Print this Article


පෞරාණික සිරිතට අනුව මෙවරත් හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය පවත්වනවා

පෞරාණික සිරිතට අනුව මෙවරත් හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය පවත්වනවා 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

ලෝකවාසී බෞද්ධ ජනතාව මුදුන් මල්කඩ ලෙසින් සලකා වැඳුම් පිදුම් කරනු ලබන ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හිමි වන්නේ මල්වතු, අස්ගිරි උභය මහා විහාරීය මහානායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ට ය.වසර දහයකට වරක් උන්වහන්සේගේ ගිහි භාරකාරත්වය දැරීම සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමට ඡන්දයක් පවත්වයි.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමත්, පැරැණි උඩරට රාජධානියට අයත් බල ප්‍රදේශයේ පිහිටි රජමහා විහාරස්ථානයන්හි විහාරාධිපති හා භාරකාර හිමිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ දී ඡන්දය පාවිච්චි කරති. එම ඡන්ද හිමි අති බහුතරයකගේ කැමැත්ත දිනා ගනිමින් වසර 2005 සිට දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය හොබවන ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර සංවිධානය කරනු ලබන්නේ දළදා මාලිගාවේ 15 වන ඇසළ පෙරහර යි.දළදා වහන්සේ උදෙසා සිදු කරන්නාවූ පූජෝත්සවයක් වන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් සාර්ථකව පවත්වා අවසන් කිරීම දියවඩන නිලමේතුමන්ගේ එක් ප්‍රධාන වගකීම කි.මෙවර ඇසළ පෙරහර සංවිධානය සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මහනුවර ඇසළ පෙරහර ජාත්‍යන්තරව පවා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසිනුයි.මහනුවර ඇසළ පෙරහර මෙතරම් සුවිශේෂි වන්නේ ඇයි?

පිළිතුර - දළදා වහන්සේ කෝට්ටේ රාජධානියෙන් දෙල්ගමුවටත්, පසුව සෙංකඩගල රාජධානියටත් වැඩම කළා.දළදා වහන්සේ මහනුවරට වැඩම කිරීමට පෙර දේවාළ පෙරහර පවත්වා තිබෙන බව ඉතිහාසයේ දැක්වෙනවා.වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියෝ සියම් දේශයෙන් උපසම්පදාව මෙරට ට ගෙන ඒමෙන් පසු මහනුවර ඇසළ පෙරහර, දේවාළ පෙරහර හා එක්ව තිබෙනවා.දළදා වහන්සේ උදෙසා පෙරහර ඇතුළු පූජෝපහාර පැවැත්වීම උන්වහන්සේ මෙරට ට වැඩම කළදා පටන් ම සිදු කෙරෙනවා.එසේ බලනවිට පෙරහරට අවුරුදු 1709 ක පමණ ඉතිහාසයක් තිබෙනවා. දළදා වහන්සේ හා සිව් මහ දෙවිවරුන් වෙනුවෙන් කරන්නා වූ පූජෝපහාරයක්. දළදා වහන්සේ තමයි බෞද්ධයින්ට ලෝකයේ ඇති වටිනාම පූජනීය වස්තුව.ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ තමයි දළදා වහන්සේ. මෙරට රාජ්‍යත්වයේ සංකේතය ලෙස සැලකුවේ දළදා වහන්සේ යි.මේ නිසා රජවරු උන්වහන්සේ උදෙසා කරන්නා වූ පූජෝත්සව විශිෂ්ටතම අයුරින් සිදු කරන්න පියවර ගත්තා.

වාර්ෂිකව ශ්‍රී දළදා මාලිගාවේ පවත්වන සතර මහා මංගල්‍යයන් ගෙන් එකක් නේද ඇසළ පෙරහර මංගල්‍යය.

