Print this Article


කෙලෙස් නිකෙලෙස් දිවියක වෙනස

කෙලෙස් නිකෙලෙස් දිවියක වෙනස

සුත්තනිපාතයේ උරගවග්ගයට අයත් ධනිය සූත්‍රය බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ සූත්‍රයකි. විවිධ මාතෘකා ඔස්සේ මෙම සූත්‍රය පිළිබඳ සාකච්ඡා කර තිබීමෙන් ඒ බව පැහැදිලි ය. බෙහෝ දේශකයන් හෝ ලේඛකයන් එහි කාව්‍යාත්මක අගය ගැන සැලකිලිමත් වුව ද මෙහි දී බලාපොරොත්තු වන්නේ එම සූත්‍රය අර්ථ විග්‍රහ කිරීමට ය.

ධනිය සූත්‍රයට අයත් ගාථා 17 න් එක් ගාථාවක් හැරෙන්නට අනෙක් සියල්ල ම බුදුරජාණන් වහන්සේ හා ධනිය අතර ඇති වන සංවාදයක තොරතුරු දක්වනු ලැබේ. මෙහි එක් ගාථාවක් පමණක් පවිටු මාරයා විසින් පවසා තිබේ (ඉති මාරෝ පාපිමා). මෙම ගාථාවන්ගේ කියැවෙන අර්ථය ගත් කල, ලෞකික හා ලෝකෝත්තර තත්වයන් අතර ඇති පැහැදිලි වෙනස අවබෝධ කරවන්නකි. තවදුරටත් පැහැදිලි කළ හොත්, ධනිය නමැති පුහුදුන් මිනිසෙකු හා බුදුන්වහන්සේ නමැති නිකෙලෙස්, උත්තරීතර පුද්ගලයෙකු අතර වෙනස මෙම සූත්‍රයෙන් හොඳීන් ම ප්‍රකාශ වේ. ඒ බව සුත්තනිපාත අටුවාවෙහි (පරමත්ථජෝතිකා) මනා ලෙස පැහැදිලි කරනු පෙනේ.

ධනිය යනු විදේහ රට ධම්මකොණ්ඩ නම් නගරයෙහි උපන් සිටුවරයෙකි. ගවයන් තිස්දහසක උරුමක්කාරයෙකි. මෙය අටුවාවෙහි සඳහන් වන්නේ මෙලෙසිනි. “යෝ හි අත්තනෝ ගාවෝ පාලේති, සෝ ගෝපෝති වුච්චති, යෝ පරේසං වේතනේන භතෝ හුත්වා, සෝ ගෝපාලකෝ.” වර්ෂයෙහි සතර මාසයක් ගොඩබිම වාසය කරන ධනිය සිටුවරයා ඉතිරි අට මාසයක කාලය ගං තෙරක් හෝ දියපහරක් ඇසුරු කොට ගෙන තමන්ගේ වාසභවන තනාගෙන ජීවත් වෙයි. මෙලෙස මහාමහී ගංගා තීරයේ නිවහනක් තනා සියලු පිරිවර ජනයාට ආහාර ලබා දී, දෙනුන්ගෙන් කිරි දොවා, වස්සන් ගව ශාලාවල බැඳ තබා, පහන් දල්වා, තමන් ද කිරෙන් සැදූ බත් අනුභව කොට, තමන්ගේ සැපසම්පත් ගැන සිතමින් සයනයෙහි වැතිර ප්‍රමෝදයට පත් වෙයි. මේ සමග ම බටහිර අහසෙහි වැස්සෙහි පෙරනිමිති කියූ වලාවන්හි විදුලි කෙටීමේ හඬ ඇසීමෙන් මොහුගේ සිත තව තවත් සතුටින් පිනා යයි. “පක්කෝදනෝ දුද්ධඛීරෝ’හමස්මී” යන මුවින් පිටවන්නේ එවිට ය. බුදුරජාණන් වහන්සේ මොහු කී බස් දිව්‍යමය සවනින් අසා සැවැත් නුවරින් යොදුන් සියයක් අහසින් වැඩම කොට ධනිය සිටුවරයාගේ නිවස මත අහසෙහි වැඩ සිටිමින් “අක්කෝධනෝ විගතඛීලෝ’හමස්මී” යන ගාථා දේශනා කළහ.

