Print this Article


අසිරිමත් වූ දළදා ප්‍රාතිහාර්ය

අසිරිමත් වූ දළදා ප්‍රාතිහාර්ය

මෙහි ඉතිරි කොටස නිකිණි අව අටවක ( අගෝස්තු 23) පත්‍රයේ පළවේ

ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්ත්වයා වෙත පතළ මහා කරුණාවෙන් තමන් වහන්සේගේ ම සර්වඥතා ඤාණයෙන් අවබෝධ කොට ගත්තාවූ ශී‍්‍ර සද්ධර්මය පන්සාළිස් වසරක් පුරාවට දෙව් මිනිසුන් සහිත ලෝක සත්ත්වයා වෙත දේශනා කොට වදාළ සේක.

දඹදිව කුසිනාරානුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනේදී පිරිනිවන්පානා මොහොත දක්වාම සියලු ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලීමේ මාර්ගය පෙන්වා දුන්හ.

ක්‍රි.පූ. 543 දී සිදුවූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ අතර සක්විති රජෙකු ආදාහනය කළ යුතු ආකාරයට තථාගත ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්විය යුතු බව ආනන්ද හිමියන් වෙත බුදුරජාණන් වහන්සේ වදාළ බව ද දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ.

ඒ අනුව සක්විති රජෙකුගේ සිරුර අලුත් වස්ත්‍රයකින් වෙළා අනතුරුව කපු පුළුනින් වෙළා නැවත අලුත් වස්ත්‍රයකින් වෙළිය යුතුය. මෙවැනි ආකාරයට යුගල පන්සියයකින් වෙළන ලද සිරුර රන්මුවා දෙනක තැන්පත් කර රන්මුවා පියනකින් වසා සෑම වර්ගයකම සුවඳ දරවලින් සෑදු චිතකයක දැවිය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළ බවත්, ඒ ආකාරයටම තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ සිරුර ආදාහනය කළ යුතු බවත් එම සූත්‍රයේ සඳහන් වේ.

තවද, සම්බුදු සිරුර ආදාහනයට පෙර දින හතක් පුරා මල්ලව රජදරුවන් විසින් සම්බුදු සිරුර සුවඳ පැනින්, සුවඳ මලින් පුදමින් නැටුම්, ගැයුම්, වැයුම් පවත්වා ගරු සත්කාර බුහුමන් දැක්වු බව දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තවදුරටත් සඳහන් වේ.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආදාහන පූජෝත්සවය සිදුවු අතර පසුව ශේෂ වූ සර්වඥ ධාතුන් ඒකරාශි කොට බෞද්ධ රාජ්‍යයන් හෝ නායකයන් අතර බෙදාදීම ද්‍රෝණ බමුණාගේ දායකත්වයෙන් සිදු කෙරිණි. ධාතුන් වහන්සේගේ ප්‍රවෘත්ති අටුවාවෙහි දැක්වෙන පරිදි මෙසේය.

දළදා සතරය, අකුදා දෙකය. ලලාට ධාතුවය යන මේ ධාතූහු නොවිසිරී සිටියහ. ඉතිරි ධාතූහු විසිරී සිටියහ. ඒ ධාතූන් වහන්සේලාගෙන් ඉතා කුඩා ධාතූහු අබ ඇට පමණ වූහ. මධ්‍යම ධාතූහූ මැදින් කැඩුණු සහල් ඇට පමණ වූහ. මහා ධාතූහූ මුංපියලි පමණ වුහ. ශේෂ වූ ධාතූන් වහන්සේලාගේ තොරතුරු පිළිබඳ එසේ සඳහන් වේ.

