සිල්වත් නැණවත්
හදවත් වැදගත්
මණ්ඩාවල පුංචිමණ්ඩාවල මල්ලිකාරාමයේ
ධර්මාචාර්ය
කුඩාවේ ගුණරතන හිමි
" දහම් පාසලට යන දරුවා පොලීසියට, අධිකරණයට, හිරගෙදරට නො යන දරුවෙක් වෙයි. පන්සිල්
රකින නැණවත්, ධාර්මික දරුවෙක් වෙන විට මව්පිය ගුණ තේරුම් අරගෙන දෙවිවරුන්ට මෙන්
සලකයි. වඳියි. පුදයි. සහෝදරයන් තුළ සහෝදරකම රැකගෙන කටයුතු කරයි. හාමුදුරුවරුන්ට,
ගමට, පන්සලට ගරු කරයි. සලකයි.
"
නුවණැත්තන් තමාගේ සැප විහරණය සඳහා ද, අනුන්ගේ සැප විහරණය සඳහා ද අකුසල් නො කරයි.
පව් කිරීමෙන් ලබන කිසිම දෙයක් කැමැති නොවේ. තමන් පරිහරණය කරන සම්පත් වුවත්
අධර්මයෙන් කැමැති නොවේ.
එම තැනැත්තා ශ්‍රේෂ්ඨ සිල්වතෙකි. නැණවතෙකි. ධාර්මිකයෙකි. එමෙන්ම පංචසීලය තුළ තිබෙන
ශික්ෂාපද රැකීම, පිළිගැනීම, ජීවිතය දෙවෙනිකොට ආරක්ෂා කිරීම, තම තමන්ගේ වර්තමාන
අනාගත ජීවිත පැවැත්මේ විශේෂිත වූ ආරක්ෂිත බැම්මකි. අත්තිවාරමකි. එම වැරැදි පහ සිය
නුවණින් පිළිගැනීම තුළ කිසි කෙනෙකුට විනාශයක්, භීතියක්, ව්‍යසනයක් සිදු නොවේ.
මහජනතාව පංච දුශ්චරිතවලට යොමුවීමෙන් දින දින විනාශය, පරිහානිය හා අනන්ත දුක් කරදර
තම තමන් ළඟා කර ගනී. පරලොවදී උපදින ආත්ම කෝටි ගණනක් නරක, තිරිසන්, ප්‍රේත, අසුර
වැනි සතර අපාවල විවිධ කටුක භයානක දුක් විඳියි.
මුල්ම, සිකපදය වන ‘පාණාතිපාතා වේරමණී’ සත්ව ඝාතනයෙන්, සත්ව හිංසනයෙන් වැළකීමේ
සිල්පදය ආරක්ෂා නො කරන මට්ටමට සමාජය බහුලව වර්ධනය වෙමින් පවතී. වටිනා මිනිස් ජීවිත
විවිධ ක්‍රම තුළින් ඝාතනය කරයි. අත්පා සිඳිය.
සමහර දරුවෝ ද සිය මව්පියන්ට හිංසා පීඩා කරති. දම්වැල් දා බැඳ තබති. පාළු ස්ථානවල,
මහපාරේ තනි කරති. කිසි දෙයක් කරකියා ගන්නට බැරි අසරණ වයෝවෘද්ධ අම්මා, තාත්තා, මහලු
මඩමට බාරදෙති.
දවසක් මම වැඩිහිටි නිවාසයක ධර්ම දේශනාවකට වැඩිය, අවස්ථාවක එක් අම්මා කෙනෙකු සමඟ
පුංචි කතා බහකට යොමු විය. කොහොමද අම්මා හොඳින් ඉන්නවා ද? ඇසීමි. අනේ හාමුදුරුවනේ,
මට කොයි වෙලාවකවත් හරියට කන්න බැහැ. නිදාගන්න බැහැ. පපුව දනව. තනියම මුල්ලකට වී
ඉකිගසා අඬනවා. හැම වෙලාවෙම කඳුලු කඩා වැටෙනවා. දරුවො තමයි මතක් වෙන්නේ. කොහොමවත්
ඉන්න බැහැ. හිත වාවන්නේ නැහැ. ඇය මා සමඟ කීවා ය.
