Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 33: මහාපරාක්‍රමබාහු ප්‍රතිමාව ගැන විද්වත් අදහස්

මහාපරාක්‍රමබාහු ප්‍රතිමාව ගැන විද්වත් අදහස්

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

පුරාණ ශ්‍රී ලංකාව අනුරාධපුර රාජධානි සමයෙන් පසුව චෝල බලය විනාශ කර, එවක පොළොන්නරුව රාජධානිය ස්ථාවර බෞද්ධ රාජ්‍යයක් බවට පත් කර එහි අගනුවර වශයෙන් පුලතිසි පුර හෙවත් පොළොන්නරුව අගනුවර බවට පත් කළේ ය. මහ විජයබාහු රජුට පසු මේ රටේ ඊළඟ පාලකයා බවට පත් වූයේ මහා පරාක්‍රමබාහු රජතුමා ය.

මහාපරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 - 1186) රාජ්‍ය කරවන කාලයේ දී පොත්ගුල් වෙහෙර නම් ගොඩනැගිල්ලක් නිර්මාණය කර ඇත. මෙහි ආරාමය සඳහා පොත්ගුලක් හෙවත් එකල පුස්තකාලයක් තිබෙන්නට ඇති නිසා මෙම නාමය ඊට යොදන්නට ඇතැයි සැලකේ. මේ අසල ඇති පිහිටි ගලෙහි ම අපේ පැරැණි මූර්ති ශිල්පීන් විසින් ඉතා විශිෂ්ට ශිලාමය නිර්මාණයක් දැයට දායාද කර ඇත. මෙය පොත්ගුල් වෙහෙර අසල ප්‍රතිමාව ලෙසින් ප්‍රකට ය. ඊටත් වඩා මෙම නාමය ප්‍රකට වී ඇත්තේ අපේ රට ස්වයංපෝෂිත රටක් පමණක් නොව කිසිදු රාජ්‍යයකට යටත් නොවූ ස්වාධීන, ඉතා ප්‍රබල රාජ්‍යයක් බවට පත් කළ මහා පරාක්‍රමබාහු ප්‍රතිමාව ලෙසිනි.

ප්‍රතිමාවේ ස්වභාවය

මෙම ප්‍රතිමාව පිහිටි ගලෙහි ම මතු කරමින් නෙළන ලද ප්‍රතිමාවකි. එහි උස අඩි 11 අඟල් 6 කි. මෙය මහාපරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාව බවට ඉතා ජනපි‍්‍රය මතයක් පවතී. පොළොන්නරුවට පුළතිසිපුර යන නාමය ද ව්‍යවහාර වේ. ඒ අනුව මෙම ප්‍රතිමාව පුලස්ති සෘෂිවරයාගේ ප්‍රතිමාවක් ලෙසට ද හඳුන්වා ඇත. මෙයින් එම සෘෂිවරයාගේ ස්වරූපය දර්ශනය වන බව ඇතැමෙකුගේ අදහස ය. තවත් සමහරෙක් මෙම ප්‍රතිමාව අගස්ත්‍ය හෝ කපිල සෘෂිවරයා නිරූපණය කරන බවට ද මත පළකර ඇත. බරෝස් නම් විද්වතා සඳහන් කරන්නේ දෑතෙහි නීති ග්‍රන්ථයක් දරා සිටින පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාව බව ය. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් පළමුවෙන් මතයක් ඉදිරිපත් කරමින් මෙම ප්‍රතිමාවෙන් තාපසයෙකු හෝ සෘෂිවරයෙකු පිළිබිඹු වන බව ප්‍රකාශ කළ ද, පසුව එතුමා සිය මතය වෙනස් කරමින් එය පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාවක් යැයි සඳහන් කළේ ය. මෙම ප්‍රතිමාවේ හිස පිටු පසින් මදක් ගෙවී ගිය ශිලා ලේඛනයක පුල -ස - ත යනුවෙන් කියැවේ. මෙම අර්ථ කථනය පිළිගත හැකි නම්, එමගින් මෙය පුලස්ති සෘෂි පිළිබිඹු කෙරