Print this Article


අලුත් අවුරුදු මංගල්‍යය

අලුත් අවුරුදු මංගල්‍යය

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, විශේෂයෙන් ශ්‍රී ලාංකික ජනතාවට ඉතා වැදගත් වන්නකි. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සතර මංගල්‍යයන්ගෙන් එකක් වන මේ මංගල්‍යය, අලුත් අවුරුදු දිනයේ හා ඊට පෙර දින එනම් පරණ අවුරුදු දිනයේ දී පැවැත්වේ. බොහෝ විට එය අප්‍රේල් 13 හා 14 දෙදින පවත්වයි.

ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකස් කරන ලද අවුරුදු නැකත් පත්‍රය අනුව, දළදා මාලිගාවේ හා සතර දේවාලයන්හි මල්වතු අස්ගිරි උභය මහා විහාරය ඇතුළු ඒ හා සම්බන්ධ විහාර හා දේවාලයන්හි අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කෙරේ.

මේ අලුත් අවුරුදු මංගල්‍යයේ මුරුතැන් පිළියෙල කිරීම, පූජා කිරීම හා නානුමුර මංගල්‍යය හා හිසතෙල් ගෑම ආදිය ප්‍රධාන වේ. නානුමුර බෙදාදීම ඉපැරැණි චාරිත්‍රයකි.

නැකැත් මොහොට්ටාල විසින් සකස් කරන ලද නැකැත් පත්‍රයේ දක්වා ඇති ඖෂධවලින් සකස් කරගන්නා ලද නානු ද, තෙල් ද ශ්‍රී දළදා මාලිගාවේ කාරිය කෝරාළ ඇතුළු නිලධාරී පිරිස විසින් සෑම වර්ෂයකම අප්‍රේල් 12 දින සවස 2 ට මහනුවර ශ්‍රී නාථ දේවාලයට ගෙන යයි. වට්ටෝරු රාළ, ගෙපරාළ හා දළදා මාලිගාවේ ලේකම්තුමා මේ සඳහා නාථ දේවාලයට පැමිණේ. නාථ දේවාලයේ මුන්තෝලය නමින් හැඳින්වෙන ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී නානු හා තෙල් බෙදා දීම සිදු වේ.

මෙහිදී ශ්‍රී දළදා මාලිගාව, සතර මහා දේවාල ඇතුළු විහාරස්ථාන කිහිපයකට පෙරහරින් මේ නානු හා තෙල් ගෙනයාම සිදුවේ.

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් අවුරුදු මංගල්‍යයේ තවත් වැදගත් සම්ප්‍රදායක් වන්නේ, දළදා මාලිගාවේ හා සතර මහා දේවාලයන්හි සියලුම රාජකාරීකරුවන් අලුත් අවුරුද්දට පෙර දිනයක එකවර දියවඩන නිලමේවරයා හා බස්නායක නිලමේවරුන් හමු වී එම නිලමේවරුන්ට බුලත්හුරුලු දී බැහැදැකීම යි.

අනතුරුව දියවඩන නිලමේවරයා හා රාජකාරීකරුවෝ මල්වතු අස්ගිරි මහා විහාරයට ගොස් මහානායක මාහිමිවරු, අනුනායක හිමිවරු හා තේවාව සිදුකරන ස්වාමීන්වහන්සේලා බැහැදැක, අභිනව වර්ෂයට ආශීර්වාද ලබා ගැනීම සිදුවේ.

එමෙන් ම මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අනුනායක නාහිමිවරුන් ප්‍රමුඛ එම පාර්ශ්වයන්හි මහා සංඝරත්නය, වස් පිළිවෙලින් මහ නා හිමිපාණන් වහන්සේ වෙත පැමිණ දැහැත් වට්ටි සහිත බුලත් හුරුලු දී පිළිගන්වා ආශීර්වාද ලබා ගනී.

වාර්ෂිකව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මොහොතේ, දළදා මාලිගාවේ හා සෙසු විහාර දේවාලයන්හි නව වර්ෂය සඳහා සුබ ප්‍රාර්ථනා කරමින් අලුතින් ලිප් බැඳ කිරි උතුරවනු ලැබේ. දළදා මාලිගාවේ හේවිසි මණ්ඩපයේ ප්‍රධාන දොරටුව අබියස ද, පල්ලේමාලේ පියගැටපෙළ අබියස ද තාවකාලික ළිප් දෙකක් බැඳ කිරි ඉතිරවීම සිදුකරයි. එහිදී හේවිසි වාදනය ද සිදු කෙරේ. මල්වතු අස්ගිරි මාහිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අබියස කිරි උතුරවා, නියමිත වේලාවට කණ්ඨස්නානය සිදු කරයි.

නානුමුර මංගල්‍යය සිදුකරන බදාදා දිනය හැර වෙනත් දිනයක අවුරුදු උදා වුවහොත්, එදින කණ්ඨස්නානය නමින් හැඳින්වෙන මේ විශේෂ චාරිත්‍රය සිදු කෙරේ. එමෙන්ම නානු හා හිස තෙල් ගැල්වීමෙන් අනතුරුව ස්නානය කිරීමෙන් පසු දළදා මාලිගාව සම්බන්ධ අලුත් අවුරුදු මංගලෝත්සවය නිමාවට පත් වේ.