Print this Article


අස්සාදය සහ විරාගය

අස්සාදය සහ විරාගය

අප ලද මනුෂ්‍ය ජීවිතය ඉතාමත් දුර්ලභ වූ අවස්ථාවකි. අතීත සසරෙහි අප සියලු දෙනා ම වැඩිපුරම සතර අපායෙහි ඉපිද දුක්විඳ ඇති බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. මේ නිසා ලද අවස්ථාවෙන් උතුම් ප්‍රයෝජනයක් ගන්නට අධිෂ්ඨාන කරගත යුතු ය.

එසේ ප්‍රයෝජන ගැනීම නම් “ජීවත්වෙනවා” යැයි පවසමින් ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවීම නොවේ. එය ඉන් ඔබ්බට සිතා අනුගමනය කළ යුතු මාර්ගය කි. එය කුසල් මත පිහිටා ආරද්ධ වීර්යයෙන් කළයුතු වූවකි. නොපසුබට වීර්යයෙන් කළ යුතු වූවකි. සූත්‍ර දේශනාවක් ඇසුරු කොට සඳහන් කරන මෙම ප්‍රායෝගික දහම් පරියාය භාවිත සිතකින් ඇතිකර ගත් නුවණින් යුතුව සිහිපත් කරන්න. පැවිදි ජීවිත ගත කරන භික්ෂූන් වහන්සේ සම්බන්ධව ඉදිරිපත් කෙරුණත්, කෙලෙසුන්ගෙන් විනිර්මුක්තව “සුවය” සොයන, ඒ ගැන ටික ටිකවත් සිතන හැම කෙනෙකුට ම මහත්සේ ප්‍රයෝජනවත් ය.

සංයුක්ත නිකායේ භාරද්වාජ සූත්‍ර දේශනාවෙහි මෙසේ සඳහන් වෙයි. උදේන නම් රජතුමා ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවන් වහන්සේ වෙත පැමිණ සතුටින් කතා කොට මෙසේ පැවසූහ. “තෙරණුවනි, තරුණ වූ, මනා වූ කළු කෙස් ඇති භද්‍ර යෞවනයෙහි පසුවන, කාම සම්පත්තීන් අනුභව නොකළ තරම් වූ, තරුණ භික්ෂුහු වෙති. යම් හෙයකින් දිවි හිමියෙන් පිරිපුන් පිරිසුදු බඹසර වෙසෙත් නම්, දිගුකලක් එය නොසිඳ පවත්වත් නම් ඊට හේතු කුමක් ද? එය කරන්නේ කෙසේ ද?” මේ ප්‍රශ්නයෙන් ගම්‍ය වන්නේ කුමක් ද? ඇලෙන, ගැටෙන, දුක් සැප ඔස්සේ පොර බදන සාමාන්‍ය මිනිස් සිතකට, වඩා වෙනස් වූ පැවැත්මක් ඇති ජීවිත පිළිබඳව ඇති වූ අනුකම්පා සහගත වූ කුකුසයි. පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවන්ගේ පිළිතුර මෙසේ විය.