මෙහි දී ධනිය තමාගේ අත්දැකීම් හා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විඳී උත්තරීතර අත්දැකීම් පිළිබඳ පවසනු පෙනේ. “මම පිසින ලද ආහාර ද, දොවන ලද කිරි ද ඇත්තේ වෙමි, මහී ගංතෙර සමාන කුලයන් සමග වාසය කරමි, කුටිය හොඳීන් සෙවිලි කර තිබේ, ගින්දර දල්වා ඇත, ඉතින් වැස්ස කැමති නම් වහින්න.” මෙහි ඇත්තේ ලෞකික අර්ථයකි. එහෙත්, බුදුරජාණන් වහන්සේ මෙහිදී අලෞකික හෙවත් ලෝකෝත්තර අර්ථය පැහැදිලි කරති. “මම ක්‍රෝධ නොකරමි (අක්කෝධනෝ). ප්‍රධන් වීර්යයට නුසුදුසු ලෙස සිත තුළ ඇති වන තද ගතිය දුරු කළෙමි (විගතඛීලෝ). මහී ගංතෙර එක් රැයක් පමණක් එහි නොඇලී වාසය කරමි (ඒකරත්තිවාසෝ). තණ්හා-මාන-දිට්ඨි-රාග ආදී කෙලෙස්වලින් වැසීගිය ආත්මභාවය විවෘත කළෙමි (විවටා කුටි). රාග-ද්වේශ-මෝහ-ජාති-ජරා-මරණ-සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස යන එකොළොස් වැදෑරුම් ගින්න නිව්වෙමි (නිබ්බුතෝ ගිනි).” බුදුරජාණන් වහන්සේ “ඉතින් වැස්ස කැමති නම් වසින්න” යැයි වදාළේ ලෝකෝත්තර වූ සතුටකිනි. එහෙත් ධනිය එය පැවසූයේ ලෞකික අර්ථයක පිහිටා ය. බුදුන්වහන්සේගේ වදන් අසා සිටි ධනිය සිටුවරයා නැවත ගාථාවකින් මෙසේ පවසයි. “කණමැස්සන් හෝ මදුරුවන් මෙහි නැත, නව තණ හටගත් ඉවුරු බිමෙහි ගවයෝ හැසිරෙති, උන්ට වැස්ස ද ඉවසිය හැක, ඉතින් වැස්ස කැමති නම් වසින්න.” අනතුරු ව බුදුරජාණන් වහන්සේ අධ්‍යාත්මික අර්ථයකින් සංග්‍රහ කරති. “ධර්ම-විනය වන ආර්ය මාර්ගය නමැති පහුර බැඳ නිම කළෙමි බෝධිපාක්ෂික ධර්ම පිරීමෙන්, එක ම රසයෙන් යුතු වූ, දෙව්-මිනිසුන් අතර කිසිවෙකුට නවතාලිය නොහැකි වූ, එම ආර්ය මාර්ගය නමැති පහුර මනා ව සැකසුවෙමි . කාම-භව-දිට්ඨි-අවිද්‍යා නමැති සතර ඕඝය තරණය කිරීම නමැති සර්වඥත්වයට පත් වූයෙමි. පරතෙරට පැමිණීම නමැති අරහත්වයට පත් වූයෙමි. දැන් එම ආර්ය මාර්ගය නම් පහුරෙන් වැඩක් නැත.” මෙහි දී ආර්ය මාර්ගයෙන් ප්‍රයෝජනයක් නැතැයි උන්වහන්සේ වදාළේ එය හීන කොට තැකීමෙන් නොව, ධර්ම-විනය උපකාරිත්වයෙන් එහි පරතෙරට පැමිණි නිසාය. මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ දී ද ප්‍රකාශ කර තිබෙන්නේ මීට ම සමාන අදහසකි. “මහණෙනි මම ධර්මය පහුරකට උපමා කරමි. එය සසරින් එතෙර වීම සඳහා ය. නැතහොත්, කරේ තබාගෙන යාමට නොවේ යන්නෙන් ඒ බව පැහැදිලි වේ.

ධනිය තෙවැනිවරටත් තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් මෙලෙස පවසයි. “මගේ ගෙවිලිය කීකරු ය. ආහාර, වස්ත්‍ර, ආභරණ ආදියෙහි ඇලීමක් නැත. දිගු කලක් මා සමග වාසය කරයි. යහපත් හැසිරීම් ඇත. ඇයගේ කිසිදු දුර්වලකමක් නො අසමි. වැස්ස ඉතින් කැමති නම් වහින්න.” ධනිය මෙයින් සිය අඹුවගේ ස්වභාවය කියා පායි. ඇගේ ගුණ වර්ණනා කරයි. මෙය ධනියගේ ලෞකික වස්තූන් කෙරෙහි තිබෙන ආශාව මැනවින් ප්‍රකට කරයි. එහෙත් බුදුරජාණන් වහන්සේ මීළඟට වදාළේ තමන් වහන්සේගේ සිත පිළිබඳ ව ය. එහි අධ්‍යාත්මික උත්තරීතර තත්වය ගැනයි. “මගේ සිත මගේ වසඟයෙහි ම පවතී (චිත්තං මේ අස්සවං). සියලු කෙලෙස් බැමිවලින් මිදුණි (විමුත්තං). බොහෝ කාලයක් වඩන ලදී (දීඝරත්තං පරිභාවිතං). මනා ව දමනය කරන ලදී (සුදන්තං). මගේ සිතින් කුමන අන්දමේ හෝ පාපයක් සිදු නොවේ (පාපං පන මේ න විජ්ජති).” මෙය අසා සිටි ධනිය නැවතත් තමන්ගේ ලෞකික අද්දැකීම් බුදුන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනු පෙනේ. “මම මගේ ම වැටුපින් ජීවත් වෙමි. දූ පුත්තු ද මා සමඟ ම සිටිති. ඔවුහු නිරෝගී ය. මම ඔවුන්ගේ කිසිදු වැරැද්දක්, නො අසමි. ඉතින් වැස්ස කැමති නම් වහින්න.” මේ අන්දමින් ප්‍රකාශ කළ ලෞකික අර්ථය ලෝකෝත්තර තත්වයට පෙරළන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නිර්මල, නිකෙලෙස්, නිවහල්, පද්මාකාර ජීවිතය ගැන ධනිය සිටුවරයාට දක්වති. “මම අනුන්ගේ වහලෙක් නොවෙමි. මිදී ගිය වහල් භාවයෙන් සියලු ලොව හැසිරෙමි. මට වහල්කමින් ප්‍රයෝජයනක් ද නැත.” මෙයින් නොනැවතුණු ධනිය ගෝපාල තමාට මෙලොව ඇති ලෞකික වස්තූන් පිළිබඳ වර්ණනා කරයි. “මට නොදැමුණු ගොන්නු ද, කිරි දොවන වැස්සියන් ද ඇත. ගැබ්ගත් දෙන්නු ද, වෙති. ගවම්පති වෘෂභයෝ ද වෙති. ඉතින් වැස්ස කැමති නම් වහින්න.” මෙම ප්‍රකාශය ලෞකික වස්තූන් කෙරෙහි ඇලීම නිසා හටගත් සෙය්‍යමානයෙන් කළ එකකි.

