Print this Article


සතිපට්ඨාන භාවනාව 60 : සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා වාචා - ලොවේ ශ්‍රේෂ්ඨතම වචනය

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා වාචා

ලොවේ ශ්‍රේෂ්ඨතම වචනය

සතර සතිපට්ඨානය ම දීර්ඝ කාලයක් පුරාවට බුදුසරණ පත්‍රය මඟින් කියවා දැනුම වැඩි දියුණු කළා. ගිහි, පැවිදි විශාල පිරිසක් මේ භාවනා පාඩම කියවා තේරුම් ගත් බව අපට දැනගන්නට ලැබුණා. සතිපට්ඨාන සූත්‍ර දේශනාව ජාති , ආගම්, භේදවලින් තොර කමටහනක්.

සති යනු සිහිය යි. පට්ඨාන යනු එළැඹීම යි. සිහියෙන් කටයුතු කිරීම යන තේරුම යි. සතිපට්ඨාන සූත්‍ර දේශනාව මුල සිටම සඳහන් කරන්නේ සිහියෙන් වැඩකරන්න යනුවෙනි. යන එන ගමන බිමන පවා සිහියෙන් කළ යුතු යැ’යි උපදෙස් ලබා දුන්නා.

කුරුරට කම්මාස ධම්ම නියම් ගමේ දී බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු දේශනාව පැවැත්වූවා. සතිපට්ඨාන භාවනාව වඩන විට සිත හොඳින් පිරිසුදු වෙයි. ඇඬීම, වැළපීම , කායික මානසික දුක් දුරුවී යයි. නිවන් මඟට අවතීර්ණ වෙයි. නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නා බවට ආනිසංස හතක් සූත්‍ර ධර්මයේ මුලදී ත්, අග දී ත් දේශනා කර තිබෙනවා. එයට අනුකූලව සම්මා වාචා යන මාර්ගාංගය කවුරුත් මෙනෙහි කළ යුතු යි.

සම්මා වාචා යනු නිවැරැදි උතුම් වචන යි. ශ්‍රේෂ්ඨ වචන බව වටහා ගෙන මම සම්මා වාචා ඇත්තෙක් වන්නෙමි ,නිවැරැදි වචන ඇත්තෙක් වන්නෙමි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. මුසාවාදා, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ප්‍රප්පලාපා යනුවෙන් වැරැදි වචන හතර යි. බොරුකීම, කේළාම් කීම, නපුරු වචන කීම, හිස් වචන කීම ආදියෙන් වැළකීම සම්මා වාචා නම් වෙයි. නිවැරැදි වචන යනු එය යි. බුදු දහමෙන් උගන්වන්නේ කට ම පරිස්සම් කළ යුතු බව යි. කථා නොකර සිටින තරමටම වචනය පිරිසුදු වෙයි. කථා කළොත් දෙතිස් කථාවෙන් එකක් වෙයි. ඒ නිසා දවස පුරාම හැකිතාක් නිශ්ශබ්දව සිටින්න පුළුවන්නම්, වචනය පිරිසුදු යි. සිත ද පිරිසුදු වී යයි. එවිට තමන් ‘මම බොරු කීමෙන් වළකිමි, මම කේළාම් කීමෙන් වළකිමි, මම නපුරු වචන කීමෙන් වැළකෙමි, මම හිස් වචන කීමෙන් වැළකෙමි’ යනුවෙන් නිතරම මෙනෙහි කළ යුතු යි. එවිට සිත සහ වචනය පිරිසුදු වෙයි. සම්මා වාචා මාර්ගාංගය බොහොම ශක්තිමත් වෙයි. වචනය පිරිසුදු වන තරමට ම ජන සමාජයෙන් ගරු බුහුමන් මෙන් ම, දෙවියන්ගෙන් ආශිර්වාද ද ලැබෙනවා. තමන් යන ගමන් මඟ පිරිසුදුවට, යහපත් ව යන්නට පුළුවන්.

