Print this Article


සතිපට්ඨාන භාවනාව 63 : සත්‍ය නිර්දේශය මාර්ග සත්‍ය - සම්මා ආජීව

සත්‍ය නිර්දේශය මාර්ග සත්‍ය - සම්මා ආජීව

නිකිණි පුර අටවක පෝදා (අගෝස්තු 07 ) පත්‍රයේ ලිපිය හා සම්බන්ධයි.

බුදුරජාණන් වහන්සේ කළ සෑම දේශනාවක් ම පැහැදිලි කර දුන්නේ , කායික සංවරය, වාචසික සංවරය, මානසික සංවරය පිණිස යි. අප ඉහත සඳහන් කළේ කායික සංවරයෙන් සංවර වීම පිණිස යි. එවි ට මානසික සංවරයත් ඉබේම සැකසෙයි. කතාව අඩුකළ විට වාචසික සංවරයත් බොහොම හොඳ වෙයි. එසේනම්, බුදු දහමෙහි සංවර ක්‍රම තුන යි, කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය යනුවෙන්. මෙලෙස සංවර වූවෝ බුදු, පසේ බුදු, මහ රහත් තත්ත්වයට පත් වුණා. අප ද සංවර වෙමින් ඉදිරියට යනවා. අවසාන මොහොත දක්වා ම. ඒනිසා, බුද්ධ ශාසනය සැමදාම ලොවේ නැහැ. බොහොම කලාතුරකින් අසන්න, දකින්න තියෙනවා. ඒ බුද්ධ ශාසනය තුළ ගුණ ධර්ම හොඳින් දියුණු තියුණු කරගත්තොත්, එහි විපාක ඇත්තේ තමන්ටම යි.

ඒ නිසා තමන් මේවා හොඳින් වටහාගෙන සිල්වන්තකම, ගුණවන්තකම හොඳින් වඩා වර්ධනය කළ යුතු යි. ඒවාගෙන් අපේ සිතෙහි සතිය නොහොත් සිහි කල්පනාව පහළ වෙයි. එය සති සම්බොජ්ඣංගය නම් වෙයි. මේවා මෙනෙහි කරද්දී හොඳට නුවණ දියුණු තියුණු වෙයි. එය ධම්ම විඡය සම්බොජ්ඣංගය නම් වෙයි. බණ, භාවනා කටයුතු හොඳින් දියුණු කරගෙන යද්දී උත්සාහය හොඳින් මතුවී දියුණු වෙනවා. එය විරිය සම්බොජ්ඣංගය නම් වෙයි. ඒ සිතට ලැබෙන විශාල ප්‍රීතිය පීති සම්බොජ්ඣංගය නම් වෙයි. සිතේ, කයේ දරදඬු ගති සංසිඳී අපට පස්සද්ධියක්, සංසිඳීමක් ලැබෙනවා, කෙලෙසුන්ගේ සංසිඳිමක් ලැබෙනවා. එය පස්සද්ධි සම්බොජ්ඣංගය නම් වෙයි. එයින් ලැබෙන චිත්ත සමාධිය, සිතේ තැන්පත්කමක්, ධ්‍යාන අවස්ථාවක් ලැබෙනවා. එය සමාධි සම්බොජ්ඣංගය නම් වෙයි.

ඉන් අනතුරුව අපට ලැබෙන්නේ මධ්‍යස්ථ භාවය යි. කුමන දෙයකවත් ඇලීමක් ගැටීමක් නැතිව , මධ්‍යස්ථව ඉන්න පුළුවන් තත්ත්වයක් ලැබෙනවා. එය උපේක්ඛා සම්බොජ්ඣංගය නම් වෙයි. මේ සප්ත බොජ්ඣංග ධර්ම හත දියුණු කරගැනීම සඳහා බුදු කෙනෙක් ලොවේ පහළව උන්වහන්සේ ධර්මය ලොවට දේශනා කරනවා. ඒ අසන අය ත් මාර්ගාංග හොඳින් දියුණු කර ගනි යි. මඟ ඵල නිවන් සුවයට පින් මදි අය මාර්ගාංග හොඳින් දියුණුවෙන් තමන් ඉදිරියට ගමන් කරනවා. මේ පිළිබඳ කවුරුත් හොඳ දැනීමකින් මේ ගමන ඉදිරියටම යන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය වන්නේ සිහි කල්පනාව යි. සිහි කල්පනාවෙන් යුක්තව ඉදිරියට ම යා යුතු යි. ශාසනයත් ආරක්ෂා කරගෙන තමන්ට නිවන් මග යන්නට පුළුවන්කම තියෙනවා. මේ සඳහා උට්ඨාන වීර්යය අවශ්‍යය යි. මෙයින් ඉදිරියටම යාමෙන් සම්මා ආජීවය බොහොම පිරිසුදු වෙයි.

පෙර සඳහන් කළා සේ ම හොඳින් අධිෂ්ඨාන තබමින් සිතෙන් මෙනෙහි කරමින්, සිතෙන් අධිෂ්ඨාන කරමින් ඉදිරියට යද්දී තම කායික සංවරය බොහොම යහපත් වන අතර, මානසික සංවරය දියුණු වෙයි. මෙනෙහි කරද්දී වාචසික සංවරය ද ලැබෙයි. එසේනම්, කායික, වාචසික, මානසික සංවරය , සීල, සමාධි , ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරගන්නට මහෝපකාරී වෙනවා. එසේම ලොවුතුරා බුදු දහමේ කියැවෙන සියලුම ගුණ ටික දියුණුවෙන් ඉදිරියට යන්නට පුළුවන්. මේවායේ හැල හැප්පිලි ගති නැහැ. එසේම ඇලීම, ගැටීම නැහැ. සුහදශීලීව මේ ගුණ ධර්මයන් වඩා වර්ධනයෙන් සම්මා ආජීවය ඉතා පැහැදිලිව ම අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කර ගැනීමට මේ භාවනා ක්‍රමයත් හේතු වාසනා වේවා!