Print this Article


ධම්මපදයෙන් ජීවිතයට: දහමෙහි ප්‍රතිඵල ලබන්න මැනවින් එය පිළිපදින්න

දහමෙහි ප්‍රතිඵල ලබන්න මැනවින් එය පිළිපදින්න

බහුම්පි චෙ සහිතං භාසමානො
න තක්කරො හොති නරො පමත්තො
ගොපො’ව ගාවො ගණයං පරෙසං
න භාගවා සාමඤ්ඤස්ස හොති

දෙසුවත් බණ වැඩි වැඩියෙන්
නො පිළිපදිති – ප්‍රමාදයෙන්
බලනා අන්සතු ගවයන්
නො ලබති ඵල ලෙස ගොපළුන්

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසමින් මිතුරු දමින් වෙළී සිටි භික්ෂු දෙනමක් ඇරබ මේ ගාථා දෙක දේශනා කළ සේක.

සැවැත් නුවර ප්‍රභූ පවුල් දෙකක තරුණයෝ දෙදෙනෙක් දැඩි මිත්‍රත්වයෙන් වෙළී සිටිය හ. වරක් ඒ දෙදෙන විහාරස්ථානයට ගොස් බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම දේශනාවක් අසා දහමෙහි පැහැදී කම්සුව අත්හැර පැවිදි බිමට පත් වූ හ. වසර පහක් පමණ ආචාර්යය උපාධ්‍යායයන් යටතේ මූලික ශික්ෂණය ලැබ ග්‍රන්ථධූරය හා විදර්ශනා ධූරය පිළිබඳව අසන්නට ලැබී බුදුරජාණන් වහන්සේ වෙතින් ඒ පිළිබඳව සියලු විස්තර අසා දැනගත්හ.

ඒ දෙනමගෙන් වැඩිමහලු හිමි නම ‘මම වැඩි මහලුව පැවිදි වූ හෙයින් ග්‍රන්ථ ධූරයෙහි කටයුතු කරගන්නට අසමත් මි. එහෙත් මට විදර්ශනා ධූරයෙහි කටයුතු කර ගත හැකි ය’යි. පවසා රහත් ඵලය බලන තුරු අදාළ වන කර්මස්ථාන ලබා ගත්තේ ය. අනෙක් නම “මම ග්‍රන්ථ ධූරය පුරන්නට සමර්ථයෙමි”යි නගරයෙහි ම නැවතී ධර්ම විනය හදාරන්නට අධිෂ්ඨාන කර ගත්තේ ය. කර්මස්ථාන ලබා ගත් හිමි නම වනගත ව බවුන් වඩා රහත් ඵලය ලබා ගත් අතර ග්‍රන්ථ ධූරය තෝරා ගත් හිමි නම මනාව ධර්ම විනය ප්‍රගුණ කර ගෙන තැනින් තැන සංචාරය කරමින් ඉගැන්වීමේ කටයුතු කළේ ය. උන් වහන්සේ ගෙන් ධර්ම විනය හදාළ භික්ෂූ පිරිස පන්සියයක් පමණ වූ අතර උන් වහන්සේ භික්ෂූන් අටළොස්සකගේ උපාධ්‍යායවරයා ද වූ හ.

මේ අතර තුර භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ලබා ගත් පන්සිය නමක් භික්ෂූහු විදර්ශනා ධූරය වඩන හිමි නම විසූ ආරණ්‍යයට ගොස් උන් වහන්සේ ගේ අවවාද ද ලබමින් භාවනා කර රහත් ඵලය ලැබූ හ. අනතුරුව උන් වහන්සේට වැඳ නමස්කාර කළ ඒ පන්සිය නම තමන් භාග්‍යවතුන් වහන්සේ දක්නට යා යුතු බව පවසා සිටිය හ. “යහපති. එසේ නම් යන්න. ගොස් භාග්‍යවතුන් වහන්සේට හා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට මා වෙනුවෙන් සිහිකර නමස්කාර කරන්න. එසේ ම මගේ සහෝදර නමට ද “අපේ ගුරු හිමියන් ඔබ සිහිපත් කළා”යි ද පවසන්න” යි පවසා සමු දුන්හ.

