වස් විසීම
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
උත්තරීතර මහානායක
අග්ගමහාපණ්ඩිත
මහා මහෝපාධ්‍යාය
කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි
වස් ආරාධනා කිරීමට දායක දායිකා පිරිසක් හෝ දායක දායිකා මහතෙක්, මහත්මියක් හෝ ඇතත්,
නැතත් උපසම්පදා භික්ෂු නමක් ඇසළ පෝදා අනෙක් භික්ෂූන් වහන්සේලා සමඟ සීමා මාලකයකට
ගොස් පොහොය විනය කර්ම කොට, ඍතුව යෙදී ඇති පරිදි එදින ම හෝ ඊට පසු දින වස් සමාදන්
විය යුතු ය.
ඒ සඳහා වහලයක් ඇති කුටියක් හෝ ගෙයක්, නැත්නම් මඩුවක්, එහෙමත් නැත්නම් ගල් ගුහාවක්
සකස්කරවා ගත යුතු ය. කෙනෙක් නැත්නම් තමන් වහන්සේ සකස් කරගත යුතු ය. තමන් වහන්සේ
ඉදිරි ඇසළ පෝ දින වස් සමාදන් වීමට බලාපොරොත්තු වන බැවින් සාර මසකට පමණ සුදුසු තැනක්
පිළියෙළ කර දෙන්නැයි තව කෙනෙකුට දැනුම් දීමට ද භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ
අනුමැතිය දුන්හ. පුරාණ කාලයෙහි භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් දහ පහළොස් නමක්,
තිස් හතළිස් නමක් නැත්නම් හැට හැත්තෑ ගණන් හෝ ඊට වැඩි සිය ගණනක් එක්ව බුදුරජාණන්
වහන්සේ වෙත අඩුම තරමින් සතියක් හමාරක්වත් නැවතී, රහත්වීම පිණිස තම තමන්ගේ චරිතයට
අනුකූල භාවනා ක්‍රමයක්, කර්මස්ථානයක් දැන කියාගෙන මෙසේ නගරයෙන් පිට විවේක ප්‍රදේශයක
නුදුරෙහි ගම්මානයක් පිහිටි වන පෙදෙසක වස් සමාදන් ව තෙමස පුරා ම කර්මස්ථානය වඩමින්
එමගින් ඔවුන් වහන්සේලා මග ඵල ලබාගැනීම බොහෝ සෙයින් ම සිදුවන්නකි.
තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙක සමාන ගති
පැවතුම් ඇති, ප්‍රිය මනාප, මිතුරුදමින් වැඩුණු, තරුණ විය ඉක්මවමින් සිටි භික්ෂූන්
වහන්සේලා සැට නමක් පැමිණ තමන් වහන්සේලාට චරිත්‍රානුකූලව සුදුසු කර්මස්ථානයක් ලබා
දෙන මෙන් බුදුරදුන්ගෙන් ඉල්ලා සිටිමින්, ‘භාග්‍යවතුන් වහන්ස, අපි සැටදෙනා වහන්සේ
මිතුරුදමින් වැඩුණු ඇත්තෝ වෙමු. අපි සියල්ලෝ ම එක එක ගම්වල විසූ අය වූව ද පැවිදි
බවට පත්වූවෝ, රහත් බවට පත්ව නිවන් අවබෝධ කරගනු සඳහා ය. පැවිද්දට පත්ව උපසම්පදාව ද
ලබා දැනට අවුරුදු හත අටක් ගත වී ඇත. සාරිපුත්ත - මොග්ගල්ලානා දී මහරහතන්
වහන්සේලාගෙනුත්, බුදුපියාණන් වහන්සේගෙනුත් බණ අසා, අපේ දැඩි උත්සාහය හැකිතාක්
ඉක්මනින් සසර ගමන කෙළවර කර ගැනීමට ය. ඒ සඳහා අපට යෝග්‍ය භාවනා ක්‍රමයක් වදාරනු
මැනව’යි ඉල්ලා සිටියහ. බුදුරජාණන් වහන්සේ චරිත්‍රානුකූලව ඒ ඒ අයට යෝග්‍ය භාවනා
ක්‍රම කියාදුන් සේක. |