පරම සැපත උදාකරන දහම
කිරිඉබ්බන්ආරේ
අමිලධම්ම හිමි
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායේන වාචාය මනසා
“මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයින්, වචනයෙන් හා සිතින් කර්ම
රැස් කෙරේ.”
කර්මය වූ කලී සෑම සත්ත්වයෙකුට ම පොදු වූ ධර්මතාවය කි. සත්ත්වයා කර්මය දායාද කොට
වෙසෙති. එකී කර්මය පුද්ගලයාගේ චේතනාව මුල්කොට ගෙන පවතී. චේතනාව උපයෝගී කොට ගනිමින්
සිත මුල් වී, සිත, කය, වචනය යන තිදොරින් සත්ත්වයා බොහෝ කර්ම රැස් කරති. ඒ යහපත් හා
අයහපත් වශයෙනි. මිනිසා ට සිදුවන සෑම දෙයක් ම සිදුවීමට හේතුව කර්මය යැයි ඇතැමෙක්
විශ්වාස කෙරෙති. එබඳු අදහස් දරන්නෝ ඇතැම්විට කිසිදු උත්සාහයක්, වීර්යයක් නොමැතිව,
සියල්ල සිදුවීමට දෛවයට භාර දී සිටී.
භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනය තුළ පැහැදිලි කරනුයේ උත්සාහයෙන්, ස්වඡන්දයෙන්,
වීර්යයෙන් යුතුව අනලස්ව වැඩ කිරීම ය. භවයෙහි සැරිසරන සත්ත්වයාට මූලික වශයෙන් මුහුණ
දීමට සිදුවනුයේ කර්මය ට අනුව ලැබෙන පුනර්භවය ක ට ය. පුනර්භවය හා කර්මය පිළිබඳ මහා
ප්‍රඥාව ලැබෙන තුරු සත්ත්වයා සසර ඉපදෙමින්, මැරෙමින් මහත් දුක් පීඩා ලබති.
“කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සේ.”
“පව් කරන කලට මී සේ දැනුන ද, එහි විපාක විඳින කලට පුද්ගලයා ගිනි සේ දැවී අළු වී
යන්නේ ය. තව ද, කිරි දොවන අවස්ථාවේ දී ම එය නොමිදෙන්නා සේ, කර්මය කළ අවස්ථාවේ දී ම
එය විපාක නොදේ. එය අළු යට ගිනි පුපුරු මෙන් විපාක දෙන තෙක් පව් කාරයා දවමින් ඔහු
පසු පස ගමන් කරයි.කර්මය විපාක දෙන නොයෙක් විදි ඇත. ඒ සඳහා ඉඩ සැලසුනු අවස්ථාවේ දී
තමන් කළ කර්මයට අනුව විපාක දෙන අවස්ථා හතරක් දක්වයි. ඒ අනුව මෙලොව දී විපාක දෙන
කර්මයනුත්, මින් මතු දෙවෙනි ආත්ම භාවයේ දී විපාක දෙන කර්මයනුත්, හා සසරෙහි කෙදිනක
හෝ විපාක දෙන කර්මයන් වශයෙන් ද, විපාක දීමට අවස්ථාවක් නොලද, එය වැළැකී යන අවස්ථාව
යන ආදී වශයෙන් ඒ බව පෙන්වා දී තිබේ.
“සියලු ධර්මයන්ට සිතමුල් වේ. මනස ප්‍රධාන වේ. සියල්ල මනසින් කෙරේ. ඉදින් ප්‍රසන්න
සිතින් යමෙක් කතා කරයි ද, ක්‍රියා කරයි ද ඔහු පසු පස අත් නොහැර එන සෙවනැල්ල මෙන්
සැපය ලුහු බඳී. දුෂ්ඨ වූ අප්‍රසන්න සිතින් කතා කරන, ක්‍රියා කරන පුද්ගලයා පසු පස
දුක ලුහු බඳින්නේ ගොනාගේ පාදය පසු පස එන රියසක මෙනි.
