Print this Article


ආරක්ෂාවට සතර කමටහන්

ආරක්ෂාවට සතර කමටහන්


චතුරාරක්ඛා හෙවත් සතර කමටහන් ගිහි පැවිදි හැම කෙනෙකු විසින් ම මෙලොව පරලොව ආරක්ෂාව පිණිස වැඩිය යුතු ය. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති යන සතර කමටහන් සිල්වත් භික්ෂුව විසින් නිරතුරුව වැඩිය යුතු බව බුද්ධානුශාසනාව යි. පැවිද්දන් උදෙසා දේශනා කළ මේ සතර කමටහන් ගිහි පින්වතුන් විසින් ද ප්‍රගුණ කළ යුතු, දෙලොව අභිවෘද්ධිය පිණිස පවතින භාවනා සතර කි.

බුදුන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ මෙනෙහි කිරීම බුද්ධානුස්සති භාවනාව යි. මේ භාවනාව වැඩීමෙන් බුදුන් වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධා ගෞරවය වර්ධනය වේ. ධජග්ග සූත්‍ර දේශනාවේ සඳහන් වන ආකාරයට මෙලොව වශයෙන් අපට ඇතිවන බියවීම්, තැති ගැනීම්, ලොමු දැහැගැනීම් ආදිය දුරුකර ගැනීමට බුදුගුණ භාවනාවෙන් හැකියාව ලැබේ.

මෙත්තානුස්සති භාවනාව වැඩීමෙන් මෙත්තානිසංස සූත්‍රයේ දී දේශනා කළ ආනිසංස එකොළහට ම හිමිකරුවෙක් විය හැකි ය.

අසුභ භාවනාව වැඩීමෙන් යෞවන මදය, ආරෝග්‍ය මදය ආදී මදයන්ගෙන් ඈත්විය හැකි ය. එය නිරවද්‍ය ජීවිතයක් ගත කිරීමට උපකාරී වේ. තම ශරීරයේ හා අනුන්ගේ ශරීරවල පවතින දෙතිස් කුණප කොට්ඨාස මෙනෙහි කිරීමෙන් කාමාශාව දුරුකර ගත හැකි ය.

මරණානුස්සති භාවනාව වැඩීමෙන් නොබියව මරණයට මුහුණ දිය හැකි වේ. මේ චතුරාරක්ඛා වැඩීමෙන් ලුහුඬින් සඳහන් කළ අනුසස් ගිහි පැවිදි සැමට ලබාගත හැකි වේ.

“බුද්ධානුස්සති මෙත්තා ච අසුභං මරණස්සති

ඉතිඉමා චතුරාරක්ඛා භික්ඛු භාවෙය්‍ය සීලවා”

බුද්ධානුස්සති - බුද්ධානුසති භාවනාව ද

මෙත්තා ච - මෛත්‍රී භාවනාව ද

අසුභං - අසුභ භාවනාව ද

මරණස්සති - මරණානුස්සති භාවනාව ද

ඉති - මෙසේ වූ

ඉමා චතුරාරක්ඛා - මේ සතර ආරක්ෂාවන්,

සීලවා භික්ඛු - සිල්වත් භික්ෂුව,

භාවෙය්‍ය - වඩන්නේ ය.

බුද්ධානුස්සති භාවනාව ද, මෛත්‍රී භාවනාව ද, අසුභ භාවනාව ද, මරණානුස්සති භාවනාව ද යන මෙසේ වූ මේ සතර ආරක්ෂාවන් සිල්වත් භික්ෂුව වඩන්නේ ය.

බුද්ධානුස්සති කර්මස්ථානය

අනන්ත විත්ථාර ගුණං - ගුණතොනුස්සර මුනිං

භාවෙය්‍ය බුද්ධිමා භික්ඛු - බුද්ධානුස්සති මාදිතො

බුද්ධිමා භික්ඛු - බුද්ධිමත් භික්ෂුව,

ආදිතො - පළමු කොට, අනන්ත (ආකාසය සේ) අනන්තවූ

විත්ථාර - (මහ පොළොව සේ) විස්තීරණ වූ හෙවත් පැතිරුණා වූ

ගුණං - ගුණ ඇති,

මුනිං - මුනීන්ද්‍රයන් වහන්සේගේ,

ගුණතො - නව අරහාදී ගුණයන්

අනුස්සරං - සිහිකරමින්,

බුද්ධානුස්සතිං - බුද්ධානුස්සති භාවනාව හෙවත් කමටහන,

භාවෙය්‍ය වඩන්නේ ය.

බුද්ධිමත් භික්ෂුව පළමු කොට (ආකාසය සේ) අනන්ත වූ (මහ පොළොව සේ) විස්තීර්ණ වූ හෙවත් පැතිරුණ වූ ගුණ ඇති මුනීන්ද්‍රයන් වහන්සේගේ නව අරහාදී ගුණයන් සිහිකරමින් බුද්ධානුස්සති භාවනාව හෙවත් කමටහන වඩන්නේ ය.

