ත්‍රිපිටක දහම-03:
දුටු පමණින්
තීරණය නො කරන්න
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
කොත්මලේ
කුමාර කස්සප හිමි
(මෙම ලිපියේ
දෙවන කොටස ඇසළ අමාවක (ජූලි 31) පත්‍රයේ පළ වූ අතර අද පළ වන්නේ එහි
තෙවන
කොටස යි.)
පිලෝතික බමුණා පැවසූ වචන ටිකෙන් කෙනෙක් සිතනවා නම්, බුදුරජාණන් වහන්සේ සංදස්සෙති
‘සං’ කියන එක බෙදා දේශනා කළා. ‘සං’ බෙදුවා ‘සං’ එකතු කළා ‘දස්සෙති’ යනුවෙන්. මෙලෙස
බෙදා කියනවා, ‘සං’ කියන එක ‘දස්සෙති’ දැක්වූවා යනුවෙන්.
බුදුරජාණන් වහන්සේ මෙය කොතැනකවත් මෙලෙස බෙදා දැක්වූවේ නැහැ. එවිට සං දස්සෙති
යනුවෙන් බෙදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. එය බුද්ධ වචනය නො වෙයි.
අනෙක් කාරණය වන්නේ ඥාන පද සතර දේශනා කරන්නේ පිලෝතික බ්‍රාහ්මණයා මිසක, බුදුරජාණන්
වහන්සේ නො වෙයි. බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රය ආශ්‍රය කරගෙන මහා විශාල ඉතාම වටිනා
ධර්මයක් දේශනා කරනවා. මොකද? මේ කතාව ඇති වුණේ මග තොටේ දී, පිලෝතික පරිබ්‍රාජක සහ
ජානුස්සෝණි බ්‍රාහ්මණ තුමා අතර යි. තාම මේ ප්‍රශ්නය බුදුන් වහන්සේ හමුවට ගියේ නැහැ.
බුදුරජාණන් වහන්සේ හමුවට මේ ප්‍රශ්නය යන්නේ තවත් ඉදිරියට. පසුව ජානුස්සෝණි
බ්‍රාහ්මණතුමා , බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ, පිලෝතික පරිබ්‍රාජක සමඟ ඇතිවුණ
සංවාදය පිළිබඳව සඳහන් කරනවා.
එහි දී බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කරනවා. ජානුස්සෝණි, එත්තාවතා හත්ථිපදොපමො
විත්ථාරෙන පරිපූරො හොති’ ‘ පිලෝතික කියපු ලෙසින් මේ හත්ථිපදෝපමය නිවැරැදිව කියවුණේ
නැහැ. ඒ හත්ථිපදෝපමය නැතිනම් ඇත් පියවර උපමා කරගත් එක මැනවින් කියනවා නම් මෙලෙසයි
කිව යුත්තේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ ජානුස්සෝණි බ්‍රාහ්මණතුමාට හත්ථිපදෝපම, ඇත්
පියවර උපමා කරගෙන ධර්මය දේශනා කරනවා. ඇත් පියවර උපමා කරගෙන දේශනා කළ ඒ ධර්මය ඉතාම
වැදගත්. ‘සෙයියතාපි බ්‍රාහ්මණො’ බ්‍රාහ්මණය යම් සේ ඇතුන් සොයන්නෙක් ‘නාග‘ වනයකට
පිවිසෙනවා. ‘නාග’ යනු පාලි භාෂාවෙන් ඇතාට යි. ඇතුන් සිටින වනයකට පිවිසෙන විට, ඇත්
වනයේ තියෙනවා දකිනවා, දිග පළල ඇති මහත් ඇත් පියවරක්. පිලෝතික පෙර සඳහන් කළේ, මෙය
දුටු ගමන් ම දක්ෂ ඇතුන් සොයන්නෙක් දැන ගන්නවා, මේ වනාන්තරයේ ලොකු ඇතෙක් සිටි බව.
නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එසේ නො වෙයි. ඇත් පියවර දුටු පමණින් ඔහු
ප්‍රසාදයට පත් වන්නේ නැහැ. නැතිනම් මහ ඇතෙක් ඉන්නවා කියලා තීරණය කරන්නේ නැහැ. මොකද?
වනාන්තරයේ සිටිනවා ‘වාමනිකා’ යනුවෙන් ඇත් පිරිසක්. ඒ වාමනිකා ඇත් පිරිස මිටි
ඇතින්නියෝ. ඒ අයගේත් පාද විශාල යි. හැබැයි, වාමනිකා කියන ඇතින්නියෝ මිටි නිසා
රජෙකුට සුදුසු ඇතෙක් වන්නේ නැහැ. ඒ නිසා එයා එපමණකින් පමණක් අවසානයේ යම් අදහසකට
පැමිණෙන්නේ නැහැ.
ඔහු තවත් ඇතුන් සොයාගෙන ඉදිරියට යනවා. එහිදී තවත් විශාල ඇත් පියවර දකිනවා. ගස් මත
උස් ස්ථානවල පිට උලා තිබෙනවා. එය දැකීමෙන් ද ඔහු යම් තීරණයකට එන්නේ නැහැ. මොකද?
වනාන්තරයේ සිටිනවා, ‘උච්චාකාලාරිකා’ නමින් උස ඇතින්නියෝ විශේෂයක්. හැබැයි, ඒ අයගේ
දළ හොඳින් වැඩී නැහැ. සමහරවිට මේ ඒ අයගේ ඇත් පියවරක් වෙන්නත් පුළුවන් යැ’යි දක්ෂ
ඇතුන් සොයන්නා කල්පනා කරනවා. ඒ අනුව ඔහු තව දුරටත් ඇත් පියවර සොයාගෙන යනවා. ඒ පියවර
මත යද්දී ඔහු දකිනවා, ගස් මත හත් අට රියනක් පමණ උඩින් පිට උලපු ස්ථාන. ඊටපසුව දළින්
උඩ ගස්වල පොතු ගැසූ තැන් ඔහු දකිනවා. එවිට දක්ෂ ඇතුන් සොයන්නෙක් කල්පනා කරන්නේ
නැහැ, මේ හොඳ ඇතෙක් යනුවෙන්. මොකද? ‘උච්ඡාකණේරුකා’ යනුවෙන් තවත් ඇතුන් පිරිසක්
කැළයේ සිටිනවා. ඒ ඇත්තු බොහොම උසයි. පාදවලින් උසැති මේ ඇතුන් රජෙකුට සුදුසු වන්නේ
නැහැ. ඒ නිසා ‘උච්ඡාකණේරුකා’ කියන ඇතුන්ගේ අඩි සලකුණක් වන්නට ඇතැ’යි කල්පනා කරමින්
තවත් ඉදිරියට ඇත් පියවර සොයා ගෙන යනවා. එහි දී ගස්වල උස් ප්‍රදේශවල පිට උලන ලද
ස්ථාන සහ දළින් උලන ලද ස්ථාන, ගස්වල අගින් අතු කැඩූ ස්ථාන, ආදිය ඔහු දකිනවා. එසේම
ඔහු තවත් දෙයක් දකිනවා, ඔබ මොබ සැරිසරන මහ ඇත් රජෙක් මෙහි සිටිනා බවත් දකිනවා.
එහිදී ඔහු යම් අදහසකට පැමිණෙනවා, අන්න, මා සොයා පැමිණි මහා ඇත් රාජයා සිටිනවා
යනුවෙන්.
-
ජම්මික ප්‍රබෝධනී වැලිකල |