Print this Article


මේ වස්සාන කාලයයි - 3: පෙර වස සහ පසු වස

මේ වස්සාන කාලයයි - 3:

පෙර වස සහ පසු වස

මෙම ලිපි පෙළෙහි සඳහන් කළ අයුරින් බුදුරජාණන් වහන්සේ සමාජ මතයට, ජන මතයට ගරු කරමින් එදිනෙදා පැවැති ඒ සිරිත් විරිත්වලට ගරු කරමින් භික්ෂූන් වහන්සේලාටත් මේ වස් තුන් මාසයක කාලය තුළ එක් තැනෙක වැඩ වාසය කරන ලෙස විනය ප්‍රඥප්තිය පැනවූහ.

වස් හාර මාසයක් හැටියට දැක්වූයේ, තුන් මාසයෙන් අනතුරුව පසු කලෙක හඳුන්වා දුන් එනම් දෙවනුව හඳුන්වා දුන් දායක ඇත්තන්ට අතිරේක චීවරයක් හෙවත් කඨින සිවුරක් පූජා කිරීමට අවස්ථාව දුන් මාසයක කාලයත් එකතු කිරීමෙනුයි. ඒ අනුව වස් හාර මාසයක කාලයක් හැටියට ධර්මයේ පෙන්වා දෙනවා. මෙහි දී මේ වස් විසිමේ චාරිත්‍රය වගේ ම, එය විනය ප්‍රඥප්තියක් හැටියට සැලකිය හැකියි. චාරිත්‍රයක්, විනය ප්‍රඥප්තියක් කියන මේ දෙකට අමතර ව වඩාත් ම වැදගත් කරුණ වන්නේ, මේ කාලය තුළ භික්ෂූන් වහන්සේලා විසින් නිවන් මඟ අරමුණු කරගෙන මාර්ගඵල අවබෝධය ලබා ගැනීමට සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන කාලයක් හැටියට දැක්වීමයි. එනම් අරහත්වයට පත්වීමට උත්සාහ කරන, එසේ උත්සාහ කිරීමෙන් බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිසක් අරහත්වයට පත් වූ කාලය හැටියටත්, දැක්වීම නිසා ය.

ධර්ම කතාව අනුව පිණ්ඩපාතයේ හැසිරීමත් භාවනායෝගී භික්ෂුවකට හෝ භික්ෂුණියකට බාධකයක් විය හැකියි. මේ කාලය තුළ එක තැනක වැඩ වාසය කරන විට සැදැහැති ගිහි පිරිස් විසින් දානය ආරාමයට හෝ විහාරයට හෝ කුටිවලට ම ගෙනවිත් පිළිගැන්වීම නිසා උන්වහන්සේලාට උදය කාලය පුරා පිණ්ඩපාතයේ හැසිරීමට තිබූ කාලය ඉතිරි කර ගත හැකියි. එය චිත්ත සමාධිය පිණිස, ඵල ප්‍රඥාව, විමුක්තිය පිණිස යොදාගත හැකියි. බොහෝ භික්ෂූන් වහන්සේ එය එසේ ම සිදු කළා. මේ නිසා මාර්ගඵල අවබෝධය ලැබීමට උපකාරවන වටිනා ම කාලයක් හැටියට මේ වස් හාර මාසයක කාලය සඳහන් කළ හැකියි.

භික්ෂූන් වහන්සේලා ලෙස මෙහි වචනයෙන් සඳහන් කළත්, මේ විනය ප්‍රඥප්තිය පනවනු ලැබූයේ උපසපන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙනුයි. එහෙත් වර්තමානයේ උපසපන් භික්ෂූන් වහන්සේලා වගේ ම සාමණේර භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තිය අනුව වස් සමාදන් වනවා කියන ශික්ෂා පදයට අනුව අධිෂ්ඨානයක් ඇති කර ගත්තේ නැති වුණත් උපසපන් භික්ෂූන් වහන්සේලා හා සමගින් ම විහාරවල වැඩ වාසය කරමින් සීල සමාධි ප්‍රඥා ගුණවඩන මඟට එකතු වී සිටිනවා. එය ඉතාමත් යහපත් කරුණකි. සාමණේර වූවත්, උපසම්පදා වූවත්, ගිහි වූවත්, පැවිදි වූවත්, උපාසක, උපාසිකා වූවත්, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් අවබෝධකර ගැනීම ලද ඕනෑම අවස්ථාවක සිදු කරගත යුතු උතුම් අවස්ථාවකි.