මේ එක අසරණ මාතාවකගේ වේදනාබර, දුක්බර, කදුළු කතාවයි. මෙවන් සෝචනීය කඳුළු කතා දහස්
ගණනකටත් වඩා වැඩි ය. මීට අමතරව මහ පාරේ ගස්යට, අම්බලම්වල දුක් විඳින මව්වරු, පියවරු
අති විශාල ය. අද මව්පියවරුන්ට මේ ඛේදවාචකය නම් අනාගතයේ මව්පිය පදවිය ලබන්න සිටින
ඔබට ද සිය දරුවන්ගෙන් මෙවන් ඛේදවාචකය ට මුහුණදීමට පෙර සිදුකළ යුතු දේ ධර්මානුකූලව
සිතන්න.
තවද සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පුරන භික්ෂූන් වහන්සේට ද බණින, අක්‍රෝස පරිබව කරන,
පහරදෙන මිනිසුන් ද සමාජයේ ඇත. ජාති භේද, ආගම් භේද, කුල භේද, පක්ෂ භේද, ධනපති භේද,
සිල්වත්, ධාර්මික සමාජයක නො තිබිය යුතු ය. එක මවකගේ දරුවන් මෙන් අත්වැල් බැඳගත යුතු
ය.
මේ පරිහානිය දෙස ප්‍රඥා ඇසින් විමසිලිමත්ව බලා ප්‍රථම ශික්ෂා පදය අවබෝධයෙන් රැකීම
මිනිස් සමාජයට සිදුකරන වටිනා සේවයකි. අභය දානයකි. උතුම් පින්කමකි. ‘අදත්තාදනය’
අනුන් සතු මිල මුදල්, වස්තු සම්පත් සොර සිතින් ගැනීම සොරකම වේ. ගෙදර සිටින මව්පිය
දෙපළ සීලවන්තව, ඤාණවන්තව, ධාර්මිකව, නිවැරැදිව අවංකව සොර චේතනාව පිටු දැකීම තුළ සිය
දුව ද, පුතා ද නිවැරැදි අවංක බවින් සමාජ ගත කළ හැකි ය. දරුවාගේ කුඩා කාලය විකසිත වූ
ලස්සන මල් පොකුරක් මෙන් අලංකාර ය. දීප්තිමත් ය. පාසලේ දී, දහම්පාසලේ දී, මගතොටේ දී
වැටී තිබෙන ඉදිකටුවක්වත් ගැනීමට ඉඩ තැබීමක් කරන්න එපා. අන්සතු දෙයක් ළමයා රැගෙන ආවේ
නම් එම මොහොතේ ම නැවත එම දේ නො කිරීමට අවවාද සහ දඬුවම් දීම කළ යුතු යි. මෙම සිල්පදය
නො රැකීම තුළ දේපළ වස්තු සම්පත් මිල මුදල් ආදී දේ සුරැකීමට මහත් වෙහෙසක් ගැනීමට
හේතු වී ඇත.
තමාගේ ජීවිතය මෙන් මෙම ශික්ෂා පදය අවංකව රැකීමෙන් සමාජයෙන් සොරකම් පිටු දැකිය හැකි
ය. මිනිස් සමාජයට ම බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි ය. සොරකමට තිත තැබිය හැකි ය.
තුන්වන ශික්ෂාපදය වන කාමේසු මිච්ඡාචාරා යන සිල්පදය උල්ලංගනය කිරීමෙන් පරදාර සේවනය
සමාජයේ බහුලව දක්නට ලැබේ. මේ තත්ත්වය නිසා විවිධ අසාධ්‍ය රෝග පීඩාවලට ගොදුරු වී
සමාජයේ අපකීර්තිය හා පිළිකුලටද භාජනය වේ. තනියම මහමග, නිවසේ රැඳීම අතවරයන්ට ලක්වෙන
බව විවිධ අවස්ථාවල කුකුසක් වී ඇත.
මිනිසාගේ මනස කෙතරම් විකෘති වී තිබෙනවාද සිතුවොත් මල් කැකුළු මෙන් දරුවන් විවිධ
හිංසනයට, අතවරයට බිලිගන්නා අවස්ථාවන් අපමණ ය. අතවරවලට ගැහැනු පිරිමි කියා වෙනසක් නො
මැති අතර වයස් භේදයක් ද නො මැත.
