Print this Article


තෙවළා බුදු වදන් අතරින් 40 : සුභාෂිත ප්‍රකාශය

තෙවළා බුදු වදන් අතරින් 40 :

සුභාෂිත ප්‍රකාශය

අදහස් ප්‍රකාශනයේ දී වචනය අතිශය ප්‍රබල මාධ්‍යය කි. නූතන සන්නිවේදන උපකරණ හේතුවෙන් එහි ප්‍රබලත්වය තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. සුභාෂිත සූත්‍රය දේශනා කරන අවස්ථාවෙහි එය අසා සිටි වංගීස හිමියන් බුදුරදුන්ගේ දේශනය ඇගයුමට ලක්කළ අයුරු සූත්‍රය අවසානයේ දැක්වේ.

සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ එක් දිනක් භික්ෂූන් වහන්සේ අමතා සුභාෂිත වචනය යනු කවරේදැයි පැහැදිලි කරමින් සංයුත්ත නිකායේ වංගීස සංයුත්තයේ එන සුභාසිත සූත්‍රය දේශනා කළහ.

එහි දැක්වෙන පරිදි යම් කිසි කෙනෙකු කළ ප්‍රකාශයක් වේ ද, එම ප්‍රකාශනය මැනවින් කරන ලද්දක් වේ ද, (සුභාසිතං යෙව භාසති) ධර්මානුකූලව කළ ප්‍රකාශනයක් වේ ද, (ධම්මංයෙව භාසති) ප්‍රිය ජනක ප්‍රකාශයක් වේද (පියං යෙව භාසති) සත්‍ය ප්‍රකාශනයක් වේද (සච්චංයෙව භාසති) එබඳු ලක්ෂණ සහිත ප්‍රකාශනය යහපත් ප්‍රකාශනයකි. (සුභාසිතා හොති). නිරවද්‍ය ප්‍රකාශනයකි. (අනවජ්ජා හොති). නුවණැත්තන්ගේ ගැරහුමට ලක් නොවන ප්‍රකාශනය කි. (අනනුවජ්ජාච විඤ්ඤූනංති).

