මොහඳුර අවුලට
මුලපුරයි
ශ්‍රී ලංකා
භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම
ඤාණිස්සර හිමි
" කවර හෝ විෂයයක් හෝ සිද්ධියක් පිළිබඳව කතාකරන විට එය පිළිබඳ දැනුමක් අවශ්‍ය වේ.
සමාජයේ ප්‍රවීණයන් ලෙස කතා කරන ඇතැම් පුද්ගලයන්ට ඒ විෂයය පිළිබඳව අවබෝධයක් නොමැති
බව වැටහෙන්නේ එයට සවන් දී සිටින විට දී ය. සමාජයේ සිදුවන ඇතැම් සිද්ධි පිළිබඳව
කිසිඳු දැනුමක් හෝ අවබෝධයක් නැතිව ඒ පිළිබඳව විශාරද ලෙස කතාකරන අය නිසා ගැටලු ඇති
වෙයි. පුද්ගල ගැටලු ද වැඩිවෙයි."
මෝහය යනු කුමක්ද? එහි සමාජ භාවිතය කෙබඳු ද? යන්න සමාජගත ජීවිතයෙන් ම හඳුනා ගැනීම
ජීවිතය සාර්ථක කරගැනීමට හේතුවෙයි. මෝහාන්ධකාරයේ ගිලී සිටින බොහෝ අය ද සිතන්නේ
අන්‍යයන් එසේ බවයි. තමා බුද්ධිමත් බව යි.
එයම ඔහුගේ ජීවිතය අවුල්කිරීමට හේතු වෙයි. මෙතෙක් එය සිදුවී නැතැයි ඔබට සිතෙන්නේ
නම්, හෙට අනිද්දාම හොඳින් දැකබලා ගත හැකිවනු ඇත. යම් කිසිවෙක් මෝහයෙන් අගතිගාමී වී
කටයුතු කිරීමට නොයා යුතු ය. එබඳු අවස්ථාවක් යෙදුන විට එය නොකළ යුතුවෙයි. නැතිනම් එය
කල් දැමීම ද හොඳ පුරුද්දකි. වැඩ කල් තැබීම ප්‍රඥාගෝචර එකක් නොවුව ද මෝහයෙන්
අගතිගාමී වී කරන්නට යන කටයුත්තක දී නම් එය ද යහපත් ය.
මෝහය, නුනුවණ, මූච්ඡාව,අවිද්‍යාව යන්න ස්වභාවික සංකල්පයකි. සියලු සත්ත්වයන් මෙම
තත්ත්වයට නතු වෙයි. එනිසා ම මිනිස් තිරිසන් බේදයකින් තොරව කොයිකාටත් අත්විඳින්න වන
දෙයකි. මෝහයෙන් අගතිගාමී වී සමාජ කටයුතු කරන්නට යාමෙන් ගිහි පැවිදි සමාජගත ජීවිතය
අවුල් කිරීමට අපිළිවෙළ කිරීමට හේතුවෙයි. එනිසා ම තමන් යම් කටයුත්තක් කිරීමේ දී තමන්
එය සිදුකරන්නේ මනාව දැනගෙන ද, නැතිනම්, මෝහයෙන් ද ඉන් යම් පුද්ගලයෙකුට අකටයුත්තක්
සිදුවෙනවාද යන වග තමා විසින් ම සිහි කළ යුතු ය.
මෝහය අඳුරක් නිසා ම මෝහාන්ධකාරය යැයි කියනු ලැබේ. අන්ධකාරයේ කිසිවෙක් විනිවිද
පෙනෙන්නේ නැත. ඇස් පෙනීම තිබුණත් එය එසේ ම ය. එම මෝහය අඳුරක් යැයි ප්‍රකාශ කරනුයේ
දහවලක වුවත්, මෝහයෙන් මත්වී සිටී නම්, සත්‍යය, නිවැරැද්ද විනිවිද පෙනෙන්නේ නැති
නිසාය. තමන්ගෙන් පරිසරයට විය යුතු සාධාරණය නිවැරැදිව හැඟෙන්නේ නැත. කටයුතු කරන්නේ ද
හෘද සාක්ෂියට අනුව හෝ සමාජ ධර්මයට අනුව නොව, ආක්‍රමණකාරි මනස උපදෙස් දෙන හැටියට ය.
මෝහය දෙආකාරයකට සමාජ භාවිතයේ දක්නට ලැබෙන බව සමාජ සමීක්ෂණවලින් හෙළිවෙයි. එනම්, සහජ
මෝහය සහ මවාගත් මෝහය යනුවෙනි. මින් පළමුවැන්න උපතින් ම හා සමාජ අත්දැකීම් අඩුකම
නිසා ඇතිවන්නකි. ඇතැම් පුද්ගලයෝ උපතින් ම මන්දබුද්ධික හෝ මෝඩයන් ලෙස උපත ලබති. පෙර
සංසාරයේ අන්‍යයන් වංචාවෙන් දිනීම, සමාජයේ අසත්‍ය ප්‍රචාරය කිරීම, බොරුකීම වැනි
අකුසල කර්ම නිසා මෝහ සහගත ලෙස උපත ලබති. අසත්‍ය ප්‍රචාරය කිරීම නීතියෙන් ද වරදකි.
ඇතැම් පුද්ගලයන් තම සමාජ අත්දැකීම් සමඟ මෙම ස්වභාවය අවම කරගනු ලැබුවත්, ඇතැම්
පුද්ගලයන් එසේ නොවේ.
