නිවන් මඟයි නො පමාවයි
සිංගප්පූරුවේ
ප්‍රධාන සංඝනායක
වේරගොඩ සාරද නා හිමි

අප්පමාදො අමතපදං
පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති
යෙ පමත්තා යථා මතා
නිවනට මඟ නො පමාවයි
පමාව මරණයට මඟයි
නො පමා වූවෝ නො මියෙති
පමා වූවොත් මළවුන් වෙති
කොසැඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක්, භාග්‍යවතුන් වහන්සේ එනුවර රජ කළ උදේනී
රජතුමා ගේ අග මෙහෙසියක වූ සාමාවතිය පිළිබඳ ව මේ ගාථාත්‍රය දේශනා කර වදාළ හ.
භද්‍රාවතී නම් නගරයක භද්‍රාවතිය නම් සිටුවරයෙක් විසී ය. හෙතෙම ඝෝෂක සිටාණන් ගේ
මිත්‍රයෙක් වූයේ ය. එහෙත් ඔවුන් එකිනෙකා දැන නො තිබිණි. භද්‍රාවතී නගරයේ සිට එන
වෙළෙඳුන් අතින් භද්‍රාවතිය සිටාණන් ගේ ධන සම්පත් ගැන ඇසූ ඝෝෂක සිටාණෝ ඔහු සමඟ
මිත්‍රත්වයක් ඇති කර ගන්නට සිතා තෑගි බෝග යැවී ය. එමගින් හෙතෙම අදෘෂ්ට මිත්‍රත්වයක්
ඇති කර ගත්තේ ය.
කලකට පසු භද්‍රාවතිය සිටාණන් ගේ නිවසෙහි එක් භයානක රෝගයක් ඇති විය. මෙම රෝගයෙන්
මුලින් ම මිය යන්නෝ මැස්සෝ ය. ඉන් පසු ක්‍රමයෙන් කෘමි සත්තු, මීයෝ, කුකුළෝ, ගවයෝ
වැනි සත්තු මිය යති. අවසන නිවසේ හැම දෙනා ද මිය යති. බිත්තියක් කඩාගෙන පලා යන්නෝ
පමණක් ජීවත් වෙති. භද්‍රාවතිය සිටුතුමා, දේවිය හා දියණිය මෙසේ දිවි ගළවා ගනු පිණිස
බිත්තියක් බිඳ ඉන් නික්ම ඝෝෂක සිටාණන් ගේ පිළිසරණ ලබනු පිණිස එහි යාමට පිටත් වූ හ.
ගමන නිම කරන්නට පෙර ම ඔවුන් මඟ දී කෑමට බීමට ගෙනා සියල්ල නිම විය. අව්වෙන් හා
සුළඟින් පීඩිතව කුසගින්නෙන් වෙළී දුකට පත් වූ හ. අපහසුවෙන් කොසඹෑ නුවරට පැමිණි
ඔවුහු එක් පොකුණකින් දිය නා සැරසී රැය ගත කිරීම පිණිස නුවර දොරටුව අසල ලැගුම් හලකට
ගිය හ.
පසුදින දුබල ව, වැහැරී චාම් ඇඳුමින් සැරසී සිටි සිටුතුමා තමන් පත්ව සිටි තත්ත්වය
ගැන මෙනෙහි කොට දේවිය අමතා, ‘දේවිය, මෙලෙස අප මිතුරු බැහැ දකින්නට යා හැකි ද?
අපි මෙසේ දුබල ව වැහැරී සිටිනවා දුටුව හොත් වැදූ මවට වුව ප්‍රිය මනාප නැත. අපේ
මිත්‍රයා ගේ දන්සැලක් ඇත. එහි දුගී දුප්පත් අසරණයන්ට දිනපතා ආහාර පාන දෙනු ලැබේ.
දුව එහි යවා කෑම ගෙන්වා ගෙන අනුභව කර නීරෝගී වී යමු’යි යෝජනා කළේ ය. දේවිය ද එය
අනුමත කළෙන් ඔවුහු ලැගුම් හලේ ම නැවතී දියණිය දන් සැලට යැවූ හ. දහවල් වන විට ඔවුහු
බඳුනක් දී දියණිය දන් සැලට යැවූ හ. සැප සම්පත් මැද අභිමානවත් ලෙස හැදුණු වැඩුණු
නමුත් නිහතමානීව දුගී දුප්පත් යාචකයන් ගැවසෙන දන්සැලට ගිය ඕ බඳුන දිගු කළා ය.
‘කොටස් කීයක් නුඹට අවශ්‍ය ද’ යි දන්සල භාරකරු ප්‍රශ්න කළ විට ‘තුනක්’ යි පැවසූ ඇයට
කොටස් තුනක් ලැබිණ. ඒවා නවාතැනට ගෙන’වුත් අනුභවයට සැරසුණු විට සිටු දේවිය සිටුවරයා
අමතා “අපේ දිවි රැකෙන්නේ ඔබෙන් ය. ඔබ රැකුණොත් මිස අප රැකී කවර පලක් ද? එහෙයින් මේ
බත් සියල්ල ඔබ ම අනුභව කර පණ රැක ගන්නැ’යි සියල්ල ම ඔහුට ම අනුභව කර වූවා ය. එහෙත්
කුසගින්නේ සිට එක්වර මහත් ප්‍රමාණයක් අනුභව කළෙන් දිරවාගත නො හැකිව හෙතෙම
රාත්‍රියෙහි කළුරිය කළේ ය. සංවේගයට පත් ව ඔහු ගේ අවසන් කටයුතු කළ ඔවුහු පසු දින ද
අහර පිණිස දියණිය යැවූ හ. එදින කොටස් කීයක් අවශ්‍ය දැයි ඇසූ විට ඕ දෙකක් ඉල්ලා
ගත්තා ය. එදින මව ඇමතූ දියණිය, ‘මෑණියෙනි, පියාණනුත් මිය ගිය හෙයින් ඔබ රැකුණොත් මම
රැකෙමි. එහෙයින් මේ කොටස් දෙක ම අනුභව කර ඔබ රැකෙන්නැ’යි කීවා ය. ඕ තොමෝ ද කොටස්
දෙක ම අනුභව කර දිරවා ගත නො හී රාත්‍රියෙහි මිය ගියා ය.
පසුදින දන්සලේ දී දියණිය එක් කෑම කොටසක් පමණක් ඉල්ලූ විට දන්සල පාලකයා ‘අද ද තී
තමන් ගේ බඩේ තරම දැන ගත්තේ?’ යි බැණ වැදුණා ය. මහත් ලජ්ජාවට පත් සිටු දියණිය ‘මා
මුල් දිනයේ කොටස් තුනක් ගෙන ගියේ කෑමට අප තිදෙනෙක් සිටි නිසා ය. ඊයේ අපි දෙදෙනෙක්
බවට පත් වී මු. අද ඉතිරිව සිටින්නේ මා පමණය’ යි පැවසුවා ය. ඒ කවර හෙයින් දැයි විමසා
දන්සල් පාලකයා සියලු කතාව අසා දැන ගත්තේ ය. ඔහු ගේ දෑසට කඳුළු නැඟිණි. ‘දුක් නො
වන්න දියණිය, අද පටන් ඔබ මගේ දියණිය වන්න’යි සිය නිවසට ඇය කැඳවා ගත් හෙතෙම මහත්
සෙනෙහසින් ඇය වැඩුවා ය. |