Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: අනවබෝධය ගැටුමට හේතුවයි

අනවබෝධය ගැටුමට හේතුවයි

වර්තමාන සමාජයෙහි ගැටුම් සහගත මානසිකත්වයෙන් යුතුව කටයුතු කරන පුද්ගලයෝ ද, අන්‍යයා සමඟ සුහදව ජීවත්වීමට දක්ෂ මිනිස්සු ද වෙති. ගැටුම් සහගත මානසිකත්වයෙන් පිරි පුද්ගලයා, සෑම දෙයක්ම සිතන්නේ ද, කියන්නේ ද කරන්නේ ද අන්‍යයාගේ අදහස් නොවිමසා හිතුමනාප ලෙස ය. ඔහු බොහෝ විට තමා නිවැරැදි ලෙසත්, අන්‍යයා වැරැදි ලෙසත්, උපකල්පනය කරයි.

තමා දන්නා බවත්, අන්‍යයා නොදන්නා බවත් සිතයි. අන්‍යයා සමඟ සුහදව ජීවත්වීමේ මානසිකත්වයෙන් පිරි පුද්ගලයා සිතන්නේ ද, කියන්නේ ද, යමක් කරන්නේ ද, අන්‍යයාගේ අදහස් විමසා බලා ය. රුචි අරුචිකම් තෝරා බේරාගෙන ය. තමා කරන කිසියම් කතාවක් නිසා හෝ ක්‍රියාවක් නිසා හෝ කෙනෙකුගේ සිත රිදවීමට ඔහු කැමැති නැත. ඒ ඔහුගේ ස්වභාවය යි. සමාජයේ ජීවත්වන මිනිස්සු, ස්ත්‍රි හෝ වේවා, පුරුෂ හෝ වේවා මේ අන්ත දෙකෙන් එකකට වැටෙන්නේ ය. ඒ ඔවුන්ගේ උප්පත්ති ගතිය යි. ඇතැම්විට සමාජය හා ඇසුරු කිරීමෙන් ලත් දැනුම නිසා ඇතිකරගත් ක්‍රමවේදයන් ය.

නැන්දම්මා හා ලේලිය අතර ගැටුම තුළ ඇත්තේ ද මේ ස්වභාවය යි. ඇතැම් නැන්දම්මලා ගැටුම් සහගත ගති සිරිත් ඇති අය යි. ඇතැම් ලේලිලා හෝ ඇයගේ අම්මා එබඳු ගැටුම් සහගත ගතිසිරිත්වලින් පිරි අය යි. ඇතැම් නැන්දම්මලා සාමකාමී ගතිගුණවලින් පිරුණු අය යි. ඇතැම් ලේලිලා ද එබඳු ය. නැත්නම් ලේලිගේ අම්මා එබඳු කෙනෙක් නිසා දුව ද ඒ අයුරින් සකස් වූවා ය.

ලේලිය, පවුලේ ඇසුරට එන්නේ පුතාට පසුව යි. ඇය පවුලට ආගන්තුක කෙනෙකි. බොහෝ විට ඇතැම් ගතිසිරිත් ද , අම්මාගේ ඇතැම් ගතිසිරිත් ද, ඇතැම් පරස්පරයක් තිබේ. පුතාට පොරොන්දම් බැලුවත්, නැන්දම්මා හා ලේලිය අතර පොරොන්දම ගැලපීමක් නැති නිසා මෙය මෙසේ විය හැකි ය.

කෙසේ වෙතත් අලුතෙන් පවුලට එකතුවන පුද්ගලයා ඒ පවුල් සංස්කෘතිය තුළ ආධුනික ගතිසිරිත්වලින් පිරී තිබේ.