සියල්ල දන්නා, සියල්ල දක්නා අර්හත් සම්මා සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදී. මහණෙනි, එන්න, මව වැනි අය කෙරේ මව නම් වූ සිත ඇති කරගන්න. සොහොයුරිය වැනි අය කෙරේ සොහොයුරිය නම් වූ සිත ඇති කරගන්න. දුව වැනි අය කෙරේ දුව නම් වූ සිත ඇති කරගන්න. රජතුමනි, තරුණ, මනා කළු කෙස් ඇති, සොඳුරු යෞවනයෙන් හා පළමු වයසින් යුතු, කම්සැප අනුභව නොකළ තරම් වූ මේ තරුණ භික්ෂුහු පිරිපුන් පිරිසුදු බඹසර රකිමින් දිවි හිමියෙන් වෙසෙත් නම්, දිගුකලක් නොසිදා පවත්වත් නම් එයට මේ හේතුයි.” භික්ෂූන් වහන්සේ මුල් කරගෙන මේ අදහස සකස් වූවත්, මේ අදහස් පෙළ හැම පෘථග්ජන සිතකට ම එක හා සමාන ය. ගිහි වූවත්, පැවිදි වූවත්, සිතෙහි සකස් වෙන්නා වූ පාලනයකින් තොර වූ ඇලීම කෙලෙස් රැස් කරයි. යටපත්ව පවතින්නා වූ කෙලෙස් නම් අනුසය ධර්ම ප්‍රතිශක්තිකරණය කරනු ලබයි. එනම් නැවත හැඩගන්වා ජීව ශක්තිය ලබා දී ක්‍රියාත්මක කරවයි. උපත් සහ මරණ සමඟින් භවය සාදයි. සසර දිගුවෙයි. සම්බාධ සහිතව ගෘහස්ථ ජීවිත ගතකරන සියලු දෙනා ද, පැවිද ි ව සම්බාධ රහිතව අරණක, සෙනසුනක හෝ විහාරයක පැවිදි උතුමන් ද එම යථාර්ථයට යටත් ය. වෙනස පවතින්නේ දෙපිරිසෙහි පවතින්නා වූ බාහිර චර්යාවෙයි. එනම් හැසිරීම් රටාවයි. සියලු කෙලෙස් අතර රාගය ප්‍රබල ආශ්‍රවයකි. එහි ඇති ලාමක බව දක්වා ඇත්තේ, ආශ්‍රව නම් වූ වදන යෙදීමෙනි. එනම්, පැසවමින් පවතින සහ වැගිරෙන නම් තේරුම සමගිනි. සාමාන්‍ය ශරීරයෙහි නිතර අපවිත්‍ර දෑ නව දොරටුවලින් වැගිරෙන්නාක් මෙන් ම, චක්ඛු පසාද, සෝත පසාද, ඝාණ පසාද, ජිව්හා පසාද, කාය පසාද නම් වූ ඉන්ද්‍රිය ශක්තීන්ගෙන් රාගාදී කෙලෙස් වැගිරෙත්, අර්පණා සමාධියෙන්, එනම් බලවත් ලෙස කාමාදී කෙලෙස් යටපත් කරගෙන සිටියේ ද බලවත් වූ රූපාදී අරමුණකින්, එම සමාධිමය සිත බිඳී ඇවිස්සී කෙලෙස් මතු විය හැකි ය. සියුම් ව කෙලෙස් පිබිදිය හැකි ය. වැගිරෙන බවට සඳහන් කළේ එයයි. මේ නිසා කාමාදී කෙලෙස් ප්‍රබලව යටපත් කරන ධ්‍යාන අවස්ථාවන් හි දී පඤ්ච වශීතාවය හඳුන්වා දෙයි. එනම් ආවජ්ජන - මෙනෙහි කිරීම, සමාපජ්ජන - සමවැදීම, අධිට්ඨාන – බලවත් නිශ්චය, වුට්ඨාන – නැඟී සිටීම, පච්චවෙක්ඛන – නැවත නුවණින් සලකා බැලීම යනුවෙනි.

බුදු දහමේ හඳුන්වා දෙන සීලය, එනම් කායික හා වාචසික සංවරය, ආර්ය මාර්ගයේ පළමු පියවර ය. භාවිත සිතක් හා භාවිත කයක් ඇති ගිහි හෝ පැවිදි ශ්‍රාවකයකුගේ සීලය හැකිතාක් දුරට පරිපූර්ණ ය. තම සිතෙහි කෙලෙස් හටගැනීමේ හැකියාවක් ඇති අනතුරක් තිබෙන නිසා, භාවිත සිත් ඇත්තා, සිත හා අරමුණු පිළිබඳව සම්පජඤ්ඤයෙන් යුතුව, එනම් පරීක්ෂාකාරී නුවණින් යුතුව සිව් ඉරියව් පවත්වයි. රාගාදී සිතිවිලි ප්‍රබල ලෙස හටගත හැකි ප්‍රධාන අරමුණු වන්නේ පුරුෂයෙකුට ස්ත්‍රියත්, ස්ත්‍රියකට පුරුෂයෙකුත් ය. පෙනුම, බැල්ම, හඬ, ලීලාව, ආඝ්‍රහණය, සිනහව, රසය එම කෙලෙස්වල නිමිති ලෙස සඳහන් කෙරේ. “ටික ටිකවත්, හෝ යම් වූ ද ප්‍රමාණයකටත් භාවිත සිතක් ඇති කරගත් අයෙකුට ලොව බොහෝ කාන්තාවන් අම්මාවරු වෙති. තම අම්මාගේ වයසට සමානකම් කියන බැවිනි. එම රූපයෙන් හෝ එම රූපයේ සිනාව, බැල්ම, ගමන ආදී චර්යාවන්ගෙන් හෝ රාගයක් තම සිතෙහි හටගන්නට අවස්ථාවක් නැත. එම සිත හා සිතිවිලි රාගාදී කෙලෙස්වලින් දුෂ්‍ය නොවී ඇති බව වැටහෙයි. ඒ බව වැටහෙන්නේ, කරුණාව, මෛත්‍රිය, අර්ථ චර්යාව, ඉවසීම, පැහැදීම වැනි පාරිශුද්ධ වූ සිතිවිලි නිසා ය. මේ නිසා දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ හානියකට හෝ මනුෂ්‍ය බවින් පිරිහී දුගතියකට වැටීමට තිබෙන මාර්ග බොහොමයක් ආවරණය වෙන්නට වෙයි. භික්ෂුවකට තම පිරිසුදු බ්‍රහ්මචරියාව රැකගැනීමටත්, ගෘහස්ථ ජීවිත ගත කරන අයට සීලයෙන්, විනයෙන්, ශික්ෂණයෙන් යුතුව සදාචාරාත්මක පැවැත්මක් ඇති කර ගැනීමටත් උපකාරී වෙයි.