මෙම විවරණය අනුව කවරෙකු වුව කරන ප්‍රකාශය යහපත් එකක් ලෙස සැලකෙන්නේ එම ප්‍රකාශනය මනාව කියන ලද්දක් වීම, ධර්මානුකූලව කියන ලද්දක් වීම, සිත්ගන්නා සුළු එකක් වීම සහ සත්‍යවාදි ප්‍රකාශනයක් වීම යන කරුණු හතරට අනුව ය. විවිධ ගිහි පැවිදි පුද්ගලයන් විසින් කරනු ලබන බොහෝ ප්‍රකාශන යථෝක්ත ලක්ෂණවලින් බැහැරව තිබෙන හෙයින්, එම ප්‍රකාශන සමාජයේ අර්බුද ඇතිකරන, සමාජය අවුල් සහගත තත්වයට පත්කරන, අර්ථශූන්‍ය ප්‍රකාශන බවට පත්ව තිබේ. වර්තමානයේ වාචික සන්නිවේදනය සම්බන්ධයෙන් සැම අයෙක් ම විශේෂ අවධානයකින් යුක්තව කටයුතු කිරීම අවශ්‍ය වේ. විවිධ පුද්ගලයන් විසින් විවිධ අවස්ථාවලදී කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ සමාජය තුළ අර්බුදකාරී තත්වයක් නිර්මාණය වීමට තුඩු දී ඇත්තේ ඒ පිළිබඳ මනා වැටහීමක් නොමැති හෙයිනි. සන්නිවේදනය පිළිබඳ නව තාක්ෂණය විසින් ඉතා කඩිනමින් විවිධ ප්‍රකාශන ලොව පුරා ව්‍යාප්ත කරන අතර ඒවා සම්බන්ධයෙන් ඉතා කඩිනම් ප්‍රතිචාර දැක්වීම ද සිදු වේ. සැම තැනක ම සැම කෙනෙක් වෙත ම දුරකථන ආදි සන්නිවේදන උපකරණ තිබෙන හෙයින්, විවිධ අවස්ථාවල කෙරෙන ප්‍රකාශන සැනෙකින් පටිගත කර ගැනීමටත්, ඒ සියල්ල අන්තර්ජාලය මගින් ව්‍යාප්ත කිරීම ට ත් අවස්ථාව සැලසී තිබේ. මෙවැනි තත්වයන් මඟහැර යාමට කිසිවෙකුට ත් හැකියාව නොමැත. කළ යුතු හා කළ හැකි දෙය වන්නේ වාග් සංවරය ඇතිකර ගැනීම පමණි. එවැනි ශික්ෂණයක් ඇති කර ගැනීමට යට දක්වන ලද සුභාසිත සූත්‍රය බෙහෙවින් වැදගත් වේ. වචන භාවිතයෙන් අදහස් හා සංකල්ප සන්නිවේදනය කෙරේ. එබැවින් අදහස් හා සංකල්ප සන්නිවේදනය කිරීමේ දී එමගින් කිසිවෙකුටත් හිත් රීදීමක්, තැති ගැනීමක්, බියක් සංකාවක් ඇති නොවිය යුතු වේ. ලොව කවර මානව භාෂාවක් වුව, අදහස් නිරවුල් ව ප්‍රකාශනයෙහිලා අවශ්‍ය විධි නියමයන්ගෙන් පෝෂණය වී තිබේ. භාෂාව හා සම්බන්ධ වියරණ ආදි විධි නියමයන් මගින් මෙන්ම විවිධ අවස්ථා වලදී විවිධ පුද්ගලයන් අරභයා වදන් භාවිත කිරීම කෙසේ විය යුතුද? යන සදාචාරාත්මක ඉගැන්වීම් හා පැනවීම් මගින්ද, සන්නිවේදනය හා සම්බන්ධ අන්තර් පුද්ගල ගැටුම් වළක්වා තිබේ. යම් යම් දෑ සම්බන්ධයෙන් කොතෙකුත් අදහස් තිබුණත්, ඒ සියල්ල තම සිතැඟි පරිද්දෙන් ම ප්‍රකාශයට පත්කිරීමේ නිදහසක් ලොව කිසිවෙකුටත් හිමි නොවේ. කවර අදහසක් වුව ප්‍රකාශ කළ යුත්තේ, නීතිය, සදාචාරය සමාජ ඇගයුම් හා පුරුෂාර්ථ මගින් හඳුන්වා දෙන ලද සීමාවේ පිහිටා ය. මෙය සැම කෙනෙකු ට ම පොදු වේ. ගිහි වුවද, පැවිදි වුවද එහිලා විශේෂත්වයක් නොමැති මුත් අධ්‍යාත්මික විමුක්තිය පිණිස කටයුතු කරන පරමාදර්ශී භික්ෂුවගේ අදහස් ප්‍රකාශනය මෙන්ම වදන් භාවිතය සාකල්‍යයෙන් ම සංවර විය යුතුය යන්න බුද්ධ දේශනාවෙන් ම තහවුරු කොට තිබේ. එම පිළිවෙත අනුගමනය නොකරන ගිහි පැවිදි දෙපක්ෂය ම කඩිනමින් අන්‍යයන්ගේ ගැරහුමට ලක් වේ.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම වර්තමානයේ බහුලව භාවිත කෙරෙන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ද පැනනැගී තිබෙන අර්බුද විසඳා ගැනීමේ දී සුභාසිත සුත්‍රය බෙහෙවින් වැදගත් වේ. ඇතැම් මාධ්‍ය ආයතනවල අයිතිකරුවන් මෙන්ම එහි සේවයේ නියුක්ත පුද්ගලයන් ද ඉහතින් දැක්වූ සදාචාරාත්මක කරුණු නොසලකා තම සිතැඟි පරිද්දෙන් කරුණු ඉදිරිපත් කරන්නට යාම නිසා අන්තර් පුද්ගල ගැටුම් නිර්මාණය වී තිබේ. ඉහතින් දැක්වූ සිව් වැදෑරුම් කරුණු මගින් කිසියම් ප්‍රකාශනය ක ගුණාත්මක බවත්, ඒ සම්බන්ධයෙන් පාඨක හා ශ්‍රාවක ප්‍රතිචාරය කෙරෙහිත් සැලකිලිමත් විය යුතු බව අවධාරණයකර තිබේ. කවර ප්‍රකාශනයක් වුවද, එය මනා සංයමයකින් ඉදිරිපත් කළ යුතු අතර එය සැබැවින් ම සත්‍ය මෙන්ම නිවැරැදි තොරතුරුවලින් සමන්විත විය යුතු වේ. හුදෙක් තොරතුරු පමණක් වාර්තා කිරීම මාධ්‍යයේ මෙන්ම මාධ්‍ය වේදියාගේ වගකීම නොවිය යුතු ය. තමන් ඉදිරිපත් කරන තොරතුරු කොතෙක් දුරට සත්‍යය ද, ධර්මානුකූල ද, ඒ සම්බන්ධයෙන් පාඨක, ශ්‍රාවක ප්‍රතිචාර කෙබඳු විය හැකි ද? යන උපකල්පනය මත පිහිටා කරුණු ගෙන හැර දැක්වීම කළ යුතු වේ. ඒ අනුව මාධ්‍ය මෙන්ම මාධ්‍ය වේදියාගේ සදාචාරය ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට බුදුරදුන් වදාළ සුභාසිත සූත්‍රය ආදර්ශකයක් වේ.