සවාසනෙ කිලෙසෙ සො එකො සබ්බෙ නිඝාතීය

අහු සුසුද්ධ සන්තානො පූජානඤ්ච සදාරහො

සො ඒ බුදුරජාණන් වහන්සේ,

එකො - එකලා වූයේ හෙවත් හුදෙකලා වූයේ,

සවාසනෙ - වාසනා දෝෂයන් සහිත වූ

සබ්බෙ කිලෙසෙ - සියලු කෙලෙසුන්

නිඝාතිය - නැසූයේ,

සුසුද්ධ - ඉතා පිරිසුදු වූ,

සන්තානො - චිත්ත සන්තාන ඇත්තේ,

පූජානං ච - ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට ද,

සදා - හැම කල්හි

අරහො අහු - සුදුසු විය.

ඒ බුදුරජාණන් වහන්සේ එකලා වූයේ හෙවත් හුදෙකලා වූයේ, වාසනා දෝෂයන් සහිත වූ සියලු කෙලෙසුන් නැසූයේ, ඉතා පිරිසුදු වූ චිත්ත සන්තාන ඇත්තේ, ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට ද හැම කල්හි සුදුසු වුයේ විය.

සබ්බකාලගතෙ ධම්මෙ - සබ්බේ ධම්මා සයං මුනි

සබ්බකාරෙන බුජ්ක්‍ධිත්වා - එකො සබ්බඤ්ඤුතං ගතො

මුනි - මුනීන්ද්‍රයන් වහන්සේ

සබ්බ කාලගතෙ - (අතීත, වර්තමාන, අනාගත යන) සියලු කාලයන්ට අයත්

සබ්බෙ ධම්මෙ - සියලු ධර්මයන්

සම්මා - මනාකොට

සයං - (පරෝපදේශ රහිතව)තමා ම

සබ්බාකාරෙන - (අනිත්‍යාදී) සියලු ආකාරයෙන්,

බුජ්ක්‍ධිත්වා - අවබෝධ කොට ගෙන,

එකො - හුදෙකලාව, සබ්බඤ්්දුතං - සර්වඥ බවට

ගතො - ගියේ ය.

විපස්සනාදී විජ්ජාහි - සීලාදි චරණෙහි ච

සුසමිද්ධෙහි සම්පන්නො - ගගනාභෙහි නායකො

නායකො - (තුන් ලෝ වාසීන්ට) නායක වූ බුදුරජාණන් වහන්සේ

සුසමිද්ධෙහි - අතිශයින් ම සමෘද්ධ වූ

ගගනාභෙහි - ආකාසය බඳු වූ

විපස්සනාදී - විදර්ශනාදි වූ

විජ්ජාහි - (අෂ්ට) විද්‍යාවෙන් ද, සීලාදී - (ප්‍රාතිමෝක්ෂ සංවර) සීලාදී වූ, චරණෙහි ච (පසළොස් චරණ) ධර්මයන්ගෙන් ද, සම්පන්නො - සම්පූර්ණයහ.

සම්මා ගතො සුභං ඨානං - අමොඝ වචනො ච සො

තිවිධස්සාපි ලොකස්ස - ඤාතා නිරවසේසතො

සො - ඒ බුදුරජාණන් වහන්සේ,

සුභං ඨානං - (සුන්දර වූ නිවනට) මනා තැනට

සම්මා - මනාකොට ,

ගතො - ගියේ ය, සො - ඒ බුදුරජාණන් වහන්සේ,

අමොඝ - නොසිස් වූ

වචනො ච - තෙපුල් ඇත්තේ ය,

ත්‍රිවිධස්සාපි ලොකස්ස - ත්‍රිවිධ ලෝකය ද

නිරවසෙසතො - නිරවශේෂයෙන්, ඤාණ - දන්නේ ය.

ඒ බුදුරජාණන් වහන්සේ (සුන්දර වූ නිවනට) මනා තැනට මනාකොට ගියහ. ඒ බුදුරජාණන් වහන්සේ නොසිස් වූ තෙපුල් (වචන) ඇත්තේ ය. ත්‍රිවිධ ලෝකය ද නිරවශේෂයෙන් දනති.

අනෙකෙහි ගුණොඝෙහි - සබ්බ සත්තුත්තමො අහු

අනෙකෙහි උපායෙහි - නරදම්මේ දමෙ සි ච

සො - ඒ බුදුරජාණන් වහන්සේ

අනෙකෙහි (දස බල චතුර් වෛශාරද්‍යාදී වූ ඥාන) නොයෙක්

ගුණොසෙහි - ගුණාංගයන්ගෙන්

සබ්බ සන්තුත්මො අහු - (මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මා දී) සියලු සත්ත්වයන්ට උත්තම විය.

අනෙකෙහි උපායෙහි - (කරුණා මෛත්‍රී ආදී වූ) නොයෙක් උපායෙන්

නර දම්මෙ ච - දමනය කළ යුතු වූ සියලු මිනිසුන්

දමෙසි - දමනය කළේ ය.

ඒ බුදුරජාණන් වහන්සේ (දස බල - චතුර් වෛශාරද්‍යාදී වූ ඥාන) නොයෙක් ගුණාංගයන්ගෙන් (මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මාදී) සියලු සත්ත්වයන්ට උත්තම විය. (කරුණා, මෛත්‍රී ආදී වූ) නොයෙක් උපායෙන් දමනය කළ යුතු වූ සියලු මිනිසුන් දමනය කළහ.

