Print this Article


බෝසත් දරුවන්ට: වැරැදි ලෙස සිතුවොත් පැහැබර නොවේ නුවණත්

වැරැදි ලෙස සිතුවොත් පැහැබර නොවේ නුවණත්


පින්වත් දරුවනේ, අද නිකිණි අමාවක පෝය දිනය. පෝය දිනයට කියන්නේ උපෝසථ දිනය කියලයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි වාසය කරන දවස. අද අප කතා කරන්නේ ප්‍රඥාව දියුණු කරගන්නා ආකාරය ගැනයි. ප්‍රඥාව දියුණුවෙන ක්‍රම සතරක් තිබෙනවා. ඒ, සත්පුරුෂයන් ආශ්‍රය කිරීම, සද්ධර්ම ශ්‍රවණය කිරීම, යෝනිසෝ මනසිකාරය හා ධම්මානු ධම්ම පටිපදාව යන ක්‍රම සතරයි.

මේ සතර කරුණු අතරින් යෝනිසෝ මනසිකාරය ගැන පැහැදිලි කර ගනිමු. එය ප්‍රඥාව ලබාගත හැකි විශේෂිතම අංගයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ නිවැරැදිව නැවත නැවත සිතීමයි. එවිටයි ප්‍රඥාව දියුණු වෙන්නේ. අප සිතනවා තමයි. ඒත් නිවැරැදිව සිතන්නේ බොහොම සුළු පිරිසයි. ඒ නිසා අපට තිබෙන්නේ අයෝනිසෝ මනසිකාරය.

වැරැදි ලෙස සිතන්නේ කෙසේද? අපි මෙලෙස සිතමු. තරහෙන් සිටින කෙනෙක් තමන්ට බැණ වැදුණා කියලා ආරංචි වෙනවා. එවිට තමන්ට මෙලෙස සිතෙනවා. ඒ පුද්ගලයා මට මීට පෙරත් බැණ වැදී තිබෙනවා. එහෙම නම් අදත් මට බණින්නට ඇති. මෙලෙස සිතමින් හොඳටම කේන්ති ගන්නවා. අද නම් මම හොඳ දඬුවමක් දෙනවා’යි සිතමින් ඒ පුද්ගලයා හමුවීමට යනවා. යන අතරමග දී ම ඒ කෙනා මුණ ගැසෙනවා.

“අනේ, මට සමාවෙන්න. මම ඔයාට බැණ වැදුණේ වැරැදීමකින්. වරද කළේ වෙන කෙනෙක්”. ඔහු කියනවා. දැන් ඒ පුද්ගලයාට දඬුවම් දෙන්න හිතෙන්නේ නෑ. මුල දී එහෙම සිතුණේ වැරැදි ලෙස සිතූ නිසයි. වැරැදි ලෙස සිතූ නිසා සිතට දැඩි තරහක් ඇතිවුණා. ඒත් නිවැරැදිව සිතීමෙන් පසුව තරහව නැති වුණා.

දරුවනේ, සෑම දෙයක්ම මේ වගෙයි. යම් දෙයක් ඇසෙන විට, යම් දෙයක් දැනෙන විට, යම් දෙයක් කරන විට විමසා බලා කටයුතු නොකර, සිතුණ ගමන්, දැනුණ ගමන්, කියපු ගමන් ක්‍රියාත්මක වීම අයෝනිසෝ මනසිකාරයයි.

හොඳින් ඉගෙන ගන්නා දරුවෙකුට නිවැරැදි ව සිතන ක්‍රමවේදය ඉතාම වැදගත්. අම්මා, තාත්තා නිතරම දොස් නගන විට සමහර දරුවන්ට තරහ ඇතිවෙනවා තමයි. ඒත් ඒ ගැන නිවැරැදිව සිතුවොත් “මම නිතරම දොස් අසන්නේ කුමක් හෝ ගැටලුවක් නිසයි” කියලා තේරුම් ගන්නට හැකිනම් අම්මා, තාත්තා අපට ඉන්න වටිනාම වස්තුව බවට පත්වෙනවා.

එහෙම නම්, වෛර කරන්නන්, තරහ කරුවන් සාදා ගන්නේ තමන් ම බව තේරෙනවා නේද? දරුවනේ, බරපතළ ලෙස අපරාධ සිදු කරන්නේ අපගේ සිතයි.

“මට බොහෝ ප්‍රශ්න තිබෙනවා.” යැයි පුංචි කාලේ සිටම දුකෙන් ඉන්න දරුවන් දැක තිබෙනවාද? නැති ප්‍රශ්න හදාගන්නේ, සතුටින් ඉන්නට ඕනෑ කාලේ දුකෙන් ඉන්නේ අයෝනිසෝ මනසිකාරය නිසයි. වැරැදි ලෙස සිතන කිසිවෙකුගේ නුවණ දියුණු වෙන්නේ නෑ. නුවණ දියුණු නොවන අයට කියන්නේ මෝඩයන් කියලයි.

සමාජයේ සමහර පුද්ගලයන් නිවැරැදිව සිතන්නේ නෑ. සිතා මතා වැඩ කරන්නේ නෑ. අපි මේ ක්‍රමය වෙනස් කරමු. නිවැරැදි සිතිවිලි, නිවැරැදි ක්‍රියාකාරකම් හඳුනා ගන්නට නම් හිතන්නට පුරුදු වෙන්නට ඕනෑ.

‘නාචිත්ත යං තො පුරිසො
විශේෂඅධි ගච්ඡති’

සිතන්නේ නැති අය දියුණුවට පත්වන්නේ නෑ.

ඒ කියන්නේ සිත, කය, වචනය යන තුන්දොර මැනවින් රැක ගැනීම ගැනයි. තුන්දොර හික්මවා ගත් පුද්ගලයා, ඒ කියන්නේ සිත, කය, වචනය සංවර කරගත් පුද්ගලයා තමන්ට වගේ ම, සමාජයටත් හිතකරයි.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර තිබෙන්නේ පුද්ගල පාරිශුද්ධිය මෙන් ම, සමාජ පාරිශුද්ධිය සඳහා යි. පුද්ගල විමුක්තිය මෙන් ම, සමාජ විමුක්තිය සඳහා යි. දරුවනේ, පුද්ගලයින් සන්සුන් වූ තරමට, හික්මුණ තරමට තමයි සමාජයට ශාන්තියක්, සුගතියක් ලැබෙන්නේ. එවිටයි සමාජයේ ගුණධර්ම ආරක්ෂා වන්නේ. බෞද්ධ ගුණධර්ම, ප්‍රතිපත්ති රැකෙන්නේ. හිතලා වැඩ කරන්නේ නැති සමාජය පිරිහෙනවා විනාශ වෙනවා.

යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නා ආකාරය ගැන අපි එළැඹෙනපුර අටවක පෝදා බුදුසරණ පුවත්පතින් ඉගෙන ගනිමු.