තෙවළා බුදු වදන් අතරින් - 38:
ඉල්ලීමත්
නොදීමත්
දෙකම අප්‍රිය ය
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
" නිතර නිතර අන්‍යයන්ගෙන් හැම දේම ඉල්ලීමට පුරුදුව සිටින තැනැත්තාත්, විවිධ පටු
ආකල්ප ඇතිව යමක් පරිත්‍යාග කරන්නාත් යන දෙදෙනා ම තම ආත්ම ගරුත්වයට හානි පමුණුවා
ගනී.
"
යමෙකු අන්‍යයන් විසින් මහත් ආදරයෙන් රැස්කරගත් දෑ ඉල්ලන්නේ නම් එම තැනැත්තා ඉතා
කඩිනමින් ම අප්‍රසාදය ට පත්වන බව බුදුරජාණන් වහන්සේ භික්ෂූන්වහන්සේ අමතා දේශනා කොට
වදාළ හ. විනය පිටකයේ කුටිකාරක සංඝාදිසේස ආපත්තිය හා සැබැඳී නිදානයේ දැක්වෙන කරුණු
මේ සම්බන්ධයෙන් වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ මෙම ශික්ෂාපදය පැනවීමේ දී නිදසුන්
කීපයක් ගෙනහැර දැක්වූහ.
එයින් එක් නිදසුනක රට්ඨපාල මහා තෙරුන් වහන්සේ සහ උන්වහන්සේගේ පියාණන් අතර ඇතිවන
සංවාදයක් උපුටා දැක්වේ. රට්ඨපාල තෙරුන්ගේ පියාණන් උන්වහන්සේ අමතා “රට්ඨපාල හිමියනි,
බොහෝ දෙනෙක් මා වෙත පැමිණ නොයෙක් දෑ ඉල්ලති. එහෙත් මම ඔවුන් නොහඳුනමි. ඔබ කුමක්
හෙයින් මගෙන් කිසිවක් නොඉල්ලන්නේ ද?” යි පැවසී ය. තමන්වහන්සේගේ ආදරණීය පියාණන් ඇසූ
පැනයට පිළිතුරු දුන් රට්ඨපාල තෙරණුවෝ “පියතුමනි, යමක් ඉල්ලන තැනැත්තා අන්‍යයන්ට
අප්‍රිය වෙයි. ඉල්ලු දෑ නොදෙන තැනැත්තා ද අන්‍යයන්ට අප්‍රිය වෙයි. එහෙයින් මම
අන්‍යයන්ට අප්‍රිය වූවෙක් බවට පත් නොවෙම්වා යි ඔබගෙන් වුව යමක් නොඉල්ලමි” යනුවෙන්
ප්‍රකාශ කළහ. විශාල ධනයක් අතහැර පැවිදි වූ රට්ඨපාල තෙරුන් වහන්සේ පිළිබඳ දීර්ඝ
විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ ඇතුළත් වේ. ජීවිතයේ හා ලෝකයේ යථා
ස්වභාවයත්, මිනිසාගේ අසීමිත තෘෂ්ණාව හා එහි ක්‍රියාකාරිත්වයත් හඳුනාගනු කැමැති
අයෙකුට එම සූත්‍රය කියවීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. රට්ඨපාල හිමියන් හා උන්වහන්සේගේ
පියාණන් අතර ඇතිවන සංවාදය ගිහි පැවිදි දෙපක්ෂය ට ම වැදගත් පණිවිඩයක් සපයයි. රට්ඨපාල
හිමියන් තම පියාගෙන් වුව යමක් ලබාගැනීමට අකැමැති විය. තමන් වෙත පැමිණෙන බොහෝ දෙනෙකු
විවිධ දෑ ඉල්ලන අතර ඔවුන්ගෙන් ඇතැමෙක් තමන් නොදන්නා බවත් එහෙත් තමන් හොඳීන් දන්නා
තම ආදරණීය පුතණුවන් තමන්ගෙන් කිසිවක් නොඉල්ලන්නේ කවර හේතුවක් නිසාද යන ගැටලුව
රට්ඨපාල හිමියන්ගේ පියාණන්ට ඇතිවිය. ඒ හේතුව නිසයි ඔහු උන්වහන්සේගෙන් ඒ ගැන
විමසන්නේ. තම පියාගේ සැකය දුරුකරමින් උන්වහන්සේ පවසන දෑ මනෝවිද්‍යාත්මක මෙන්ම සමාජ
විද්‍යාත්මකවත් සත්‍යය ය. සැම මිනිසෙක් ම තමා උපයාගත්, තමා සන්තකව පවතින මිලමුදල්,
ධනධාන්‍ය, ඉඩකඩම්, වතුපිටි මෙන්ම බලය තනතුරු නම්බුනාම ආදි වෙනත් දෑ තවකෙනෙකුට දීමට
ත්, ඒ වෙනුවෙන් අත්හැරීමටත් අකැමැති ය. එසේ ම ඒවා වෙනෙකෙනකු විසින් ඉල්ලනවාට ද
අකැමැති ය. මෙය මිනිසාගේ සහජ ගතිය යි. පොදු මානසික ස්වභාවය යි. ඇතැමෙක් තම
ප්‍රියතමයන් වන දූ දරුවන්ට වුව, යමක් දීමට කැමැත්තක් නොදක්වති. සැම කෙනෙක් ම තමා
සතු කවර තරමේ වස්තුවකට වුව, තනතුරකට වුව දක්වන්නේ දැඩි ආශාව කි. මෙය සාපේක්ෂක
සත්‍යය යි.