මෙවැනි පහත් ක්‍රියා දුරු කර ගැනීමට, නැතිකර ගැනීමට එම ක්‍රියා පිළිකුලෙන් දැක,
ප්‍රඥාව, දැහැමි බව මනසට ගෙන තෙවන ශික්ෂා පදය, හරියට රැකීම මුළු මහත් සමාජයට ම කරන
සත් ක්‍රියාවකි.
මීළඟ ශික්ෂා පදය ‘මුසාවාදා’ හෙවත් බොරු කීම වේ. බොරු කීම සමාජයේ සාමාන්‍ය දෙයක් ලෙස
සිදුකරයි. බොරු කියන තැනැත්තා ඉබේම කේළාම් කීමට ද වැටේ. කේළාම් කීමද, කේළාම් ඇසීම ද
අකුසල කර්ම වේ. මේ දෙදෙනාම ගම් වනසන්නෝ මෙන්ම පිරිහෙන අය වෙති. චුති චිත්තයෙන්
(අවසාන සිත) පසු අපායේ දොර ඇර ගනී. බොරුව, කේළම හැමවිටම පරාජය වේ. සත්‍ය හැමවිට ම
ජය ගනී.
මෙම සිල්පදය රැකීම, ආරක්ෂා කිරීම ඇරඹිය යුත්තේ සිත නමැති නිවසෙනි. කුඩා කාලයේ සිට ම
සමහර දරුවෝ විහිළුවට, සෙල්ලමට, බොරු කීමට පුරුදු වෙති. ක්‍රම ක්‍රමයෙන් තරුණ වියට
පත්වීමේ දී බොරුකීම වර්ධනය වී මුසාවෙන්ම කටයුතු කිරීමට පුරුදු වෙති.
බොරු කීමෙන් මෙලොව, පරලොව දෙලොවම පරිහානියට පත්වේ. මරණින් පසු උපත ලැබීමෙන් එක භවයක
කියූ බොරුවලට ආත්ම ලක්ෂ කෝටි ගණනක් අපායාදී ස්ථානවල අනේක විධ දුක් කරදර විඳීමට
සිදුවේ. මිනිස් බව ලැබූ විට නො කළ වරදට, වංචාවලට, මුලාවීම්වලට, මන්ද බුද්ධික
වීම්වලට හසුවේ. පත්වේ. ගොලුවීම්, අශෝබන විරූපී මුහුණු පිළිකුල් දත් පිහිටීම් අය
වශයෙන් උපදියි.
මේ ආදීනව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මුසාවාදයේ භයානක බව මෙනෙහි කර සෙල්ලමටවත්
විහිළුවටවත් බොරුකීම, බොරු ප්‍රකාශ දීම, කේළාම් කීම නොකළ යුතු ය.
පංචශීලයෙහි අවසාන සික පදය - සුරාමේරය මජ්ජපමාදට්ඨානා යනුයි.
මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය කිරීම මත්ද්‍රව්‍ය බීම තුළින් ඉහතින් සඳහන් කළ
ශික්ෂාපද හතරම ගිලිහෙනු ඇත. සුරාපානය නිසා මුළු ගෙදර විනාශයක් පරිහානියක් සිදුවේ.
ඉගෙනීම් කටයුතු කරන දූ දරුවන්ගේ අධ්‍යාපනයට විශාල බාධාවකි. දරුවෝ දෙමව්පියන්ට කෙ
තරම් අවවාද උපදෙස් දුන්නත් සමහර අය පිළිපදින බවක් නො පෙනේ. බීමත්කමේ අසුබ
ප්‍රතිඵලයක් ලෙස විවිධ රෝග පීඩාවලට ගොදුරුව, ජීවත්වීමේ ආයුෂ ද කෙටි වේ. හරි හම්බ
කරන ධනය මත් වතුරට මත් ද්‍රව්‍යවලට වැය කර දුප්පත් අසරණ පවුලක් වෙයි. බුදුදහමට අනුව
හරි හම්බ කරන ධනය පරිහරණය කළ යුතු ආකාරය මැනවින් පෙන්වාදී ඇත.
ඒකෙන භෝගේ භූඤ්ජෙය්‍ය
ද්විහි කම්මං පයෝජයේ
නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති
උදාහරණයක් ලෙස- මාසික ආදායම රුපියල් සියයක් නම් එය හතරට බෙදිය යුතු ය. පළමුවන කොටස
රුපියල් විසිපහක් ආහාර ඇතුලු පවුලේ කටයුතු වෙනුවෙනි.