සූත්‍ර දේශනාවට අනුව, උදේන රජු, සාමාන්‍ය සිතේ ස්වභාවය මතුකොට දක්වමින් නැවත ප්‍රශ්නයක් අසයි. “තෙරණුවනි, මේ සිත ලෝල ය, මව් වැනි අය කෙරේ ද ඇතැම් දිනෙක ලෝබ සිත් උපදී. සොහොයුරිය වැනි අය කෙරේ ද ලෝබ සිත් උපදී. දුව වැනි අය කෙරේ ද ඇතැම් විටෙක ලෝබ සිත් උපදී. එවැනි සිත් පහළ වේ නම්, කෙසේනම් එවැනි බඹසර රැකගන්න ද? භෞතිකමය වශයෙන් ශරීරය තරුණ අවධියේ පසුවන්නේ කෙලෙස්වලට ආකරයක් හැටියට ය. මේ නිසා සිතේ චපල බව, අසංවර බව, අවිනය ආදිය ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය, ස්පර්ශය, විඳීම් ලෙස කොතැනකින් හෝ මතුවිය හැකි ය. අප්‍රමාදී ගුණය හෙවත් කුසල්මගට යොමුවීම වැළැක්වීම හෝ දුර්වල කිරීමට හේතුවක් වන්නේ ය.

භාරද්වාජ තෙරණුවන්ගේ පිළිතුර මෙවැන්නකි. මහරජ සියල්ල දන්නා, දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි, පාදයේ පතුලෙන් උඩ, හිසේ කෙස්වලින් යට, සම කෙළවර කොට ඇති නන් වැදෑරුම් අපවිත්‍ර දැයින් පිරුණු මේ ශරීරය නුවණින් මෙනෙහි කරන්න. මේ ශරීරයෙහි කෙස්, ලෝම, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනු බහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේදය, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුලු මුත්‍රා ඇතැයි කියයි. පිරිසුදු බඹසරට මෙසේ සිහිනුවණින් මෙනෙහි කිරීම ම හේතුවකි. උපකාරයකි. ධර්ම පරියායකි.

ඇවිදිනා වැසිකිළියක් බඳු, අපවිත්‍ර දැයින් පිරුණු, බිඳෙන සුළු මැටි කළයක් බඳු මේ ශරීරයෙහි ඇති යථා ස්වභාවය වැටහෙන්නට පටන්ගනී. මේ ශරීරය ඇතුළත පිටතට පෙනෙන සේ, යම් වරෙක කොට්ට උරයක් සේ අනෙක් පිටට හැරවිය හැකිනම්, මේ ශරීරයේ අපවිත්‍ර දෙයට සමීපවන සුනඛයන්, සිවලුන්, කපුටන්, එළවීමට ලී කැබලිති තබාගෙන සිටියත් නොහැකිවේ යැයි භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් දෙසූ දහම් සිහිගැන්වෙයි. මේ රාගී සිත නිවන ගාථා රත්න දෙක මෙනෙහි කොට බලමු.

“ඵස්ස චිත්තකතං බිම්බං - ආරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං - යස්ස නත්ථි ධුවං ඨීති”

“ස්ථීර පැවැත්මක් නැති, ඇටකටුවලින් සමන්නාගත, නිතර ලෙඩ ඇති මහජනයා විසින් විවිධ ලෙසින් සිතිවිලි සකස් කරගන්නා වූ, ඇඳුම් පැළඳුම්වලින් සරසන ලද මේ ශරීරය විදසුන් නුවණින් බලන්න.”

“පරිජිණ්ණමිදං රූපං - රෝගනිඩ්ඪං පභංගුරං
භිජ්ජති පුති සන්දේහො - මරණං තංහි ජීවිතං”

“බොහෝසේ දිරාගිය මේ ශරීරය ලෙඩ කූඩුවකි. බිඳෙන සුළු එකකි. නිබඳ කුණු වැගිරෙන ලෙඩ කූඩුවකි. බිඳෙන සුළු එකකි. නිබඳ කුණු වැගිරෙන මේ කුණු කය වහා විනාශ වන සුඵ ය. ජීවිතය මරණයෙන් කෙළවර වන්නේ ය.