Print this Article


පහන් සිතක කවි

සසර දුක්

සඳුන් පැන් ඉස සමන් මල් ගෙන බුදුන් පා මුල පුදන්නේ
දෙසූ සදහම් සිතින් අරගෙන කෙලෙස් මල දුරු කරන්නේ
සසර දුක් බිය නිමා කෙරුමට නිතර වීරිය කරන්නේ
භවෙන් භවයට උපන් ගමනට හැකි සැනින් තිත තබන්නේ

****

පොහෝ අසිරිය

පඤ්ච සතික නමින් පළමු ධර්ම සංගායනාව
මෙසේ සිදුව ඇත්තේ මේ පොහෝ දිනේ වන්දනාව
පසුවස් එළඹීම නිකිණි පෝ දින විය යුතු මනාව
දළදා පෙරහර කරනෙමි මම වන්දනාව

****

පුන් සඳ බබළන අද පුර පෝයකි

පන්සල් වත්තම සුදු මල් යායකි
සම්බුදු බණ පද හද බැඳි සෑයකි
පින් සිතිවිලි මැද ගැයූ බැති ගීයකි
පුන් සඳ පායන අද පුර පෝයකි

තණ්හා ආශා කෙලෙස් තුරන් කර
මන්දිරයක දිවි ගෙවන මතින් තොර
පෙන්වන කරුණා ගුණය මෙතින් බර
පින්බර සතහට ළඟය නිවන් පුර

****

මෑණියනි

අන්දවා දුහුල් සළු ගතට සිසිලස දුන්න
පෙරා ලේ බිඳු කිරට නිවූ මගෙ කුස ගින්න
නිරෝගී සුව පතා ඇවැසි විට ඔසු දුන්න
අවසරයි මෑණියනි පා පියුම් නම ඳින්න

****

අනඳ හිමි

නාලාගිරි ඇතා රා දහසක් බීලා
බුදු හිමි වෙත එද්දී මත් වීලා
බුදු හිමි රැකුමට සිත යොමු වීලා
හිමිගේ ඉදිරියෙ ඉන්නට ආවා

හිමිහට කරදරයක් දැයි සිත් වී
බුදු හිමි රැකුමට දිවි කැප කළ ඒ
ධර්ම භාණ්ඩාගාරික වූ අනඳ හිමි
උපස්ථායක යි සම්බුදු හිමිගේ

****

නිකිණි පෝදා

දළදා මාලිගාවේ ඇත් රජු ඉන්නේ
බැතිබර සතුටකිනි හද ඉපිලී යන්නේ
බිම ඇන දෙදණ බැති බරවයි නමඳින්නේ
නිකිණි පෝය දා බව මට වැටහී යන්නේ

****

කඨින පින්කම

පාවා නුවර සිට තිස් නමක් හාමුදුරුවෝ
සැවැත් නුවරට වඩින අතරේ
තෙමෙන්නට විය මහා වැස්සට
මෙය ඇසූ බුදු හාමුදුරුවෝ
තුන් සිවුරු හැර තවත් සිවුරක්
පිළිගන්නට කරුණාවෙන් වදාළා
වසරකට එක් වරක් පමණක්
අප සැමදෙන එක්වෙලා
පුදන ඒ චීවරය
කඨින චීවරය ලෙස ඇත නම් දරා

****

අදිටන

දිවි මගට
කෙතරම් බාධක
පැමිණියත්
අප සම්බුදු පියාණන්
ආදර්ශයට ගනිමින්
මහා පර්වතයක් සේ
නොසැලී අදිටනින්
යුතුව ගමන් කළ
හැකි නම්
ඔබ සැබෑ මනුෂ්‍යයෙකි

****

නමදිමු නා සමිඳු

රට රටවල වඩිමින් මෙත් ගුණ පෑදූ
අතර ගල්ලේ නායක අනුරුද්ධ සමිදු
පතමින් දිගායුෂ අප සැම දෙන දැනුදු
නිදුක් නිරෝගී වේවා නායක සමිඳු

මෙත් ගුණ වඩන සැමගෙම සිත් පුබුදු වන
කරුණා දයා පතුරා ලොව සිත් නි වන
දහම් සිසිල හදවත් තුළ පුබුදු වන
නායක සමිඳු නමදිමු බිම දෙදණ ඇණ

****

පොහොය දිනය

පුද බිම ශාන්තය නො ඇසුණු යකඩ කට
සිල්ගත් උවසුවන් මළුවෙහි දැහැන පිට
සරසා තිබුණි මුළු පින්බිම එකලු කොට
පොහොය දිනය කෙතරම් වටිනවද මට

****

සදහම් කෙතකි

බොදු දන හද දහම් සිසිලෙන් තෙත් කරන
සතියට වරක් සැරි සරමින් ලක් දෙරණ
දහම් පුවත් අතරින් මුල් තැන දරණ
සදහම් කෙතක් මෙනි සැමටම බුදු සරණ