පිළිතුර - දළදා වහන්සේ වෙනුවෙන් සෑම වසරක ම මංගල්‍යයන් හතරක් පවත්වනවා.අලුත් සහල් මංගල්‍යය,අලුත් අවුරුදු මංගල්‍යය,ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය ලෙස ඒවා හඳුන්වනවා.මේ මංගල්‍යයන් අතරින් ජනතාවගේ වැඩිම අවධානය යොමු වන්නේ ඇසළ පෙරහර මංගල්‍යය ට යි.

යුද්ධය නිමාවී වසර 10 කට පසු කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයෙන් අන්තවාදී කණ්ඩායමක් පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල කළා.එම සිදුවීමත් සමඟ රටේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්න ඇති වුණා. මෙම පසුබිම තුළ මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සිදුවන්නේ කෙසේද?

පිළිතුර - පෙර වසරවල මෙන් ම මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පෙරහර මංගල්‍යය පවත්වනවා.පෙරහර හා සම්බන්ධ වන්නේ උඩරට පාරම්පරික කලාකරුවන් .මෙවරත් බාල,තරුණ ජවසම්පන්න හා වයෝවෘද්ධ ලෙස වර්ග කර නර්ථන කණ්ඩායම් ඉදිරිපත් කර තිබෙනවා.අලි ඇතුන් 70 ක් පමණ සම්බන්ධ කරනවා. මෙවර කප් සිටුවීමේ මංගල්‍යයට අති විශාල ජනතාවක් සහභාගි වුණා.පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් මෙවරත් පවත්වනවා.

ප්‍රශ්නය - ආරක්ෂාව සම්බන්ධව පෙර වසරවලට වඩා මෙවර වැඩි අවධානයක් යොමු කරන්න සිදුව තිබෙනවා නේද?

පිළිතුර - ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඍජුව මැදිහත්ව පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සම්බන්ධව සොයා බැලුවා.අගමැතිවරයා දළදා මාලිගාවට පැමිණ මේ සම්බන්ධව සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස ආරක්ෂක බලධාරීන්ට උපදෙස් දුන්නා.ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා ද දළදා මාලිගාවට පැමිණ පෞද්ගලික ව ම මේ ගැන සොයා බැලුවා.ත්‍රිවිධ හමුදාවල පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය පැය 24 පුරාම ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක යි. පෙරහර මංගල්‍යය ආරම්භ වෙන්නට මාස දෙකක් තිබියදී ම මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා.මේ නිසා ආරක්ෂාව සම්බන්ධව දැන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නැහැ.මහජනතාවටත් ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරෙනවා.පරීක්ෂා කිරීම්වලට සහය දීම වගේම සැකකටයුතු පුද්ගලයින් හා ස්ථාන සම්බන්ධව විමසිල්ලෙන් සිට ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දීම ඉතා වැදගත්.

පාස්කු ප්‍රහාරයේ බලපෑම නිසා දළදා පෙරහර නැරඹීමට එන ජන සංඛ්‍යාව මෙවර අඩු වීමට පුළුවන් නේද?

පිළිතුර - මේ සිද්ධියෙන් ජනතාව තරමක් භීතියට හා නොසන්සුන්තාවකට පත් වුණා.දැන් තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතිනවා.මහනුවර පෙරහරට කලින් අලුත්නුවර හා රුහුණු කතරගම පෙරහර මංගල්‍යයන් කළා.මම හිතන්නේ වෙනදා වගේම ජනතාව පෙරහර නරඹන්න පැමිණේවි.

පෙරහරට අවශ්‍ය අලි ඇතුන්ගේ හිඟය තාමත් තිබෙනවාද?