නිවන් සැප ලැබේවා යන වචනය බොහොම ශ්‍රේෂ්ඨ යි. ඒ වචනයට ඉහළ වචනයක් තවත් ලොවේ නැහැ. නිවන් සැප ලැබේවා යන වචනයෙන් සම්මා වාචා හොඳින් සිදු වෙයි. සම්මා වාචා මාර්ගාංගය පිරිසුදුව හොඳට වැඩෙනවා, දියුණු කරන්න පුළුවන්. නිතර අධිෂ්ඨාන කළ යුත්තේ මා හොඳ වචන ඇත්තෙමි යනුවෙනි. එවිට නුවණ සහ අදහස් ද, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මාර්ගාංග තුනම ද යෙදෙයි. එවිට තමන්ට තිබෙන්නේ හොඳට සිහි නුවණින් කටයුතු ටික ඉදිරියට ගෙන යාම යි. හොඳින් නුවණින් බලමින්, තමන්ගේ වචනය බොහොම පිරිසුදු යි යනුවෙන් අධිෂ්ඨාන කළ යුතු යි. මෙනෙහි කළ යුතු යි.

පසෙකට වී වාඩිවී කල්පනා කරමින් සිටියදී සිතිය යුත්තේ මම උදේ පටන් මේ මොහොත දක්වා ම කතා කළ වචන ගණනත්, මේවා හොඳ වචන ද? නරක වචන ද? යනුවෙන් තමන්ට තේරුම් බේරුම් කර ගන්න පුළුවන්කම තියෙනවා. නරක වචන භාවිත කර ඇත්නම් අවවාදයක් වශයෙන් මම අද මේ වචන කතා කළ ද මින් මතු මම ආයති සංවරයේ පිහිටන බවට නිවැරැදි මඟට බැසගත යුතු යි. අද මා හොඳ වචන කතා කර තිබෙනවා. ධර්ම දේශනා කර තිබෙනවා. ඒ නිසා මා බොහොම පිරිසුදු ඇත්තෙක්, එසේම මගේ වචනය බොහොම හොඳයි යනුවෙන් තමන්ටම සිතිය යුතු යි. එවිට සම්මා වාචාව , මාර්ගාංගය හොඳින් වැඩෙයි, පිරිසුදු වචන තවත් ඉහළට යයි.

ලොවුතුරා බුද්ධත්වයට පත්වන සියලුම උතුමෝ බොරුකීම කිසිම දවසක කර නැහැ. වචනය පිරිසුදුවෙන් සසරේ කල්ප ලක්ෂ ගණන් උපත ලැබුවා. අප බුද්ධෝ වචනය එකවරක් පැවසුව ද බුදුරජාණන් වහන්සේට එම වචනය එකසිය විසිඅටක් වදාරන්න පුළුවන්. බලන්න කෙතරම් ප්‍රභල ද කියලා? මේ ආනිසංස ලැබුණේ, බොරුවෙන්, කේළමෙන්, ඵරුස වචනයෙන්, හිස් වචනයෙන් වැළකීම නිස යි. ඒ නිසා උන්වහන්සේට මේ තරම් වේගවත් වචන මාලාවක් ලැබුණේ.

අප කතා කරන විට දිවේ සෙම බැඳී, රළු ස්වභාවයෙන් යුක්තව වෙහෙසක් අරගෙන යි, කතා කරන්නේ.

නමුත් බුදු කෙනෙකුට එසේ නො වෙයි. දිව බොහොම සිනිඳු යි. සෙම බැඳී නැහැ. බොහොම හොඳින්, වේගවත්ව ම, පැහැදිලිව කතා කරන්න පුළුවන්.