කාලයක් යනතුරු නිහඬව නිසොල්මනේ ලේලියගේ යුතුකම විය යුත්තේ පවුල් පරිසරය අධ්‍යයනය කිරීම ය. එම පවුල් පරිසරය තුළ හැදුණු වැඩුණු පුද්ගලයන් ප්‍රශ්නයකට මුහුණ දෙන ආකාරය, අන්‍ය පුද්ගලයන් පිළිබඳව කතා කරන ආකාරය, ආගම දහමෙන් ඇති කරගත් හැකියාව ආදිය ලේලිය විසින් සියුම් ව නිරීක්ෂණය කළ යුතු ය.

නැන්දම්මා කෙබඳු ආකාරයේ කෙනෙක් වුව ද ,ඇය වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැති බව ලේලිය කල්පනා කළ යුත්තේ විවාහයෙන් අවුරුදු පහක් වත් ගතවීමෙන් පසුව ය. ඒ දක්වා ඇය කළ යුත්තේ තමාගේ මව සේ ම නැන්දම්මා සමඟ ද තමාගේ විවෘතභාවය අඟවමින් සුහදව කතාබහ කිරීම ය. එයට හේතුවන්නේ ඇය පවුල් පරිසරයට අලුතෙන් එකතු වූ කෙනෙකුවීම නිසා ය.

ඒ පවුලෙහි අඩුපාඩු හදන්නට හෝ හරි වැරැදි කියා දෙන්නට කිසියම් ලේලි කෙනෙකු ඉදිරිපත් වන්නේ නම්, එසේ කළ යුතු වන්නේ ඔවුන්ගේ ඉල්ලීම මත ය. නැතිනම් ඔවුන්ට උපදෙස් දීමට, හරි වැරැදි කියාදීමට යෑම සුදුසු නොවේ.

නැන්දම්මා හා ලේලිය අතර සිද්ධවෙන ගැටුම් හා ඒවායේ ස්වභාවය අධ්‍යයනය කොට බැලීමේ දී දකින්නට ලැබෙන ප්‍රධාන කාරණය නම්, ඔවුනොවුන් පිළිබඳ අවබෝධයක් නැතිනම් හෝ තමාගේ භූමිකාව මැනවින් අවබෝධ කරගත නොහැකි නිසා සිද්ධ වූ ඒවා බවයි. ඒවා දුරදිග යෑම අනෙක් අයගේ උපදෙස් අනුව කටයුතු කරන්නට යාම, ගේ තුළ ගිනි පිටතට දීම, අන්‍යයාගේ ම අඩුපාඩු පරික්ෂා කරන්නට බලන්නට තමන්ට බලයක් ඇතැයි කල්පනා කිරීම ආදිය ගැටුම්වලට හේතු වේ.

නැන්දම්මා සහ ලේලිය අතර නැන්දම්මා, ලේලිය වූ නිසාම පවත්නා වූ අරගලයක් සමාජය තුළ දකින්නට නැත. මානසික අනවබෝධය, අන්‍යයාට ගරු නොකිරීම ආදී වූ තම ජීවිත කාලය පුරාම පවතින ඇතැම් අඩුපාඩු මේ වගේ දෙයකට හේතුවිය හැකි ය. තෘෂ්ණාධික බව ද, විවාහ වූ දවසේ සිට පිරිමියා සම්පූර්ණයෙන් ම තමාට ලියා ගන්නට යාම ආදී කරුණුත් මේ සඳහා හේතු වේ. මේවායින් පෙනෙන්නේ සමාජ ජීවිතය අන්‍යයාගේ අදහස් විමසා බලා තම අදහස ප්‍රකාශ කිරීම ආදී ගතිගුණ සෑම මනුෂ්‍යයකු තුළ ම පැවතිය යුතු බව ය. ඒවා නොමැති තැන නැන්දම්මා ලේලිය හෝ වේවා, තමාගේ අසල්වැසියා වේවා තම සේවාස්ථානයේ සේවය කරන අය සමඟ වේවා ගැටුම් ඇතිවිය හැකි ය. ඒවා පොදු පුද්ගල දුර්වලතාවයන් ය.