Print this Article


 අකුසල් දුරුකොට කුසල් වඩමු

 අකුසල් දුරුකොට කුසල් වඩමු

බුදු රජාණන් වහන්සේ අසිරිමත් ගුණයන්ගෙන් යුතු අසහාය මනුෂ්‍ය රත්නයක්.

උන්වහන්සේ ලෝකයෙහි කිසිදු රහසක් නොමැති සියලු ලෝකය ම අතැඹුලක් සේ ඉතා හොඳීන් අවබෝධ කළ සර්වඥයන් වහන්සේ. ලෝකය හා එක් නොවී වාසය කරන, ලෝකයේ හට ගැනීමද, ලෝකය නිරුද්ධ වීම ද, ලෝකය විරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ද ඉතා හොඳීන් අවබෝධ කළ සර්වඥයන් වහන්සේ. මනුෂ්‍ය ලෝකයේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට, දිව්‍ය ලෝකයේ, දෙවියන්ගේ විස්තර දැන ගන්ට ක්‍රමයක් නෑ. බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්මයන්ගේ විස්තර දැනගන්ට ක්‍රමයක් නෑ. ඒ ලෝකවල විස්තර ආවරණය වෙලා තියෙන්නේ.ඒ වගේමයි ඇතැම් දෙවියන්ටත් ඇතැම් දිව්‍ය ලෝකවල විස්තර, ඇතැම් බ්‍රහ්ම ලෝකවල විස්තර දැන ගන්ට ක්‍රමයක් නෑ. ඒ ලෝකවල විස්තර ආවරණය වෙලා තියෙන්නේ. නමුත් බුදු රජාණන් වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් සියලු දෙනා විසින් දක්නා ලද, අසනා ලද, ආඝ්‍රහණය කරන ලද, රස විඳීන ලද, පහස ලැබුවා වූ යමක් ඇද්ද, සිතින් දැන ගන්නා ලද යමක් ඇද්ද, ලබා ගත් යමක් ඇද්ද, සොයා ගත් යමක් ඇද්ද,සිතින් විමසන ලද යමක් ඇද්ද, ඒ සියල්ලම ඉතා හොඳීන් අවබෝධ කළා, ඒ නිසා උන් වහන්සේට “තථාගත” කියලා කියනවා.

ඒ වගේම ලෝකාවබෝධ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මේ විදිහටත් වදාළා. පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළා ද, යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානා සේක් ද, ඒ අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක් පැවසූ සේක් ද, ප්‍රකාශ කළ සේක් ද, නිර්දේශ කළා ද ඒ සියල්ලම ඒ අයුරින්ම සිදු වන්නේ ය. වෙනත් අයුරකින් සිදු නොවන්නේ ය, කියලා.

ඒ වගේම තථාගත බුදු රජාණන් වහන්සේ යමක් දේශනා කරනවා ද, ඒ අයුරින්ම කටයුතු කරනවා. යම් අයුරකින් කටයුතු කරනවා ද ඒ අයුරින්ම ප්‍රකාශ කරනවා. බුදු රජාණන් වහන්සේ ගේ ක්‍රියාවත් ප්‍රකාශයත් එකම අයුරින් පවතිනවා. දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත මේ දෙව්මිනිස් ප්‍රජාව තුළ තථාගතයන් වහන්සේ හැම දෙයම මැඩ පවත්වනවා. අද ලෝකය තාක්ෂණයෙන් කොතරම් දියුණුවක් ලබා තිබුණත් මිනිසා ගත කරන්නේ ඉතාම ගුණයෙන් නුවණින් පිරිහුණු විඩාබර වෙහෙසකාරී ජීවිතයක්. ජීවමාන බුදු රජාණන් වහන්සේ වැඩ සිටි අදින් වසර දෙදහස් පන්සිය ගණනකට පෙර පැවති යුගය තමයි මේ ලෝකෙ සුන්දරම කාලය.බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ඇසුරෙන් තමන්ගේ ජීවිතය ගුණයෙන්, නුවණින් පොහොසත් , අඳුර විනිවිද එළිය දකින්නාසේ අසත්‍ය විනිවිද ජීවිතයේ සත්‍ය ස්පර්ශ කළ සැබෑම මගඵල ලාභීන්ගෙන් පිරී ගිය යුගය තමයි මේ ලෝකයේ ඉතාම සුන්දර ම කාලය.