ධනිය පැවසූ තෘෂ්ණා සහගත අදහස්වලට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “මට නොදැමුණු ගොන්නු ද, කිරි දොවන වැස්සියන් ද නැත. ගැබ්ගත් දෙන්නු ද, . ගවම්පති වෘෂභයෝ ද නැත.” මෙයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ සියලු ක්ලේෂ ධර්මයන් සහමුලින් සිඳ දැමූ, මුලින් උපුටා දැමූ බව ය. අනතුරු ව ධනිය ගෝපාල නැවතත් මෙසේ පවසයි. “නොසැලෙන ටැම් සිටුවන ලදී. මුදු තණවලින් කළ අලුත් දම්වැල් ඇත. ඒවා කිරිබොන තරුණ වස්සන්ට ද කැඩීමට නොහැක. ඉතින් වැස්ස කැමති නම් වහින්න.” මෙම කියමන ම තමන් වහන්සේ අත්දුටු ලෝකෝත්තර අර්ථයට හරවන බුදුන් වහන්සේ කෙලෙස් බැම්මෙන් මිදුණු දිවියෙහි අර්ථවත් බව පැහැදිලි කරති. “බන්ධනයන් කඩා යන වෘෂභයෙකු සේ ද, පුතිලතාවක් කඩා යන ඇතෙකු සේ ද මම කෙලෙස් බන්ධනයන් සම්පූර්ණයෙන් ම සිඳ දැමුවෙමි. නැවතත් ගැබක සයනය කිරීමට (ඉපදීමට) නොපැමිණෙන්නෙමි

ලෞකික හා ලෝකෝත්තර අර්ථයන් අතර තිබෙන පරතරය, වෙනස් බව තව තවත් පැහැදිලි වන්නේ ධනියගේ හා ගෝපියගේ පැවිද්ද ඉල්ලීමට අනතුරක් කිරීමට පැමිණි මාරයාගේ ප්‍රකාශයෙනි. පාපී මාරයාගේ අදහස වූයේ ධනිය හා ගෝපිය තව දුරටත් සසර බන්ධනයෙන් බැඳ තැබීමට යි. ඒ අරමුණෙන් ඔහු කෙලෙස් සිතිවිලි වර්ධනය වන පරිදි ඊට අදාළ වූ ප්‍රකාශයක් සිදු කරයි. “පුතුන් ඇති තැනැත්තා පුතුන් හේතුවෙන් සතුටු වෙති. ගවහිමියා ගවයන් දැක එසේ ම සතුටු වෙයි. යමෙක් කෙලෙස්වලින් මිදුණේ ද ඔහු පෙර පරිදි සතුටු නොවේ.” මාරයාගේ මෙම වැරැදි ප්‍රකාශය අනුමත නොකළ බුදුරජාණන් වහන්සේ එය නිවැරැදි විය යුතු අයුරු මේ අන්දමට පෙන්වා දෙති.

“පුතුන් ඇති තැනැත්තා පුතුන් නිසා ම දුකට පත් වෙයි. ගවහිමියා ද එසේ ම දුකට පත් වෙයි. කාම, බන්ධු, කිලේස, අභිසඩ්කාර යන සතර වැදෑරුම් වූ උපධීන් නිසා මිනිසා සෝක කරයි. උපධි රහිත පුද්ගලයාට සෝකයක් නැත.” යන්නයි.

මේ අනුව බුදුරජාණන් වහන්සේගේ නිකෙලස් ජීවිතයෙහි උත්තරීතර ස්වභාවයත්, කෙලෙස් බැදීම්වලින් ආකූල වූ දිවිපෙවෙතහි ඇති නිස්සාර භාවයත් අපට මනාව ධනිය සූත්‍රයෙන් අවබෝධ කර දේ. සසර ගමනෙහි නැවත නැවත, විවිධ භවයන්හි ඉපිද අප නොයෙක් දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන් අවස්ථා කොතෙකුත් වන්නට ඇති. කෙලෙස් රැස්වීම නිසා සංසාර ගමන තව තවත් දිගු වන බව නුවණින් අවබෝධ කළ යුතු වේ. මෙනිසා අප කළ යුතු වන්නේ සියලු බන්ධනයන්ගෙන් මිදීමට උත්සාහ කිරීම ය. එබඳු වූ නිරූපධි භාවය පසක් කළ තැනැත්තා කිසිදා සෝක නොකරයි. ඔහු විසින් වැඩිය යුතු දෙය වඩන ලදී අත්හළ දෑ අත්හරින ලදී. කළ යුතු දෙය කරන ලදී. යළිත් කළ යුතු දෙයක් හෝ බලාපොරොත්තු විය යුතු නොමැත.