Print this Article


ජීවිතයක් නැති ජීවිතවල ජුගුප්සාව

ජීවිතයක් නැති ජීවිතවල ජුගුප්සාව

මෙම ලිපියෙහි පළමු කොටස ඇසළ පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළ විය.

ඔබගේ ළමා විය, තරුණ විය හා මහලු විය බොරුව වංචාව හා ව්‍යාජත්වය පදනම් කොට ගොඩනැඟේ නම් පසුතැවිල්ල ඔබගේ පසුපස නිබඳව එයි. ඔබට මවක, පියෙකු, බිරිඳක, ස්වාමිපුරුෂයෙකු ලෙස සුවදායක ජීවිතයක් ගෙවිය නොහැකි ය. කිසිදු ව්‍යාපාරයක් හෝ දේශපාලකයෙකු, නීතිඥයෙකු, වෛද්‍යවරයෙකු හෝ වෙනත් එවැනි රාජ්‍ය වෘත්තිකයෙකු වශයෙන් එයින් ලැබිය හැකි උතුම් වින්දනය හෝ ආස්වාදය ඔබට ලබාගත නො හැකි ය. කුමක් නිසාද යත්, මැටියෙන් රත්තරන් භාජන සෑදිය නොහැක්කාක් මෙන් , ව්‍යාජ චේතනාවෙන් අව්‍යාජත්වයේ උත්කෘෂ්ට සතුට ලැබිය නොහැකි හෙයිනි. සේරිවාණිජ ව්‍යාජ වෙළෙන්දෙකි. මූසිල ව්‍යාජ ශිෂ්‍යයෙකි. මච්ඡරිය කෝසිය ව්‍යාජ ධනපතියෙකි. දේවදත්ත අජාසත් රජුගේ ව්‍යාජ අනුශාසකයෙකි. මෙබඳු බොහෝ ව්‍යාජ චරිත ඇත්තෝ බෞද්ධ ඉතිහාසයේ චිත්ත දාහයෙන් වැනසී ගියහ. චිත්ත පීඩාව පසුතැවිල්ල හා කඳුළ ඔවුන්ගේ ජීවිත වෙළා ගත්හ. එහෙත් කඳුළින් පසුතැවිල්ල නැවැත්විය නොහැක. එය ගැටලුවට පිළිතුරක් ද නොවේ. කඳුළ නිසා කර්ම විපාක වෙනස් වන්නේ ද නැත. එබැවින් අව්‍යාජ මනසින් කඳුළ ජයගන්න.

භාවෙථ භික්ඛවෙ චිත්තං යනුවෙන් බුදුන් වහන්සේ භික්ෂූන්ට අවධාරණය කරන ලද්දේ මහණෙනි, සිත වඩව් යනුවෙනි. සිත වැඩීම නමැති කාර්යය ව්‍යාජ බවින් තොර පිරිසුදු මනසින් ගොඩනැගිය යුත්තකි. සීලය යනු එකී අව්‍යාජත්වය මත සකසුරුවම් වන කායික හා මානසික පැවැත්මකි. එයම භාවනාවේ අත්තිවාරමයි. පෘථග්ජන මිනිසුන් වශයෙන් අපට ව්‍යාජ මනෝභාව ඇතිවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එය උපන් තැන්හිම සිතින් පළවා හැරීමට හැකිනම් ඔබ වාසනාවන්තයෙකි. උපන් අකුසල් සිත් නැති කිරීම සඳහාත්, උපන් කුසල් සිත් වැඩිදියුණු කිරීම සඳහාත්, නූපන් අකුසල් සිත් නො ඉපදවීම සඳහාත් නූපන් කුසල් සිත් ඉපදවීම සඳහාත්,වෑයම් කිරීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දී ඇත්තේ එහෙයිනි. යමෙකුට බොරු මායාකාරී ව්‍යාජ සිතිවිලි හා ගති සිරිත්වලින් මිදුණු මනසකින් ජීවත්විය හැකිනම් ඔහුට ජීවිතයේ බොහෝ දේ ලැබෙනු ඇත. පැහැපත් මුහුණක් , ඇඟ පසඟක් පමණක් නොව ආකර්ෂණීය සිනහව විසිනුදු ඔහු පැහැබර කරනු ඇත. සමාජයේ බොහෝ දෙනාගේ ආකර්ෂණයට ප්‍රශංසාවට භාජනය වන්නෙක් පමණක් නොව විපතෙහි දී පිළිසරණ ලබන්නෙක් වේ. කිසිදු දිනෙක මානසික උමතුවකින් නො පෙළෙන අතර, සැලසුම් සහගතව දියුණුව කරා යන්නෙක්

ද වේ. ශ්‍රියා කාන්තාව විසින් නිබඳව වැළඳ ගනු ලබන හෙතෙම මෙලොව වශයෙන් සාර්ථක මිනිසෙකු වන අතර පරලොව වශයෙන් සුගතිගාමී වන්නෙකි.

උපන් මිනිසෙකුගේ උසස්ම අභිලාෂය සැනසීමෙන් ජීවත්වීමයි. එහෙත් සැනසීම කෙනෙකුට ඉබේ අත් නොවේ. ඒ සඳහා පුරුදු පුහුණු කළයුතු සැලැස්මක් තිබිය යුතු හෙයිනි. අප ජීවත් වන සමාජය අතිශය සංකීර්ණ හා බොහෝ ගුප්ත දේ සිදුවන බැවිනි. බාහිර සංකීර්ණතා නිසා යමෙක් තම සැනසිල්ල අහිමි කර ගනී නම්, ඔහු බුද්ධිමතෙකු නොවේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වය කරා ගමන් කළේ ද ඉතා සංකීර්ණ වූ සමාජ සන්දර්භයක වාසය කරමිනි. අප ගමන් කරන මාර්ගයක හැම තැනකම අශූචි අපවිත්‍ර දෑ ඇත්නම් ඒ සියල්ල ඉවත් කරමින් අපට අපගේ ගමන යා නොහැකි ය. එනිසා වඩාත් සුදුසු උපක්‍රමය වන්නේ අපගේ දෙපාවලට පාවහන් යුවළක් පැළඳීම ය. එමෙන් කුහක බව, වංචාව, ව්‍යාජත්වය අප වෙසෙන සමාජය වෙළා ගෙන සිටී නම් අප විිසින් කළයුතු අපගේ හදවත අව්‍යාජ බව නමැති සන්නාහයෙන් ආවරණය කර ගැනීමයි. බුදුන්, දහම්, සඟුන් සරණ ගොස්, සම්මා ආජීවයෙන් ජීවත්වීමේ දැඩි අධිෂ්ඨානය ඇති කොට, අව්‍යාජ සිතිවිලි, අව්‍යාජ වචන හා අව්‍යාජ ක්‍රියාකාරකම් කරමින් ජීවත්වීම සැනසිල්ලේ පදනම වේ. ඔබ කොයිතරම් උසස් කෙනෙකු වුවත් මෙම මහඟු ගුණාංගය ඔබ තුළ නැත්නම් කිසි දිනෙක වාසනාවන්ත මිනිසෙකු බවට පත් නොවේ. උසස් පරමාදර්ශයන් සාර්ථක කරගන්නෙක් ද නොවේ. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂණ මාර්ගයේ මුල් අදියරටවත් ඔබ පැමිණියෙකු නොවේ. එහෙයින් අපගේ අවංකකම අව්‍යාජ බව ජීවිතයේ වටිනාම ගුණාංගය බව වටහා ගනිමින් සැනසීමේ මග අත්පත් කර ගන්න.