මව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, අගෞරව කරන්නන් , නොසලකා හරින්නන් ගැන කතාබස් කිරීමට, දඬුවම් දෙන්නට, කුසල් අකුසල් පිළිබද යුක්තිය පසිඳලීමට අද සමාජය තුළ කිසිදු හඬක් නැත. අතීතයේ ද රටක, සමාජයක, පැවැත්මට නීතියත්, දඩුවමත්, යුක්තිය පසිඳලීමත් තිබුණ දෙයකි. එය අදත්, හෙටත් එසේම තිබුණා වේ. ගැටලුව එය නොවේ. නමුත් එයටත් වඩා අද සමාජයට අවශ්‍ය වන්නේ කුසල් අකුසල් පිළිබඳ අවබෝධයයි. අකුසල් දුරුකොට කුසල් උපදවා ගැනීමට වෑයම් කිරීමයි. එය කිරීම මහල්ලන්ට පමණක් අයත් දෙයක් නොවේ. කුඩා වයසේ සිටම තරුණ වයසේ ද, මහලු වියට පත්ව ජීවිතය අවසාන වන තෙක්ම ඉතා හොඳීන් තම ජීවිතය තුළ පුරුදු කළයුතු දෙයකි. බුදු රජාණන් වහන්සේ දේශනා කළා “සීලා යාව ජරා සාධූ” වයසට යන තුරු සිල් රැකීම මයි හොඳ කියලා.

සාමාන්‍ය පුද්ගලයා මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන අභ්‍යන්තර ආයතන හයත් රූප, ශබ්ද,ගන්ධ, රස, පහස කියන බාහිර ආයතන හයත් පිළිබඳව නිත්‍ය වශයෙන් දකිනවා. ඒ නිසාම ඔහුගේ ජීවිතය පුරාම රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් වැගිරෙනවා. නමුත් බුදු රජාණන් වහන්සේ ගේ සද්ධර්මය ශ්‍රවණය කළ ආර්ය ශ්‍රාවකයා මේ අභ්‍යන්තර හා බාහිර ආයතන පිළිබඳ හට ගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් මනාකොට අවබෝධ කරගෙන අනිත්‍ය වශයෙන් දකිමින් පුළුුල් සිතකින් වාසය කරනවා. ඒ නිසා ඔහුගේ ජීවිතය පුරා කෙලෙස් වැගිරෙන්නේ නෑ. මේ ගැන හොඳ විස්තරයක් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ විසින් වදාළ අවස්සුත පරියාය සූත්‍රයෙන් දැන ගන්ට පුළුවන්.

සාමාන්‍ය පුද්ගලයා මේ දෙතිස් කුණූපයන්ගෙන් පිරි ශරීරය සුබදෙයක්, අලංකාර දෙයක් වශයෙන් සරාගී සිතින් දකිනවා. නමුත් බුදු රජාණන් වහන්සේ ගේ සද්ධර්මය ශ්‍රවණය කළ ආර්ය ශ්‍රාවකයා මේ දෙතිස් කුණූපයන්ගෙන් පිරි ශරීරය අසුභ දෙයක් වශයෙන් යථාසොබාවය දකිනවා. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයා මේ ලෝකය තමාගේ වසඟයේ පැවැත්විය හැකි ආත්ම දෙයක් වශයෙන් දකිනවා. නමුත් ආර්ය ශ්‍රාවකයා මේ ලෝකය හේතු ඵල දහම තුළ හටගත් අනාත්ම දෙයක් වශයෙන් දකිනවා.

පංච කාමයන්ගෙන් සතුටුවන සාමාන්‍ය පුද්ගලයා ජීවිතය පුරා තැවරී ඇති ජරා, මරණ, දුක් දොම්නස් සුසුම් හෙලීමෙන් පිරි මේ මහා දුක් කන්දරාව අමතක කොට පංච කාමයන්ගෙන් ලබන ලාමක සතුට ට වසඟ වී මේ ජීවිතය සැපක් ලෙස දකිනවා.නමුත් ආර්ය ශ්‍රාවකයා පංච කාමයන්හි ආදීනවය දකින පුද්ගලයෙක්. කාලය ඉදිරියේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, යානවාහන, දුවා දරුවන්,ධන ධාන්‍ය ආදී පංච කාමයන්ගෙන් ලබන සතුට වෙනස් වී යන ආකාරය හොඳීන් නුවණින් දකින පුද්ගලයෙක්. මේ නිසා ඔහු පංච කාමයන්ගෙන් ලබන සතුට විනිවිද ජීවිතය පුරා තැවරී ඇති ජරා, මරණ දුක, දුකක් ම වශයෙන් අවබෝධ කර ගන්නවා.