ඉදින් කෙනෙකු එතරම් ප්‍රියකරන දෑ වෙනත් අයෙකු ඉල්ලු සැණින් දීමට,
අත්හැරීම ට කිසිවිටෙකත් කැමැති නොවේ. තමා සන්තක ප්‍රිය වස්තු ආරක්ෂා කරගැනීම ට හැම
කෙනෙක් ම අනවරත අරගලයක නිරත වෙති. ලොව ගැටුම් ඇතිවීමට හේතුව ප්‍රිය වස්තූන් බව
(පියා පහුතා කලහවිවාදා) බුදුරදුන් වදාළේ ඒ හෙයිනි. සැම කෙනෙකු ම කිසියම්
පුද්ගලයෙකුට හෝ වස්තුවකට, තනතුරකට, බලයකට ආසක්තව ඇත. එය තමන්ට අහිමිකිරීම හෝ වෙනත්
අයෙකු සන්තක කිරීම ඇතමෙකුට දරාගත නොහැකි ය. කයින් මෙන්ම මනසින් ද තමන් ඇලුම් කරන දෑ
වෙනත් අයෙකු ඉල්ලන්නේ නම් පුහුදුන් සැම කෙනෙකුගේ ම සිත සසල වේ. මෙම මානසික පසුබිම
යටතේ කෙනෙකු කැමැති දේ ඔහුගෙන් හෝ ඇයගෙන් ඉල්ලීම නිසා ඉල්ලන තැනැත්තා ඉතා කයිනමින්
ම අන්‍යයන්ගේ අප්‍රසාදයට හා අපකීර්තියට පත් වේ. එසේම ඉල්ලන දෑ නොදෙන තැනැත්තා ද
කඩිනමින් අන් අයගේ අප්‍රසාදය ට පත් වේ. මෙය සනාතනික සත්‍යය යි. එම සත්‍ය මැනවින්
අවබෝධකරගත් නිසයි රට්ඨපාල හිමියන් තම පියාගෙන් වුව යමක් අපේක්ෂා නොකළේ. යම් යම් දෑ
සම්බන්ධයෙන් නිතර අනුන් මත යැපෙන පුද්ගලයාට ස්වාධීන වූ පෞරුෂයක් නොමැත. ඔහුගේ හෝ
ඇයගේ ආත්මාභිමානය විනාශයට පත්ව නිවටයෙකු බවට පත්වේ. නිතර නිතර අන්‍යයන්ගෙන් යම් යම්
දෑ ඉල්ලීමත්, එසේම යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව යමක් ලබා දීමත් යන දෙකම එක්තරා
ආකාරයක වෙළෙඳ ගනුදෙනුවක් සේ සැලකිය හැකි ය. අන්‍යයන්ගෙන් යමක් ඉල්ලන තැනැත්තාට
සිදුවන්නේ තමන් ම තමන් විකුණා ගැනීම කි. නැතහොත් තම පෞරුෂය ලාභ කරගැනීම කි. තම අගය
අඩුකරගැනීම කි. එසේම පූජාමය හෝ අනුග්‍රහමය ආකල්පයකින් තොරව පටු අපේක්ෂා පෙරදැරිව
කෙනෙකුට යමක් ලබාදීමත් එක්තරා ආකාරයක මිලදී ගැනීමකි. ඒ අනුව නිතර නිතර අන්‍යයන්ගෙන්
හැම දේම ඉල්ලීමට පුරුදුව සිටින තැනැත්තාත්, විවිධ පටු ආකල්ප ඇතිව යමක් පරිත්‍යාග
කරන්නාත් යන දෙදෙනා ම තම ආත්ම ගරුත්වයට හානි පමුණුවා ගනී.