ඒ හිමිවරු එසේ ම බුදුරදුන් හා මහා ශ්‍රාවකයන් වහන්සේ වැඳ තම ආචාර්යයන් වහන්සේ ගේ මිතුරු හිමි නම ද බැහැ දැක ‘අප ගේ ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ සිහිපත් කළා’යි පැවසූ හ. “ඒ කවු ද?’යි උන් වහන්සේ ප්‍රශ්න කළහ. ‘ඒ ඔබ වහන්සේ ගේ එකට පැවිදි වූ මිත්‍ර ස්වාමීන් වහන්සේයි’.

‘එයා ගෙන් ඔබ මොනවා ද ඉගෙන ගත්තේ? එයා ඉගෙන ගත් ධර්ම විනයක් නැහැ නේ. පාංශුකූල සිවුරක් අරගෙන කැලෑ වැදුණා මිසක් මොනව ද ඉගෙන ගත්තේ?’ තම මිත.‍්‍ර හිමි නම කවදා හෝ වනයේ සිට නගරයට පැමිණි දිනක මේ තරම් සිසුන් පිරිසක් පිරිවරා ගෙන ඉගැන්වූයේ කුමක් දැයි අසන්නට තීරණයක් ගත්තේ ය. උන් වහන්සේ ගෙන් ධර්ම ප්‍රශ්න විමසන්නෙමියි සිතා ගත්තේ ය.

ටික කලකට පසු භාග්‍යවතුන් වහන්සේ දකින්නට පැමිණි වැඩිහිටි රහ තන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට සහ මහා ශ්‍රාවකයන් වහන්සේලාට හර සර දක්වා අනතුරුව සිය මිත්‍ර ග්‍රන්ථ ධූරි හිමි නම දකින්නට ද ගියේ ය. උන් වහන්සේ ද වනවාසී රහතන් වහන්සේට ගෞරවාචාර දක්වමින් පා සිවුරු පිළිගෙන ‘අද මම මුන් වහන්සේ ගෙන් හොඳ ප්‍රශ්න ටිකක් විමසමි’යි සිතමින් සංග්‍රහ කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ, 'මේ භික්ෂුව මපුතණුවන් ගෙන් ප්‍රශ්න අසා හිරිහැර කර අකුසල් කර ගත හොත් එයට ඔහුට ම අලාභ පිණිස පවතී' යැයි සිතා ඔවුන් දෙනම වැඩි සිටි තැනට වැඩම කළ සේක. එසේ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ග්‍රන්ථධූරය පිරූ භික්ෂූන් වහන්සේ ගෙන් ප්‍රථම ධ්‍යානය පිළිබඳව ප්‍රශ්නයක් විමසූ හ. එම භික්ෂුව ඊට නිවැරදි පිළිතුර දුන්නේ ය. අනතුරුව ද්විතීය ධ්‍යානය ගැන විමසූ හ. ඊට ද නිවැරැදි පිළිතුර ලැබිණ.

අෂ්ට සමාපත්තීන් හා රූප ලෝක හා බ්‍රහ්ම ලෝක ගැන ද විමසූ සියලු ප්‍රශ්නවලට සාර්ථක ලෙස නිවැරැදි පිළිතුරු දීමට භික්ෂු නම සමත් විය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ සෝතාපත්ති ඵලය පිළිබඳව ප්‍රශ්නයක් නැඟූහ. ග්‍රන්ථ ධූරය පුරන හිමි නම ඊට පිළිතුරු දීමෙහි අසමත් විය.
 

මෙහි ඉතිරි කොටස නිකිණි අව අටවක ( අගෝස්තු 23) පත්‍රයේ පළවේ