එක්තරා කාලයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියා. එක දවසක් සංගාමජි කියලා භික්ෂූන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට සැවැත් නුවරට පැමිණුනා. ඉතින් ඒ සංගාමජි භික්ෂූන් වහන්සේගේ ගිහි කල පැරැණි බිරිඳට “සංගාමජි භික්ෂූන් වහන්සේ සැවැත් නුවරට වැඩලා ඉන්නවා” කියලා දැන ගන්ට ලැබුණා. ඉතින් ඇයට ඒ වෙන කොට දරුවෙක් ලැබිලා හිටියා. ඒ දරුවත් වඩාගෙන ජේතවනාරාමයට ගියා. ඒ මොහොතේ සංගාමජි තෙරුන් වහන්සේ එක් රුක් සෙවනක දවල් කාලෙ විවේකයෙන් වැඩ හිටියා. එතකොට අර පැරැණි බිරිඳ සංගාමජි තෙරුන් ළඟට ආවා. ඇවිත් සංගාමජි තෙරුන්ට මෙහෙම කිව්වා. “පින්වත් ශ්‍රමණය, මට දැන් පොඩි දරුවෙක් ඉන්නවා. මා දැන් නඩත්තු කරන්න” කියලා. එතකොට අර පැරැණි බිරිඳට දරුවෙක් ලැබෙන්ට ඉන්දැද්දී තමයි සංගාමජි තෙරුන් වහන්සේ ගිහි ජීවිතය අත හැරලා පැවිදි වෙන්නට ගිහින් තියෙන්නේ. අද කාලෙ එහෙම මෙහෙම දෙයක් වුණා නම් ලොකු ප්‍රශ්න ගොඩකට මූහුණ දෙන්ට වෙනවා. ඉතින් අර පැරැණි බිරිඳ ඒ විදිහට කිව්වට පස්සේ සංගාමජි තෙරුන් වහන්සේ නිශ්ශබ්ද ව වැඩ සිටියා. දෙවැනි වතාවටත් කිව්වට පස්සේ නිශ්ශබ්දව වැඩ සිටියා. තුන් වෙනි වතාවටත් අර පැරැණි බිරිඳ කිව්වා “පින්වත් ශ්‍රමණය,මට දැන් පොඩි දරුවෙක් ඉන්නවා. මා දැන් නඩත්තු කරන්න” කියලා. තුන් වෙනි වතාවටත් සංගාමජි තෙරුන් නිශ්ශබ්දව වැඩ සිටියා. එතකොට අර පැරැණි බිරිඳ ඒ දරුවා සංගාමජි තෙරුන් ඉදිරියේ බිම අත හැරියා. “ ශ්‍රමණය, මේ පුතා ඔබේ. දැන් මෙයා නඩත්තු කරන්න” කියලා යන්ට ගියා. ඉතින් සංගාමජි තෙරුන් වහන්සේ ඒ දරුවා දිහා බැලුවේවත් නෑ. ඒ දරුවා එක්ක කතා කළෙත් නෑ. ඉතින් පැරැණි බිරිඳ ටිකක් ඈතට ගිහින් බලාගෙන හිටියා මොකද කරන්නේ කියලා. සංගාමජි තෙරුන් දරුවත් එක්ක කතා කරන්න තියා බලන්නෙවත් නෑ කියලා දැක්කා. දැකලා ආපසු ඇවිත් “මේ ශ්‍රමණයාට කිසි දරු කැක්කුමක් නෑ” කියලා ඇය දරුවත් වඩා ගෙන ආපසු ගියා.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසුදු දිවැසින් සංගාමජි තෙරුන් ගේ පැරැණි බිරිඳ විසින් කරන ලද මේ කරුණ දැක්කා. ඉතින් මේ කරුණ දැන ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ, කෙලෙස් යුද්ධයෙන් ජය ගත් තමන්ගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන සංගාමජි තෙරුන් ගැන සතුටු සිතින් උදානයත් වදාළා.

“ඇය ළඟට එනකොට සතුටක් ඇති වුණේ නෑ. ඇය ආපසු යන කොට ශෝකයක් ඇති වුණෙත් නෑ. රාග, ද්වේශ, මෝහ, මාන, දිට්ඨි යන මේ ආදියෙන් සංගාමජි භික්ෂුව නිදහස් වුණා. අන්න ඒ භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නෙ.”

දැන් බලන්න පින්වත්නි, අද කාලෙ කෙනෙකුට මෙහෙම කාමයන් අත්හරින්න පුඵවන් ද? අද මනුෂ්‍යයා දුක් දීම සැපයි කියලා ගන්නවා. අනිත්‍ය දේ නිත්‍යයි කියලා දකිනවා. අසුබ දේ සුබ වශයෙන් දකිනවා. අනාත්ම දේ ආත්ම වශයෙන් දකිනවා. නුවණින් පිරිහුණු මනුෂ්‍යයාට ජීවිතය පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා කුසල් අකුසල් අඳුනගන්න බෑ. අද මෙවැනි දෙයක් සිදු වුණා නම්, සමාජය කෙසේ කටයුතු කරාවි ද?

අද ජීවත්වන අප ද මේ ලබා ගෙන ඇති දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ කාමයට වසඟ නොවී ශ්‍රී සද්ධර්මය තුළින් කුසල් අකුසල් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමටත්, අකුසල් දුරු කොට කුසල් දියුණු කර ගැනීමටත්, ජීවිතයේ සත්‍ය අවබෝධ කර ගැනීමටත් උත්සාහයක් ගත යුතු ය.