මෙසේ පෙන්වා දුන් කර්මය ට අනුව සත්ත්වයා විසින් සිත, කය, වචනය යන තිදොරින් යහපත්
චේතනා මාත්‍රයෙන් ක්‍රියා කිරීම තුළ යහපත් ප්‍රතිඵල මෙන් අයහපත්, අවැඩදායි දූෂිත
ක්‍රියා කිරීමෙන් දුක් විපාක විඳීම ට සිදු වේ.
රජගහ නුවර පුණුන නම් සේවකයෙක් විය. හේ සුමන සිටු ගේ කුඹුරේ සී සාමින් සිටිය දී,
සැරියුත් මහ රහතන් වහන්සේට දැහැටි හා පැන් පාත්‍රයක් පිදී ය. එයට කුසල විපාක වශයෙන්
කුඹුරේ රත්‍රං පහළ විය. එම පින අනුමෝදන් වීමේ විපාකය එම අවස්ථාවෙහි දී ම ඔහුට අත්
විඳීමට භාග්‍යය උදා විය.
මේ අප මෑතක දී ඇසූ කතාවකි. එක් ගමක එක්තරා කරත්ත කරුවෙකු තම කරත්තෙහි බැඳි ගවයා
වයසට යන තෙක්ම වැඩ ගත්තේ ය. එම සතාගෙන් වැඩ ගැනීමට නොහැකි දුබල ම තත්ත්වයේ දී ගවයා
මස් කඩයට විකුණන්නට විය. එ පමණක් නොව සතාගේ මාංශ ද ගෙනවිත් තම බිරිඳට පිසින්නට
දුන්නේ ය. එම අවස්ථාවේ දී ඔහු අසල ලී මඩුවකට ගොස් එහි විදුලි කියතෙන් ලී ඉරමින්
සිටි අයට ද කෑමට ආරාධනා කළේ ය. තරමක් මත්ව සිටි මේ ගෝ ඝාතකයා ලී ඉරමින් සිටි
පුද්ගලයෙකු හා කතා කරමින් සිටියේ ය. එහි දී ඔහු ඇඳ සිටි සරම ලී ඉරන යන්ත්‍රයෙහි ඇදී
ගොස් කැපී ඔහු මියැදෙන්නට විය.
ගසක් මල්, කොළ, අතු ආදිය නිසා ලස්සන වුවත්, එහි වටිනාකම ඇත්තේ එහි අරටුව නිසා ය.
කෙනෙකු වයසින් මුහුකුරා යන්න, යන්න සමාජයෙන් විවිධ සිරිත් විරිත් එකතුකර ගනී.
පුද්ගලයාගේ පරම සැපත උදා කරන මේ දහම කිසිම ආගම් භේදයකින් තොරව සත්ත්වයාට කුසලය හා
අකුසලයත්, ප්‍රතිවිපාකයත් පෙන්වා දීමේ ගෞරවය හිමි වූයේ අප බුදුරජාණන් වහන්සේට ය.
සංසාරේ අප්‍රමාණ කාලයක් තිස්සේ රඟ පෑ චරිත අපට ම දැන් අමතක ය. ඒ නමුත් තවත් ඉදිරියට
රඟපෑමේ කෙළවරකුත් නැත්තේ ය. එහෙත් අපි මේ රඟපානුයේ සංසාරික ගමනේ ඉතා කුඩා ජවනිකාවක්
බව දන්නෙමු, නම් අපි මෙහි තව දුරටත් ඇලෙන්නෙමුද? තව දුරටත් ගැලෙන්නෙමු ද?
සසරෙහි ඇති බියකරු බව දැන, දැන අයහපත් වූ, පාපී ක්‍රියාවන්ගෙන් බැහැරව, යහපත් වූ
පුණ්‍ය ක්‍රියාවන් හී නිරත වීමට අපේ සිත, කය, වචනය මෙහෙය වීමට අදිටන් කර ගනිමු. |