දිවි මග අඳුරු කරන
වසල ධර්මයෝ
අලව්ව මාබෝපිටිය
ශ්‍රී සුධර්මාරාම බෝධිඝර
විහාරාධිපති සද්ධර්මකීර්ති
ශ්‍රී මෛත්‍රී ශක්ති ධර්මාචාර්ය
තෙලිකඩ
ධම්මිස්සර හිමි
කොධනො උපනාහීච
පාපමක්ඛීච යො නරො
විපන්න දිට්ඨි මායාවී
තං ජඤ්ඤා වසලො ඉති
ක්‍රෝධය, බද්ධ වෛරය, අනුන්ගේ ගුණ මකන ගතිය, මිසදිටු බව, තමන්ගේ වැරැදි සැඟවීම, වසල
ධර්මයෝ ය.මෙහි මුලින් ම දක්වන්නේ ක්‍රෝධය යි. එසේ නොමැතිනම් කිපෙන ගතිය යි. මේ
ක්‍රෝධය බහුල පුද්ගලයා යහපත, අයහපත තේරුම් නො ගනී. කෝපාවිෂ්ඨ තැනැත්තා තමන්ගේ
මවුපියන්, අඹුදරුවන් නො හඳුනයි.
මේ කෝපය නිසා ශරීරයේ වර්ණවත් බව අඩු වේ. එසේම කායික මානසික සුවය නිතැතින්ම වැනසේ.
එපමණක් නොව ආයුෂය ද අඩු වේ. ක්‍රෝධය නැති අයෙක් පුහුදුන් ලොව තුළ නැත. කළයුත්තේ
අවස්ථානුකූලව ක්‍රෝධය යටපත් කිරීම ය. සියලුම විනාශයන්ට මූල හේතුව ක්‍රෝධය බැවිනි.
ඉවසීම නමැති උතුම් ගුණය ජීවිතවලට යා කර ගත යුතුම ය. ධර්මයේ ‘අක්කොධෙන ජිනෙ කොධං’
යයි පෙන්වූ පරිදි අක්‍රෝධයෙන්ම ක්‍රෝධය ජය ගත යුතු ය.
බුදුරදුන් දවස වැඩසිටි පුණ්ණ තෙරුන්ගේ චරිතය තුළින් ක්‍රෝධ නො කිරීමේ අගය වටහාගත
හැක. මීළඟට වසල ධර්මයක් ලෙස උපනාහය දැක්විය හැක. බද්ධ වෛරය යැයි දක්වන්නේ ද, උපනාහය
යි. බද්ධ වෛරය යනු අන් කෙනෙකුගෙන් තමාට වූ වරදක් සිත තුළ රඳවාගෙන තිබීම යි. යම්
අයෙකුගේ සිතක් අපිරිසුදු කරන, බියකරු අකුසලයකි මේ බද්ධ වෛරය. ශරීරයේ විවිධ ආබාධ,
විශේෂයෙන් හෘද රෝග පවා මේ නිසා හට ගැනීමට පුළුවන. මේ අන්දමට වෛර බැඳගෙන අන් අයගෙන්
පළිගන්නට යාමෙන් පවුල් පිටින් විනාශවෙන අවස්ථා කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ.
අපේ දහම් පොත්වල තිබෙන කාලි යක්ෂණියගේ කතාව තුළින් මේ වෛරය සසර පවා ගමන් කරන ආකාරය
තේරුම් ගත හැක. වෛරය දුරු කරන්නට තිබෙන හොඳම ක්‍රමය මෛත්‍රීය යි.
එදා දීඝිති කෝසල රජුගේ පුත්‍රයා තමා සතුරා අතට පත්වී තිබෙද්දීත් මෛත්‍රිය ම කළ බව
පෙනේ.
අඥාන අසත් පුරුෂයෙක් තමාට සතුරුකමක් කළත් ඤාණවන්ත සත් පුරුෂයා ඔහුගෙන් පලි ගන්නට නො
යන්නේ ය. ප්‍රසිද්ධ කතාවක් වන කාලි යක්ෂණී පුවත, ඒ වගේම කවුඩු බකමූණු වෛරය වැනි කථා
තුළින් වෛරය දිගින් දිගට ගමන් කරන අයුරු වටහාගත හැක.
තවත් වසල කාරණයක් මක්ඛ යනුවෙන් දක්වා ඇත. ඒ තුළින් පෙන්වා දෙනුයේ ගුණමකු බවයි.
යමෙක් ගුණවත් උතුමන්ගේ ගුණ නො කියා හරින්නේ නම්, ඒ ගුණමකුවන්ගේ ලක්ෂණය යි. තමන්ට
ලෙන්ගතු අයගේ නැති ගුණ අගය කරන ඇතැමුන් තමන් සමඟ සබඳතා නැති අයගේ තිබෙන ගුණ පවා නො
කියා හරිති. අවතක්සේරුවට ලක්කරති. සමහර අකෘතඥ දරුවෝ තම මව්පියන් තමන්ට කළ උපකාර පවා
අමතක කරති.
තමන්ගේ ගුරුවරු, සහෝදර සහෝදරියන්, ඥාතීන් යම් උපකාරයක් කළානම් ඒවා ද අමතක කරති.
ගුණමකු බව මේ ජීවිතයේ දී ම පිරිහීමට හේතු වන පහත් පෙළේ ක්‍රියාවකි.
විපන්න දිට්ඨි යනුවෙන් දක්වන වසල ධර්මය තුළින් දැක්වෙනුයේ මිසදිටු බවයි. මේ වසල
කාරණය නිසා මෙලොවද පිරිහී අපාගත වන්නටද සිදුවන්නේ ය.
මිථ්‍යාදෘෂ්ටික අය ඇසුරු කිරීම තමන්ගේත්, එසේම ගමේ රටේත් විනාශයට හේතු වේ.
දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියක් ගැන දහමෙහි පෙන්නුම් කරයි. දුන් දෙයෙහි විපාකයක් නැත.
මෙලොවක්, පරලොවක් නැත. මවට – පියාට සැලකීමෙන් පළක් නැත. ආදී වශයෙන් ඇතිවන වැරැදි
දෘෂ්ටි ගැනීම මිසදිටු බවයි.
තවත් වසල කාරණාවකි, මායා යනුවෙන් දැක්වූ තමන් ළග තිබෙන දොස් වසා ගැනීම. එනම් වැරැදි
සැඟවීමයි.
මායා නම් ගතියට නතු වූ තැනැත්තාට පව් කිරීමේ ආදීනව නොපෙනෙයි. රහසිගත වැරැදි කරයි.
සමාජයට තමා යහපත් පුද්ගලයෙකු ලෙස ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම ඔහුගේ ස්වභාවය යි.
මායාකාරි තැනැත්තා පරලොවක් ගැන නො තකන්නෙකි. එක්දෙයක් කියා වෙන දෙයක් කරන ඔහු අපායට
මග පාදා ගන්නෙකි. මේ සියලු ගති ඇති අය වසලයෝ ලෙස සලකනු ලැබේ. |