිකා මෙසේ අරඹන ලදි . පැරැණි දේ ආරක්ෂා කරමින් සහ පෝෂණය කරමින් නව අදහස් ඒකරාශී කරමින් බුදුසරණ ධර්ම චාරිකා අනාගතයේ මහඟු මෙහෙවරක් ඉටු කරනු ඒකාන්තයි.

එම ධර්ම දේශනා පින්කමෙහි සැදැහැති දායකත්වය පිළියන්දල සහ හෝමාගම ප්‍රසාද් ටෙක්ස්ටයිල් ආයතනය සහ දර්ශන හඳුන්කූරු වෙතින් ලබා දී තිබුණි. ධර්ම දේශකයාණන් වහන්සේ වෙත ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා විසින් අටපිරිකර පුජා කරන ලදී. පිළියන්දල වෙළෙඳ සංගමය මඟින් ධර්ම ශ්‍රවණයට පැමිණි සැදැහැවතුන් වෙත රාත්‍රී ආහාරය පිරිනමන ලදී. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන් වෙත පිරිකර පුජා කිරීම ලේක්හවුස් සාමාන්‍යාධීකාරි අභය අමරදාස මහතා විසින් සිදු කරන ලදී.

එම පින්කම සඳහා කැස්බෑව එක්සත් ජාතික පක්ෂ සංවිධායක නිරෝෂන් පාදුක්ක, කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා, ප්‍රසාද් ටෙක්ස්ටයිල් අධිපතිනි සරත් ධර්මසිරි, ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි ලසන්ත චන්ද්‍රතිලක, ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සුරියආරච්චි, සහකාර සාමාන්‍යාධීකාරී අසංක පිරීස්, බුදුසරණ කර්තෘ රමණී සුබසිංහ, මඩපාත ලේක්හවුස් අලෙවි නියෝජීත ලලිත් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී දර්ශන හඳුන්කූරු සැදැහැවතුන් වෙත නොමිලයේ පිරිනමන ලදී.

 

බිංගිරියේ ලේක්හවුස් අලෙවි නියෝජිත මිල්ටන් දොඩංගොඩ ආරච්චි මහතා ඇතුළු පවුලේ සැම විසින් කැස්බෑව ගෝණමඩිත්ත පාර පදිංචි චාලට් ගජසිංහ මෑණියන්ට දිගාසිරි පැතීම සහ මිය ගිය සියලු ඥාතීන්ට පින් පිණිස ද, ලේක්හවුස් පිළියන්දල අලෙවි නියෝජිත සමන්ත කුමාරගේ මහතාගේ පරලොව සැපත් එච්. එම්. ආරියදාස සහ ඩබ්ලිව්. එම්. ඥානවතී මව්පියවරුන් වෙත ධර්ම දානය පතා බුදුසරණ පුවත්පත පිරිනමන ලදී.

බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක බෞද්ධ පත්‍ර කලා විශාරද සීසර් සුදුසිංහ මහතා එහිදී වැඩම කළ මහ සඟ රුවන සහ සැදැහැවතුන් පිළිගැනීම් කථාව සිදු කළේය.