දඹදිව රජදරුවෝ සේනා සහිතව පැමිණ යුද්ධ කොට හෝ ගනිමි’යි ධාතුන් වහන්සේ ට සිය අයිතිය ප්‍රකාශ කරන විට සිදුවන්නට යන අර්බුදය වළක්වා ද්‍රෝණ බමුණා විසින් සියලු දෙනා සමඟි කරවා ධාතුන් වහන්සේලා අට කොටසකට බෙදා දුන්හ. ශේෂ වූ සතර දළදා වහන්සේ අතරින් එක් දළදාවක් ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ගෙන ගොස් තව්තිසාවේ ද, තවෙකක් නා රජු ගෙන ගොස් නා ලොව ද තවෙකක් ගන්ධාර දේශයෙහි ද නිධන් කොට මහා සෑ බඳවා වන්දනාමාන කළහ. ස්වකීය ඍද්ධි බලයෙන් වාම දන්තධාතුන් වහන්සේ ලබාගාත් ඛේම නම් රහතන් වහන්සේ කලිඟුරට බ්‍රහ්ම දත්ත නම් රජටු එම දළදා වහන්සේ බාර කළහ. රජු විසින් මිණි මුතුයෙන් සැරසූ රුවන්මය අසුනක දළදා වහන්සේ වඩා හිදුවා පුද සත්කාර කළහ. එය දඹදිව ඉදි වූ ප්‍රථම දළදා මැදුරයි. කාලයාගේ ඇවෑමෙන් මිථ්‍යාදෘෂ්ටිකයෝ ගුහසීව රජටු විරුද්ධව කේළාම් කියමින් පඬිරජු හා බේද භින්න කළේය. මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ අදහස් ඇසු පඬි රජු මුළාවට පත්වී දන්තධාතුන් වහන්සේ විනාශ කළ යුතු බව සිතා මහා ගිනි ජාලාවක් සහිත වළකට දන්ත ධාතුන් වහන්සේ හෙළන ලදී. තවද එය ගින්නෙන් විනාශ කළ නොහැකිය. මෙවර කිණිහිරක් මත තබා තළා කුඩුපට්ටම් කරන්නට සූදානම් විය. එයද වැරදී ගියේය. අනතුරුව මහා වළක් කැපූහ. එහි බහා පස් පුරවා අලි ඇතුන් ලවා පාගා දැමීමට කතිකා කර ගත්හ. එය වැරදිණි. සෑම කුමන්ත්‍රණයකින්ම මහා ප්‍රාතිහාර්යකින් වරදින නිසා රජුටද වෙහෙස දැනුණි. නිගණ්ඨයෝද පසු නොබසිති. අවසර මහරජතුමනි, මළ මුත්‍රයෙන් පිරුණු දිය අගලක හොවන්නේ නම් මෙහි බල බිඳී යනු ඇත. එවැනි ආකාරයෙන් ශාස්තෘන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වධ බන්ධනයට ලක් කළද අභීතව විරාජමාන ලෙස ප්‍රාතිහාර්ය පෑ සේක.

ගිනි වළෙන් මතුවූ රිය සකක් බඳු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමානව සුදුබුදු රැස් විහිදවූ සේක. ඒ අසිරිමත් මොහොතෙහි පැලලුප්නුවර වැසියෝ සාධු නාදයෙන් දළදා වහන්සේ පිදූහ. දළදා වහන්සේ විනාශ කරන්නට සෑදු සෑම අවස්ථාවක දී ම උන්වහන්සේ අසිරිමත් පෙළහර පෑහ. අවසානයේ දළදා වහන්සේ පිළිබඳව පැහැදුණු පඬිරජුද බුදුසරණ ගියේය. රජුට වරද වැටහිණි. කළ පාපයට බිය විය. සමාව අයැද තම හිස මත වැඩ හිඳිනා ලෙසට දළදා වහන්සේට ආයාචනා කළේය. සුදු බුදුරැස් විහිදුවා පෙළහර පාමින් දළදා වහන්සේ රජුගේ හිස මත වැඩ හිඳි සේක. ඉන්පසු පෙළහර පවත්වමින් මාලිගය වෙත වැඩම කොට විශේෂ රන් කරඬුවක තැන්පත් කර දළදා මාලිගාවක් තනා පුද පූජා පවත්වන්නට කටයුතු කරන ලදී.