එකො සබ්බස්ස ලොකස්ස -

සබ්බ සත්ථානුස්සකො

භාග්‍ය ඉස්සරියාදීනං - ගුණානං පරමො නිධි.

එකො - අසහාය වූ බුදුරජාණන් වහන්සේ

සබ්බස්ස ලෝකස්ස - සියලු ලෝකවාසීන්ට

සබ්බ අත්ථ - (ලෞකික, ලෝකෝත්තර) සියලු වැඩ,

අනුසාසකො - අනුසාසනා කරති. භාග්‍ය ඉස්සරියාදිනී - පුණ්‍ය ඓශ්චර්යාදී වූ,

ගුණානං - ගුණයන්ට, පරමො උතුම් වූ නිධි නිධානයකි.

අසහාය වූ බුදුරජාණන් වහන්සේ සියලු ලෝකවාසීන්ට (ලෞකික ලෝකෝත්තර) සියලු වැඩ අනුශාසනා කරති. පුණ්‍ය - ඓශ්චර්යාදී වූ ගුණයන්ට උතුම් වූ නිධානයකි.

පඤ්ඤස්ස සබ්බ ධම්මෙසු - කරුණා සබ්බ ජනතුසු

අත්තත්ථා නං පරත්තානං - සාධිකා ගුණ පෙට්ඨිකා

අස්ස - ඒ බුදුරජාණන් වහන්සේගේ

පඤ්ඤා - ප්‍රඥාතොමෝ

සබ්බ ධම්මෙ - සියලු ධර්මයන් කෙරෙහිලා පවතී.

කරුණා - කරුණා තොමෝ,

සබ්බ ජනතුසු - සියලු සතුන් කෙරෙහිලා පවත්නාහ.

අත්තත්ථානං - තමාහට වැඩ ද, පරාපානං - පරහට වැඩ ද, සාදිකා සිද්ධ කරන්නා වූ

ගුණ ජෙට්ඨිකා - සියලු බුදුගුණයන්ට (ප්‍රඥාවන් - කරුණාවන්) ජ්‍යෙෂ්ඨයහ.

දයාය පාරමී චිත්වා පඤ්ඤායත්තාන මුද්ධරී

උද්ධරී සබ්බධම්මෙ ච දයායඤ්ඤච උද්ධරී

දයාය - සියලු සතුන් කෙරෙහි දයාවෙන්

පාරමී චිත්වා - පාරමිතාවෙන් රැස්කොට පඤ්ඤාය - නුවණින්,

අත්තානං - තමා ද, උද්ධරී (සසරින්) නැගිය

සබ්බ ධම්මෙ ච - සියලු ධර්මයන් ද (ලෞකික ලෝකෝත්තර) උද්ධරී දේශනාවෙන් ) නැගීය.

දයාය - (දයාවෙන් අඤ්ඤෙච (දේව බ්‍රහ්මාදී වූ) සෙසු සතුන් ද, උද්ධරී (සසර දුකින්) නැගී ය.

සියලු සතුන් කෙරෙහි දයාවෙන්, පාරමිතාවෙන් රැස්කොට නුවණින් තමා ද (සසරින්) නැගී ය. සියලු ධර්මයන් ද (ලෞකික ලෝකෝත්තර) දේශනාවෙන් නැගී ය. දයාවෙන් (දේව - බ්‍රහ්මාදී වූ) සෙසු සතුන් ද (සසර දුකින්) නැගී ය.

දිස්සමානොපි තාවස්ස - රූපකායො අචින්තියො

අසාධාරණ ඤාණඩ්ඪෙ - ධම්මකායෙ කථාචකා ති.

අස්ස - ඒ බුදුරජාණන් වහන්සේගේ

දිස්සමානොපි - පෙනෙන්නා වූ

රූපකායො රූපකාය

තාව - වනාහි (දෙතිස් මහා පුරිස ලක්ෂණයෙන් හා අසීත්‍යානුව්‍යාඤ්ජනයෙන් යුත් රූපකාය)

අචින්තියො (අචින්තියහ) සිතා නිමකළ නොහැක. අසාධාරණ ඤාණඩ්ඩෙ (ෂඩ් අසාධාරණ ඤාණයෙන් සමෘද්ධ වූ, ධම්ම කායෙ සීල සමාධි ආදි වූ ධර්ම කායෙහි, තථාවකා - කියනුම කවරේ ද?

ඒ බුදුරජාණන් වහන්සේගේ පෙනෙන්නා වූ රූපකාය වනාහි (දෙතිස් මහා පුරිස ලක්ෂණයෙන් හා අසීත්‍යානුව්‍යඤ්ජනයෙන් යුත් රූපකාය) අචින්තියහ. සිතා නිමකළ නොහැක. (ෂඩ් අසාධාරණ ඥානයෙන් සමෘද්ධ වූ (සීල සමාධි ආදී වූ) ධර්ම කායෙහි කියනුම කවරේ ද?