Print this Article


ධම්මපදයෙන් ජීවිතයට: බවුන් වඩා නිවන් ලබමු

බවුන් වඩා නිවන් ලබමු

මෙම ලිපියේ පළමු කොටස නිකිණි පුර පසළොස්වක පෝදා (අගෝස්තු 14වනදා) පත්‍රයේ පළවිය.

අප්පම් පි චෙ සහිතං භාසමානො
ධම්මස්ස හොති අනුධම්මචාරි
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං
සම්මප්පජානො සුවිමුත්තචිත්තො
අනුපාදියානො ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හොති

ඉතා ටිකක් බණ දෙසුවත්
දහම අනුව පිළිපැද්දොත්
රාග - දෝස - මෝහ දුරැර
මිදුණු සිතින් හොඳ නුවණින්
නොබැඳී එලොවත් මෙලොවත්
පැවිදි දිවිය ඵලය ලබත්

එම ප්‍රශ්නය විදර්ශනා ධූරය පිරූ රහතන් වහන්සේට යොමු කරනු ලැබිණ. උන් වහන්සේ ඊට නිවැරැදිව පිළිතුරු දුන්හ. සාධු සාධු යි එය අනුමත කළ භාග්‍යවතුන් වහන්සේ අවශේෂ මාර්ග ඵල පිළිබඳව ද උන්වහන්සේගෙන් ම විමසූ හ. ඒ හැම ප්‍රශ්නයකටම නිවැරැදි පිළිතුරු ලැබුණු අතර, ඒ තුන් වාරයේ ම භාග්‍යවතුන් වහන්සේ ද සාධුකාර දුන් හ. ඒ ඇසූ දිව්‍ය බ්‍රහ්මාදීහු ද සාධුකාර දුන්හ.

බුදුරදුන් දුන් සාධුකාරයෙන් ග්‍රන්ථ ධූරය පුරන හිමියන් ගේ සිසු හිමිවරු සහ ගිහි දායකයෝ නො පහන් වූ හ. ‘ඇයි බුදුරදුන් මෙසේ කරන්නේ? මහලු භික්ෂුව පිළිතුරු දුන් හතර වතාවේ ම උන් වහන්සේ සාධුකාර දුන්නත්, දහම දිවග ලෙලැවූ අපේ ධර්මධර, විනය ධර පණ්ඩිත හාමුදුරුවන් පිළිතුරු දුන් විට එසේ කළේ නැහැ. එය අසාධාරණයි’ ඔවුහු එකිනෙකා කොඳුරන්නට වූ හ.

‘මහණෙනි, ඔබ මොනවා ද කියන්නේ?’ යි බුදුහු ප්‍රශ්න කළහ. ඔවුහු තම විමතිය උන්වහන්සේට කියා පෑහ. ‘මහණෙනි, ඔබේ ජනප්‍රිය භික්ෂුව මගේ සසුනේ කුලියට හරක් බලනවා වැනියි. එහෙත් ම පුතු මහ රහත් නම පස් ගෝ රසය ම තමන් සතු කර ගත් ගව හිමියෙකු වගෙයි’ යනුවෙන් ඇති තතු පැහැදිලි කර වදාළහ.