එසේනම් අප ද වචනය ම පිරිසුදු කරගත යුතු යි. අධිෂ්ඨාන කරගත් විට සම්මා වාචා මාර්ගාංගය භාවනාවෙන් හොඳින් වැඩෙයි. මම බොරු කීමෙන් වැළකෙමි, මම කේළාම් කීමෙන් වැළකෙමි, මම නපුරු වචන කීමෙන් වැළකෙමි, මම හිස් වචන කීමෙන් වැළකෙමි යනුවෙන් නිතර සිතන්න, මෙනෙහි කරන්නට අවශ්‍යය යි. එවිට සම්මා වාචා මාර්ගාංගය සම්පූර්ණ වෙයි. නුවණ යෙදුණ නිසා සම්මා දිට්ඨිය ද , හොඳ අදහස් නිසා සම්මා සංකල්පනාව ද , වචනය හොඳ නිසා සම්මා වාචාවත් තිබෙන බව හොඳින් ඉගෙන ගෙන තමන්ගේ ගුණ ධර්මයන් හොඳට දියුණුවෙන් ඉදිරියට යන්නට ඕනේ. එවිට තමන් යන ගමන් මඟ පැහැදිලි යි. පිරිසුදු යි, විසිතුරු යි.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා තරම් ශ්‍රේෂ්ඨ වචනය ඇති උදවිය ලොවේ තවත් නැහැ. ඒ නිසා උන්වහන්සේලාට, දුක්ඛ සත්‍යයය, සමුදය සත්‍යයය නිරෝධ සත්‍යයය, මාර්ග සත්‍යයය යන සත්‍ය සතර අවබෝධ වුණා. බොරු කිව්වානම් මේවා අවබෝධ කරන්න බැහැ. බොරුවෙන් වැළකුණු නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබුණා. මේ ගැන සිතා කල්පනාවෙන්, කවුරු වුණත්, නිවනට අවතීර්ණව කටයුතු කරනවා නම්, වචනය පිරිසුදු වන්නට අවශ්‍යය යි. එසේම නිවන් මඟ යන්නේ ය, කියන අදහස නිතරම තිබිය යුතු යි. එවිට වරදින්නේ නැහැ. සද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන ඉන්ද්‍රිය බල හොඳින් වැඩිය යුතු යි. සිහි නුවණින් මේ ගමන ඉදිරියට යා යුතු යි. වචනයම ආරක්ෂාවෙන්, පිරිසුදුවට , මුව ම පරිස්සම් කරගත යුතු යි. එවිට සම්මා වාචා මාර්ගාංගය හොඳින් දියුණුවෙන් ඉදිරියට යන්න පුළුවන්. වරදින්නේ නැහැ. අපායාදියට නොයා සුගතියක ම සිට නිවන් පසක් කරගන්නට පුළුවන්කම තිබෙනවා.

බුද්ධාදී උතුමන් වචනය හොඳින් පිරිසුදුවට පාවිච්චි කළා. තමාද ඒ මඟම යන බව සිතද්දී ලැබෙන්නේ ලොකු ශක්තියක්. මේ ශක්තිය සාමාන්‍ය කෙනෙකුට මෙන්ම සැමටම ලබන්න බැහැ. ඒ නිසා සිල්වත් , ගුණවත් උතුමන්ට ලැබෙන දායාදයක් වන්නේ නිවැරැදි වචන යි. ඒ නිසා ඔවුන් මරණින් මතු සුගතිගාමීව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වෙයි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගෙන නිවන් මඟට බැසගෙන යා යුතු යි.

සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පමණක් නොව, තව බොහෝ අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ සම්මා සංකප්ප , සම්මා වාචා ආදී මාර්ගාංග දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබෙනවා. එලෙස පැහැදිලි කළේ යා යුතු මාර්ගයේ කෙසේ ද යන්නේ යනුවෙන් දැන ගැනීම සඳහා යි. වචනය පිරිසුදු නම් ශීලය හොඳින් වැඩෙයි. ශීල ශික්ෂාව යනු එය යි. වචනය අපිරිසුදුනම්, ශීලය පිරිසුදු නැහැ. ඒ නිසා සම්මා වාචා යනු ශීල ශික්ෂාව යි. මුලින් සඳහන් කළ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප නම් වෙයි. ඒ ශික්ෂා දෙකම වචනය හොඳ වෙනවිට තම සිතෙහි පහළ වෙයි. එසේනම්, බුද්ධාදී උතුමෝ නිවන් මඟට බැසගෙන යහපත් වචන මාලාවක් ඇතිකරගත් නිසා ලොවුතුරා ධර්මය සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල සහ නිවන යන නව ලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණේ. කොපමණ වෙහෙසුණත් වචනය හොඳ නැතිනම්, ධර්මය අවබෝධ කරගන්න අපහසු යි. ඇතැම් විට තමන් නරක කෙනෙක් වෙන්න පුළුවන්. දැන, තේරෙන වයසට පැමිණි විට සමාව ගෙන , ආයති සංවරයේ පිහිටා එතැන් පටන් තමන්ගේ ගුණ දියුණු කළොත්, මාර්ග ඵල අවස්ථාවට පත් වන්නට අපහසුවක් නැහැ.