කොටස් දෙකක් එනම් රුපියල් පනහක් ආදායම් මාර්ගයක් හැදෙන කර්මාන්තයකට, ව්‍යාපාරයකට
යොදන්න. හතරවන කොටස එනම් රුපියල් විසිපහක් කරදරයක්, හදිසියක්, වුවමනාවක් වූ විට දී
ගැනීමට බැංකුවක වැනි ආරක්ෂිත ස්ථානයක තැන්පත් කිරීම යෝග්‍ය වේ.
ඉහත සඳහන් කරන ලද ගාථාවට අනුව පවුලේ මාසික වැටුප කළමනාකරණය කර ගැනීම දිළිඳු බවෙන්
මිදීමට, ණය නො වීමට විශේෂයෙන් හේතු වේ.
සීලවන්ත භාවය ඇරඹීමට හොඳම තැන තම තමන්ගේ නිවසයි. නිවසේ සිටින සෑම දෙනාම ආගමානුකූලව
කටයුතු කරන විට සිල්වත් බවින් පිරිපුන් ධාර්මික පිරිසක් වෙයි. එම නිවසට බුදුසරණ
ලැබෙන අතර ශි‍්‍රයාකාන්තාවගේ ආශිර්වාදය මෙන්ම සියලු දෙවියන්ගේද පිහිට ලැබේ. සෑම
දිනකම සවස පිළිවෙලට බුදු පහන ළඟ ආගමික කටයුතු කිරීමත්, සුළු වෙලාවක් භාවනාවක
යෙදීමත් සිදුකළ යුතු ය. විවේකයක් ලද විගස දූ දරුවන් සමඟ ගමේ පන්සලට යාම විශේෂ
පුරුද්දක් කරගත යුතු ය. වර්ෂයට වතාවක්වත් පවුලේ පිරිස වන්දනා චාරිකාවකට සම්බන්ධවීම
ද ඒකාකාරී බවෙන් මිදී කුසල් මෙන්ම සිතේ සැනසිල්ලක් ද ලැබිය හැකි ය.
රටක්, සමාජයක් බාර ගැනීමට සිටින දරු සම්පත දහමින් පෝෂණය කර ගැනීමට ඔබේ ග්‍රාමයේ
ඉරුදින දහම් පාසලට දූ දරුවන් යොමු කරන්න. ඉරුදින උපකාර (ටියුෂන්) පන්ති පවත්වන
මහත්වරුනි, මුදල පමණක් බලන්න එපා. අනාගත දරු පරපුර දෙස ප්‍රඥාවෙන් බලමු. හෙළබිමක්
එළිය කරන්නට හෙට දවසේ විකසිත වන්නට තිබෙන මල් කැකුලු මෙන් දරුවන්ට සාර ධර්ම ලෝකය
කරා රැගෙන යන්නට උපකාරක (ටියුෂන්) පන්ති බාධාවක් වෙන්න එපා.
දහම් පාසලට යන දරුවා පොලීසියට අධිකරණයට, හිරගෙදරට නො යන දරුවෙක් වෙයි. පන්සිල් රකින
නැණවත්, ධාර්මික දරුවෙක් වෙන විට මව්පිය ගුණ තේරුම් අරගෙන දෙවිවරුන්ට මෙන් සලකයි.
වඳියි. පුදයි. සහෝදරයන් තුළ සහෝදරකම රැකගෙන කටයුතු කරයි. හාමුදුරුවරුන්ට, ගමට,
පන්සලට ගරු කරයි. සලකයි.
මේ අයුරින් සැම දෙනාගේ ම ජීවිත අත්තිවාරම පංචසීලය බව නිතර මෙනෙහි කරන්න. කටයුතු
කරන්න. පන්සිල් රකින නිවසක් හැදෙන විට ගමේම ධාර්මික පිරිසක් වෙයි. පළාතේ මෙන්ම
හෙළබිමේද සීලවන්ත, නැණවන්ත, ධාර්මික පිරිසක් හදන්නට අපහසු නොවේ.
පින්බර ඔබසැමට, මව්බිමට, සදහම් ආලෝකය පහළ වේවායි ප්‍රාර්ථනා කරමු. |