සමාජ සම්භාවනාවට පත්ව සිටින, එසේ ම සමාජ නායකත්වය දරණ පුද්ගලයන්ගේ ඇතැම් ආවේගශීලි ප්‍රකාශන විවිධ ජාතීන් අතර වෛරය හා කෝපය ඇති කිරීමට ඉවහල් ව තිබෙන අයුරු ඇතැම් සිදුවීම් මගින් සනාථ වේ. වගකීම් සහිත තනතුරු දරණ පුද්ගලයන් තම ප්‍රකාශන සම්බන්ධයෙන් මහත් සංයමයකින් යුතුව කටයුතු කිරීම අවශ්‍ය වේ. වගකීම් රහිත සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්‍රකාශනයකට දක්වන ප්‍රතිචාරයකට වඩා වෙනස් ම ආකාරයේ ප්‍රතිචාරයක් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දක්වනු ලැබේ. ධනය හෝ සමාජ බලය තිබූ පමණින් ම විචාර බුද්ධියෙන් තොරව යම් යම් දෑ ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ සමාජයේ ප්‍රගමනයට බාධා වීම පමණි. විවිධ ප්‍රකාශන මගින් අර්බුද නිර්මාණය කිරීම පහසු වුව ද, එම අර්බුද නිරාකරණය කිරීම කොහෙත් ම පහසු දෙයක් නොවේ. එබැවින් සමාජයේ ගාමක බලවේග නියෝජනය කරන ආගමික නායකයන් මෙන් ම වෙනත් සමාජ වගකීම් දරන්නන් ආත්ම දමනයකින් යුක්තව තම අදහස් සන්නිවේදනය කිරීම අවශ්‍ය වේ.

අදහස් ප්‍රකාශනයේ දී වචනය අතිශය ප්‍රබල මාධ්‍යය කි. නූතන සන්නිවේදන උපකරණ හේතුවෙන් එහි ප්‍රබලත්වය තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. සුභාෂිත සූත්‍රය දේශනා කරන අවස්ථාවෙහි එය අසා සිටි වංගීස හිමියන් බුදුරදුන්ගේ දේශනය ඇගයුමට ලක්කළ අයුරු සූත්‍රය අවසානයේ දැක්වේ. වංගීස හිමියන් එහිදී ප්‍රකාශ කරන්නේ යම් වචනයක් හේතුවෙන් තමාට තැවීමක් ඇතිවේද, එම වචනය නිසා අන්‍යයන් වෙහෙස ට පත් වේද, එම වචනය නොකිව යුතු බවයි. එසේම සත්‍ය වචනය අමෘතය හා සදිය (සච්චං වේ අමතා වාචා). සත්පුරුෂයා හැම විට ම තම ප්‍රකාශනයෙහි අන්තර්ගත සත්‍යය ද, අර්ථවත් බව ද, ධර්මානුකුල බව ද මැනවින් සැලකිල්ල ට ගෙන කරණු ඉදිරිපත් කරයි යනුවෙන් වංගීස හිමියෝ තවදුරටත් ප්‍රකාශ කළ හ. කිසියම් අනර්ථකාරී ප්‍රකාශනයක් කළ පසු ව පළමු ව මනසින් තැවෙන්නේ එම ප්‍රකාශය කළ පුද්ගලයා ය. මෙය සනාථනික ධර්මය යි. ඒ හෙයින් තමනුත් තවන, අන්‍යයන් ද වෙහෙසට පත්කරන ප්‍රකාශ කිරීමෙන් කවරෙක් වුව වැළකිය යුතු වේ. ලොව කථා කරන්නන් අතර බුදුරජාණන් වහන්සේ උත්තම පුද්ගලයෙකි (බුද්ධෝ පවදතං වරෝ). තමන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලොවට ඉදිරිපත් කළේ ප්‍රධාන වශයෙන්ම වාචික සන්නිවේදනය උපයෝගී කර ගැනීමෙනි. උන්වහන්සේ වදාළ උත්තම බුද්ධ වචනය සාකල්‍යයෙන් ම සුභාෂිතය කි. සත්‍යය ගුරුකොට පවතින්න කි. එය අසන්නාගේ සිත නිවී සැනසුමට පත් වේ. එබැවින් ගිහි පැවිදි දෙපක්ෂයට ම සන්නිවේදනය පිළිබඳ සදාචාරාත්මක ශික්ෂණයක් ඇතිකරගැනීමෙහිලා අවශ්‍ය උපදෙස් හා ආදර්ශ බුද්ධ දේශනා තුළ මැනවින් සංරක්ෂණය වී තිබේ.