පිළිතුර - ඔව් ගමේ ප්‍රශ්නය තාමත් ඒ විදිහටම තිබෙනවා.දැන් මුළු රටේ ම ඉන්නේ හීලෑ අලි 110 ක් වගේ සංඛ්‍යාවක්.දළදා මාලිගාවේ ඇත් පන්තියේ අලි 12 ක් ඉන්නවා.ඒ ටික ගියාම පිට ඉන්නේ අලි ඇතුන් අනුවක්, අනුපහක් විතර ලංකාවේ අලි හාම්පුත්තු ඉන්නේ 80 යි .මේ අය ඕන වෙන්නේ පෙරහර කරන නිලමේවරුන්ට යි, විහාරස්ථාන වල භික්ෂූන්වහන්සේලාට යි.අනිත් අය මේ අලි හාම්පුත්තු දිහා බලන්නේ වපර ඇහින්. මේ අය අලි ඇතුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා.පෙරහර සංස්කෘතිය ආරක්ෂා කරන්න උරදෙන මෙම පිරිස ගැන මෙයට වඩා අවධානයක් වගකිව යුතු අංශ දැරිය යුතුයි.

කරඬුව වැඩම කරවීම සඳහා සුදුසු දේහ ලක්ෂණ ඇති ඇතුන්ගේ අඩුවක් තිබෙනවා නේද?

පිළිතුර - කරඬුව වැඩම කරන්න දළදා මාලිගාවේ ඉන්දි රාජා ඇතා ඉන්නවා.දැනට ඒකට ඉන්න සුදුසුම ඇතා ඉන්දි රාජා. මෙවර අසනීප තත්ත්වයක් නිසා නැඳුන් ගමුවේ රාජා පෙරහරට සම්බන්ධ වෙන්නේ නැහැ.මේ නිසා ඉන්දි රාජාට ලොකු වගකීමක් වෙනදා වගේ ම පැවරෙනවා.මෙයට අමතරව කතරගම වාසනා ඇතත් කරඬුව වැඩම කරනවා.දළදා පෙරහරේ වැඩිම වාර ගාණක් කරඬුව වැඩම කරන්නේ ඉන්දි රාජා .2009 අවුරුද්දේ පෙරහර 10 ම එක දිගට ඉන්දි රාජා කරඬුව වැඩම කළා. මාලිගාවේ ඇත් පන්තියේ තවත් ඇතුන් කිහිප දෙනෙක් මේ කටයුත්තට ඉන්නවා.මේ ඇත්තු වයසට යනකොට ඒ අඩුව පුරවන්න හොඳ දළ ඇත්තු නැති වුණොත් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

මහනුවර ඇසළ පෙරහරට රජයේ දායකත්වය ලැබෙන්නේ කොහොමද?

පිළිතුර - රාජ්‍යය උත්සවයක් ලෙස මහනුවර ඇසළ පෙරහර ගැසට් කරලා තිබෙන්නේ .මේ වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරනවා.මෙවර විශේෂ ආරක්ෂාවක් සැපයීමට සිදුව තිබෙන නිසා පොලීසියේ 7000 ක් පමණ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා.මෙයට අමතරව ත්‍රිවිධ හමුදාවේ දෙදහසක් පමණ යොදා තිබෙනවා.ප්‍රවාහනය,ජල විදුලිය,දුරකතන ආදී සියලු ක්ෂේත්‍ර වලට අදාළ පහසුකම් රජය විසින් ඒ ඒ ආයතන හරහා ලබා දෙනවා. දළදා මාලිගාව පෙරහරට ලක්ෂ 600 ක විතර මුදලක් වැය කරනවා.

පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට ඔබ ලබා දෙන පණිවිඩය කුමක්ද?

පිළිතුර - මේක ආගමික උත්සවයක් මිස සැණකෙළියක් නොවෙයි.ඊට ගැලපෙන ලෙස ඇඳුම් ඇඳගෙන එන්න කියලා ඉල්ලීමක් කරනවා.ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන හැකිතරම් බඩු භාණ්ඩ ගෙන ඒමෙන් වැළකීමත් වැදගත්.තමන් රැගෙන එන දේවල් නගරයේ දමා යන්න එපා.පරිසරය ආරක්ෂා කිරීම අපි හැමෝගෙම වගකීමක් හා යුතුකමක්.දළදා මාළිගා පෙරහර සධාතුක කරඬුව වැඩම කරද්දීත් දේවාළ පෙරහරවල දී දේවාභරණ වැඩම කරද්දීත් නැගි සිට ඊට ගෞරව කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.