මේ නිසා සාමණේර ද, උපසම්පදා ද, ගිහි ද, පැවිදි ද කියන භේදයකින් තොරව ධර්ම මාර්ගය තුළ හැසිරී දුකින් නිදහස්වීමේ මාර්ගය සම්පූර්ණ කර ගැනීම කළ යුතු දහමකි. සාමණේර භික්ෂූන් වහන්සේ නමක් කුඩා කාලයේ පැවිදි වී ඇත්නම්, විසි වයස් සම්පූර්ණ වන විට දෙසිය විසි හතක් වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සමාදන් වෙමින් උපසම්පදාවට පත්වීමත් බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තියයි.

විසි වයස් ඉක්මවා පැවිදි ජීවිතයට පත්වන්නේ නම් ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාගේ නියමය අනුව එවැනි සාමණේරයන් වහන්සේලා ට ඕනෑම කාලයක, අවස්ථාවක උපසම්පදා සීලය සමාදන් වී උපසම්පදා අවස්ථාවෙන් අංග සම්පූර්ණ භික්ෂූත්වය ලබා ගැනීම සිදු කරගත හැකියි.

වස්සූපනායික ධර්ම කතාවට අනුව බුදුරජාණන් වහන්සේ මේ වස්සාන කාලයේ වස් එළඹීමට අවසර ලබාදුන්නත් , එහි දී අවස්ථා දෙකක් භික්ෂූන් වහන්සේලාට ලබා දුන්නා. එකක් නම් පෙරවස් එළඹීමයි. දෙවෙනි කරුණ නම් පසුවස් එළඹීමයි. ඇසළ මාසයේ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹීම සිදු කළ යුතුයි. එනම් ජූලි මාසයේ පසළොස්වක පොහෝදා දිනය මුල්කොටගෙන ඉන් අනතුරු දිනයෙහි වස් අධිෂ්ඨානය කළ යුතුයි. එය පෙර වස් එළඹීම හැටියට දක්වනවා.

ඊළඟට නිකිණි පොහොය. එනම්, අගෝස්තු මාසයේ පසළොස්වක් පොහෝ දිනය මුල්කොටගෙන ඉන් පසු දින අව පෑළවිය දිනයෙහි පසුවස් එළඹීම සිදු කරගත හැකියි. ඇසළ මාසයෙහි අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹීමට යම් වූ ද උපසපන් භික්ෂූන් වහන්සේ නමකට නොහැකිවුණා නම් උන්වහන්සේට බුදුරජාණන් වහන්සේගේ විනය ප්‍රඥප්තියට අනුව ගරු කරමින් උන්වහන්සේ ශාසනයෙහි විනය මාර්ගයෙන් බැහැර වූ අයෙක් නොවී පාරිශුද්ධ වූ භික්ෂු ජීවිතයක් ගත කරන අයෙක් ලෙස වස් එළඹීමේ අවස්ථාවක් ලබාදීමයි.

නිකිණි අව පෑළවිය දිනයෙහි පසුවස් එළඹීමට අවස්ථාව සලසාදීම සිදුකොට ඇත්තේ එමගින් උන්වහන්සේටත් වස්සාන කාලය සම්පූර්ණ කළ හැකි නිසයි. එහෙත් මෙහි දී ම මේ කරුණ සඳහන් කළ යුතුයි. එනම් වස් තුන් මාසයක කාලයෙන් අනතුරුව චීවර මාසය හෙවත් කඨින මාසයේ සිද්ධ කරන ගිහි ඇත්තන් විසින් සකස් කොට පූජා කරනු ලබන කඨින චීවරයක් පිළිගත හැකි වන්නේ ඇසළ මාසයේ අව පෑළවිය දා වස්විසීම අධිෂ්ඨාන කොට වස්සාන ඡේදනය නොකොටගෙන, එනම් වස් බිඳගන්නේ නැතිව මනාව ආරක්ෂා කරගෙන වප් පුරපසළොස්වක පොහෝදා දිනයෙහි වස් පවාරණයෙන් වස්සාන කාලය අවසන් කළ භික්ෂූන් වහන්සේ නමකට පමණයි. පසුවස් හෙවත් නිකිණි මස අව පෑළවිය දා වස් අධිෂ්ඨානයෙන් පසු පසුවස් විසූ භික්ෂූන් වහන්සේ නමක් එසේ කඨින චීවරයක් පිළිගැනීමට සුදුස්සෙක් බවට පත්වන්නේ නැහැ. වෙනස එයයි. එනමුත් පෙරවස් හෝ පසුවස් විසූ උපසපන් භික්ෂූන් වහන්සේලා දෙපිරිස ම සීලමය වශයෙන් හෝ විනය ප්‍රඥප්ති අනුගමනය කළ හෝ නොකළ පිරිස් හැටියට කිසිදු වෙනසක් නොමැතිව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ එක හා සමාන ප්‍රශංසාවක්, ගෞරවයක් සම්පූර්ණ කර ගැනීමත් දැක ගන්නට පුළුවනි.