මවාගත් මෝහය දෙවැනි කාරණය හැටියට දැක් වේ. මෙය දක්නට ලැබෙන්නේ පොත පතේ හෝ ධර්ම
ග්‍රන්ථවල නොව සමාජයේ ය. ඇතැම් කපටි කෛරාටික පුද්ගලයෝ යම් යම් ක්‍රියාදාමවල දී මෙම
ස්වභාවය මවා ගනිති. ජීවිත කාලය පුරා නොව ඒ ඒ අවස්ථාවලට මුහුණ දීම සඳහා ය. ඇතැම් විට
චෝදනාවලින් මිඳීම සඳහා ය. එසේ නොවන්නේ නම්, වෙනත් ලාභයන් හෝ වාසියක් ලබාගැනීමේ
චේතනාව පෙරදැරිව ය. අන්‍යයන්ට විපතක් කිරීම සඳහා ද මෙවැනි ආකාරයෙන් කටයුතු කරන
පුද්ගලයෝ සිටිති.
සමාජගත සත්ත්වයාගේ විවිධ ලක්ෂණ දක්නට ලැබේ. මෝඩයකු හඳුනාගැනීමේ ලක්ෂණ තිබේ ද? යන
ප්‍රශ්නය යම් පුද්ගලයකුට මතු විය හැකි ය. මෝහයෙන් අඳුරට ගිය පුද්ගලයා සොයාගැනීම
පිණිස ශරීර ලක්ෂණ පිහිටා නැත. එසේ වුව ද ඔහු ඇසුරු කිරීම හා සමාජ ප්‍රශ්නවලට මුහුණ
දෙන හා ගැටලු විසඳන ක්‍රමවේදයන් අධ්‍යයන කිරීම මඟින් යම් තරමකට හඳුනාගත හැකි වෙයි.
නමුත් මවාගත් මෝහය සහිත පුද්ගලයා හඳුනාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන්නේ
සිද්ධියෙන් සිද්ධියට ඔහු සිය මානසික හැඩරුව වෙනස් කරන බැවිනි.
මෝහය යනු නොදැනීම හෙවත් අවිද්‍යාවයි.සමාජ සංසිද්ධි පිළිබඳව ඤාණය හෙවත් විද්‍යාව පහළ
නොවන්නේ එම හේතුව නිසා ය. ඇතැමුන් තමන්ගේ දක්ෂතාව හඳුනා නොගනිති. හඳුනාගන්නට තරම්
දක්ෂතාවක් නොමැති අය ද වෙති. එය මැනවින් හඳුනාගැනීම ද සමාජගත ජීවිතය සාර්ථක කරවයි.
අසාර්ථක නොකරයි. පුද්ගලයන් සතර කොටසක් පිළිබඳව අංගුත්තර නිකායේ සඳහන් වේ.
තමන් දන්නා බව දන්නා පුද්ගලයන්
තමන් දන්නා බව නොදන්නා පුද්ගලයන්
තමන් නොදන්නා බව දන්නා පුද්ගලයන්
තමන් නොදන්නා බව නොදන්නා පුද්ගලයන්
මේ තුළින් පැහැදිලි වන්නේ, මෝහයෙන් අන්ධ වූ පුද්ගලයන් වැඩි පිරිසක් සමාජයේ සිටින
බවයි. නමුත් සමාජයේ මිනිසුන් අතර කතා බහ කරන විට වැටහෙන්නේ ඔවුන් සියල්ල දැනගෙන ම
කතාබහ කරන බවයි. නැතිනම් මාත් දන්නවා යන හැඟීමෙන් කතාබහ කරන බව යි. තමාගේ දන්නා බව
පෙන්වීමට විවිධ උපහැරණ ඉදිරිපත් කරමින් කතා කරන බවයි. තමා අතිදක්ෂයකු බව ද, ප්‍රකාශ
කරගැනීමට පෙළඹෙන අවස්ථා ද ඇත. සමාජයේ මඟතොට හමුවන වැඩි පිරිසක් එසේ නිසා ඇතැම් විට
ඔබ ද සිටින්නේ එම ගොඩේම විය හැකි ය. ඇතැම් විට එසේ නොවන්නට ද පිළිවන. මෙබඳු
අවස්ථාවක නොදන්නා බව ද, නොදන්නා මිනිසුන් සමාජයේ ජීවත්වන ආකාරය ද හෙළි වෙයි. ඔවුන්
හඳුනා ගැනීමට හැකිවෙයි.
කුමන හෝ විෂයයක් හෝ සිද්ධියක් පිළිබඳව කතාකරන විට එය පිළිබඳ දැනුමක් අවශ්‍ය වේ.
සමාජයේ ප්‍රවීණයන් ලෙස කතා කරන ඇතැම් පුද්ගලයන්ට ඒ විෂයය පිළිබඳව අවබෝධයක් නොමැති
බව වැටහෙන්නේ එයට සවන් දී සිටින විට දී ය. සමාජයේ සිදුවන ඇතැම් සිද්ධි පිළිබඳව
කිසිඳු දැනුමක් හෝ අවබෝධයක් නැතිව ඒ පිළිබඳව විශාරද ලෙස කතාකරන අය නිසා ගැටලු ඇති
වෙයි. පුද්ගල ගැටලු ද වැඩිවෙයි.
- හේමමාලා රන්දුනු |