Print this Article


මැල්ලගල ආරණ්‍යය

මැල්ලගල ආරණ්‍යය

ශ්‍රී ලාංකික බෞද්ධයාට දායාදයක් බඳු වූ, පුණ්‍ය භූමිවලින් එකක් ලෙස ගල්ලෙන් කිහිපයකින් සෑදුණු පුරාණ මැල්ලගල ආරණ්‍යය සේනාසන භූමිය හඳුන්වා දිය හැකිය.

මැල්ලගල ආරණ්‍යය සේනාසනය පිළිබඳව තොරතුරු හමුවන්නේ අහඹුවක් ලෙසිනි. මෙම ගල් ලෙන් පිළිබඳව පළමුවෙන් තොරතුරු අනාවරණය වන්නේ මලියදේව මහරහතන් වහන්සේ හා සම්බන්ධවයි. එකී සාක්ෂීය මෙම පුණ්‍ය භූමිය ඈත අතීතයේ සිට භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව සනාථ කරයි. මලියදේව මහරහතන් වහන්සේ ගෙන් පසුව මැල්ලගල ආරණ්‍යය සේනාසන ගල් ලෙන් කිහිපය භික්ෂූන් වහන්සේලා හෝ මිනිසුන්ගෙන් ශුන්‍ය භූමියක් වී ඇති අතර කාලය ඇවෑමෙන් ඝන කැළයක් සහ මිනිසුන්ට ළඟා වීමට නොහැකි, මාර්ග පහසුකම් නොමැති, උස් කඳු පෙදෙසක් වී තිබිණි. එවැනි දුෂ්කර ප්‍රදේශයක් වූ ගල්ලෙන් සමූහයක් තිබූ මෙම භූමිය, අපවත් වී වදාළ අස්මඩලේ ශ්‍රී රතනපාල නාහිමියන් හා අපවත්වී වදාළ කෙහෙල්පන්නල ශ්‍රී සුමන නාහිමියන් විසින් තම භික්ෂු ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා යෝග්‍ය පරිසරයක් සොයමින් යන මොහොතේ කෑගල්ල, දීවල, පල්ලේගම ආසනයේ පිහිටි ලෙන් සමූහයක් පිළිබඳව දැන ගන්නට ලැබී ඇත. සොයා බැලීමේ දී මෙම ගල්ලෙන් පිළිබඳව එම නාහිමියන් දෙපළට දැන ගැනීමට ලැබී ඇත. තවද පුරාණයේ ද භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් බව සාධකවලින් තහවුරු කර ගත් ශ්‍රී රතනපාල නාහිමියන් හා ශ්‍රී සුමන නාහිමියන් මෙම භූමිය තම ජීවිතයට පිටිවහලක් වන බව පසක් කර ගත්තේ ය. එදා පටන් එනම්, 1939 ජනවාරි මස 06 දින සිට අද දක්වා මෙම පුණ්‍ය භූමිය අඩු පහසුකම් හා අතිදුෂ්කර ගමනාගමන පහසුකම් යටතේ යටකී සංඝ පීතෘවරුන් දෙදෙනා විසින් නැවතත් දැල්වූ නූතන මැල්ලගල කල්‍යාණ යෝගාශ්‍රම මිණිපහන වර්තමාන ආරණ්‍යය සේනාසනාධිපති බලපිටියේ සද්ධාවංශ නා හිමියන්ගේ මඟ පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් ආලෝකයෙන් ආලෝකයට පත්වෙමින් පවතී.

මෙම ආරණ්‍යය සේනාසනයේ පිහිටි ‘මහා නාගලෙන’ නමැති ගල් ලෙනෙහි ශ්‍රී රතනපාල නා හිමියන් හා ශ්‍රී සුමන නා හිමියන් වාසය කිරීමට තෝරාගෙන තිබුණි. එකී ලෙන හා තවත් භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට හැකි ‘නිබ්බුත’ නමැති ගල්ලෙන ඇතුළු ස්වභාවික ගල්ලෙන් කිහිපයක් හඳුනාගත් අතර ඒ අවට පරිසරය උන්වහන්සේලා සහ ගිහි සැදැහැවත් කිහිප දෙනෙකුගේ ද උපකාරයෙන් පවිත්‍ර කර ගෙන තිබේ. පසුව යටකී කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ දෙනමගේ ආරාධනයෙන් අපවත්වී වදාළ මිනුවන්ගමුවේ නාගිත නාහිමියන් ද උන්වහන්සේලාට එකතු වී මෙම මැල්ලගල ආරණ්‍යය සේනානසය ආලෝකවත් කිරීමට උපකාරී වූ බව හෙළි දරව්වේ. පසුකාලීනව මෙම ආරණ්‍යය සේනාසන භූමියෙහි ‘මහා නාගලෙන’ සහ ‘නිබ්බුත ලෙන’ යන ස්වාභාවික ගල් ලෙන් දෙක පමණක් ශේෂ වී ඇති අතර එකී විනාශයට පත් වූ ගල් ලෙන් කුටි වෙනුවට භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලාගේ වාසය සඳහා බලපිටියේ සද්ධාවංශ නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ගිහි සැදැහැවත් දායක දායිකාවන් ගේ ධන පරිත්‍යාගයෙන් හා ශ්‍රම දායකත්වයෙන් මෙම රමණීය ආරණ්‍යය සේනාසන භූමියෙහි ‘මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා’ යන නමින් හඳුන්වනු ලබන කුටි ඇතුළු කුටි කිහිපයක්, නව බුදු මැදුරක් සමඟ ධර්ම ශාලාව, නව දෙමහල් භික්ෂු දාන ශාලාව සමඟ සංඝාවාස ගොඩනැගිල්ල, ගිහි පින්වතුන් සඳහා සියලු පහසුකම් සහිත දන්සල් ශාලාව, පැරැණි බෝධි මළුව නවීකරණය, භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලාගේ වැඩ සිටීම සඳහා නවීකරණය කරනු ලැබූ අතර, නව කුටි ගණනාවක් ද භික්ෂූන් වහන්සේලාගේ හා ගිහි දායක දායිකාවන්ගේ පහසුව සඳහා ඉදිකර ඇත.

භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට මෙන්ම සෑම පසළොස්වක පෝදාකම ගිහි උවසු උවැසියනට දානය සකසා පිළියෙළ කොට සියතින්ම පිළි ගැන්වීමේ භාග්‍යය සියලු ශ්‍රී ලාංකික හා විදෙස් බෞද්ධ ගිහි සැදැහැවතුන්ට හිමි ය. එමෙන්ම වාර්ෂික කඨින පින්කමක් සඳහා දායකත්වය ලබා ගැනීමේ භාග්‍යය ද හිමි ය.