Print this Article


වස් විසීමට අනු දැනීම

වස් විසීමට අනු දැනීම

ස්වාමීන් වහන්සේලා ගමින් ගම, තැනින් තැන ගමන් කරමින් ගම් දනවු බෙදාගෙන වැඩම කරවන සේක්, වැසි කාලයේ ද මේ සේවාව අපහසුතාවයෙන් වූව ද පවත්වාගෙන ගියහ.

මෙය දුටු මිනිස්සු , මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ගේ ශ්‍රමණවරු වර්ෂා කාලයෙහි මෙසේ තැනින් තැන ගමන් කරන්නාහු ද? වර්ෂාව නිසා දළු ලා පැළවීගෙන එන තෘණ පැලෑටි ද පෑගී විනාශ වෙයි. පණු ගැඩවිල් ආදී ශුද්‍ර ප්‍රාණීහු ද පෑගී මරණයට පත්වෙති. වර්ෂා ජලයෙන් තෙමී ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ද ලෙඩ වෙති. පරිබ්‍රාජක, නිගණ්ඨ, තීර්ථක, ආජීවක, ජටිල ආදී අන්‍ය ලබ්ධික ශ්‍රමණවරු මෙසේ හැසිරෙන්නේ නැත. මෙසේ හැසිරීම භික්ෂූන්ට නොහොබිනා ක්‍රියාවකැයි දෝෂාරෝපණය කළහ. මෙම ආරංචිය තථාගත බුදුරජාණන් වහන්සේට ද ගිහි – පැවිදි දෙපක්ෂයෙන් ම දැනගැනීමට ලැබීම නිසා භික්ෂූන් රැස්කරවා අනුශාසනා කොට ශාසනික පැවැත්මේ ස්ථිරභාවය ඇති කරවනු පිණිස පහත සඳහන් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත්කළ සේක.

“අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තුං ද්වේමෙ භික්ඛවේ වස්සූපනායිකා පුරිමිකා පච්ඡිමිකා ච. අපරජ්ජුගතාය ආසාළ්හියා පුරිමිකා උපගන්තබ්බා. මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා. ඉමා ඛො භික්ඛවේ ද්වේ වස්සූපනායිකා.”

යනුවෙන් විනය පිටකයට අයත් මහා වග්ගපාළි ග්‍රන්ථයෙහි දැක්වෙන පරිදි “ඇවැත්නි, මහණෙනි, ඔබ වහන්සේලා වස්සාන ඍතුවට අයත් සිව් මාසය තුළ එක් තැනෙක විසීමේ, එනම් ඒකට්ඨාන පටිපදාව සමාදන් විය යුතු ය. එය දෙයාකාර ය. ඇසළ පොහෝ දින වස් සමාදන් ව වප් පුර පොහෝ දින වස් පවාරණය කළ යුතු ය. එසේ බැරි වුවහොත් “පච්චිමිකා ච” නිකිණි පොහෝ දින පසුවස් සමාදන් ව ඉල් මස පොහෝ දින වස් පවාරණය කළ යුතු ය. මෙයින් අදහස් කරන්නේ ජූලි මස පුර පසළොස්වක් පොහෝ දින ඍතුව යෙදෙන පරිදි පොහෝ දින හෝ ඊට පසු දින විනය කර්ම කොට වස් සමාදන් විය යුතු බව ය. මෙදින වස් සමාදන් වීම පෙරවස් සමාදන් වීම යැයි භාවිත වේ. මෙදින වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වප් පුර පසළොස්වක් පොහෝ දින නම් වූ ඔක්තෝබර් මස පසළොස්වක් පොහෝ දින වස් පවාරණය කළ යුතු ය. මෙකී වස් සමාදන් වීම පෙරවස් විසීම නමින් හඳුන්වනු ලැබේ.

“පච්චිමිකා ච” යනුවෙන් දක්වන ලද පරිදි පසුවස් සමාදන් වීම යනු අගෝස්තු මස පොහෝ දින එනම්, නිකිණි පුර පසළොස්වක් පොහෝ දා වස් සමාදන්ව නොවැම්බර් පෙහෝ දින හෙවත් ඉල් මස පුර පසළොස්වක් පොහෝ දා වස් පවාරණය කිරීම ය. මෙයින් විනයානුකූලව නියමිත වස් විසීම ඇසළ පුර පසළොස්වක් පොහෝ දා වස් සමාදන්වීම බව සැලකිය යුතු ය. විනයානුකූලව කඨින සිවුරක් ලබාගත හැක්කේ මේ පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට ය. එනම් ඇසළ පොහෝ දින වස් සමාදන් ව, වප් (ඔක්තෝබර්) පුර පසළොස්වක් පොහෝ දා වස් පවාරණය කිරීම කරන භික්ෂූන් වහන්සේට ය. පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට එනම්, නිකිණි පුර පසළොස්වක් පොහෝ දින වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට කඨින සිවුරක් පිළිගැනීමට කැප නැත.