සිත පිරිසුදු කෙරෙන, අත්හැරීම ප්‍රගුණ කෙරෙන දානය, පරිත්‍යාගය හා බෙදා ගැනීම උසස්
සත් ගුණයක් ලෙස බෞද්ධ සදාචාරයෙන් ඇගයුමට ලක්වුව ද අන්‍යයන්ගෙන් යමක් ඉල්ලීම යැදීම
කෙනෙකුගේ සත් ගුණයක් ලෙස කිසිසේත් ම පිළිගෙන නැත. තම සිව්පස අවශ්‍යතාව ගිහි
සමාජයෙන් සපුරා ගන්නා භික්ෂුවට ද අන්‍යයන්ගෙන් යමක් යැදීම මෙන්ම ඉල්ලීම භික්ෂු
විනයෙන් ම අනුමතකොට නැත. පිඬු සිඟා යාම සිඟමනකැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත්
බුදුරජාණන් වහන්සේ ඇතුළු උත්තමයන් වහන්සේලා ගිහි ගෙය අතහැර පැවිදි වූයේ ජීවත් වීමට
ක්‍රමයක් නැති වූ නිසා නොවේ. සසර දුකින් නිදහස්වීම අරමුණු කර ගෙන ය. එවන්
අධ්‍යාත්මික අරමුණක් වෙනුවෙනුයි උන්වහන්සේලා ගෙන් ගෙට පිඬුසිඟා වැඩම කළේ.
මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් ද යමක් ඉල්ලනවාට අකැමැති බව බුදුරජාණන් වහන්සේ
තවත් නිදසුනකින් පැහැදිලිකොට වදාළහ. අතීතයේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හිමවත්
පෙදෙසේ වන ලැහැබක බවුන් වඩමින් වැඩ සිටියේ ය. උන්වහන්සේගේ කුටිය අසල විශාල විලක්
තිබිණි. විල ඇසුරු කරගත් පක්‍ෂිහූ දිවාකල එහි වාසය කොට ගොදුරු සොයා කා සවස්
වේලාවෙහි භික්ෂූන්වහන්සේ වැඩ සිටි වන ලැහැබට පැමිණ ලැගුම් ගත්හ. පක්‍ෂීන්ගේ මහත්
නාදයෙන් මුළු රැය පුරා උන්වහන්සේගේ භාවනාව ට බාධා පැමිණිනි. එම ශබ්දය නොසලකා දින
කීපයක් බවුන් වැඩීමට උත්සාහ ගත්ත ද එය සඵල නොවීය. අනතුරුව බුදුරදුන් හමු වූ භික්ෂුව
තම භාවනාවට ඇති බාධක ගැන උන්වහන්සේට දන්වා උපදෙස් පැතීය. සියල්ල අසා සිටි
බුදුරජාණන් වහන්සේ පක්‍ෂීන් වෙනත් තැනකට යොමු කෙරෙන විසඳුමක් ඉදිරිපත් කළහ. ඒ අනුව
සවස් යාමයෙහි පක්‍ෂීන් වන ලැහැබට පැමිණි කල්හී උන් වෙසෙන ගස් අසලට ගොස් “යම් පමණ
පක්‍ෂිහු මේ වන ලැහැබෙහි වාසයට පැමිණියාහු ද, ඒ පින්වත් පක්‍ෂීහු මාගේ වචනය අසත්වා.
කුරුලු පියාපත්වලින් මට ප්‍රයෝජනයක් ඇත. එබැවින් පින්වත් පක්‍ෂියෙනි, ඔබ හැම දෙනාම
එක් එක් පිහාටුව බැගින් මට දෙන්න” යනුවෙන් රාත්‍රියෙහි පෙරයමද, මධ්‍යම යාමයෙහි ද,
පශ්චිම යාමයෙහි ද හඬ නඟා තුන්වරක් කියන්න යැයි දැන්වූහ. බුදුරදුන්ගේ අවවාදය පිළිගත්
භික්ෂුව හිමවත තමා වෙසෙන වන ලැහැබට ගොස් එසේ කළේය. ඉක්බිති පක්‍ෂියෝ එක් රැස්ව “මෙම
භික්?ෂුව අපගේ පියාපත් ඉල්ලයි. අපගේ පියාපත් වලින් උන්වහන්සේට වැඩ ඇතැයි කියති”
යනුවෙන් පවසා නොබෝ දිනකින් ම වන ලැහැබ අතහැර වෙනත් පෙදෙසකට පියඹා ගියෝ ය. නැවත
කිසිදිනෙක එම පක්‍ෂීහූ වන ලැහැබට නොපැමිණිය හ. තිරිසන් සතුන්ට පවා ඉල්ලීම අප්‍රිය
ය. එසේ නම් මිනිසුන් ගැන කියනුම කවරේද? |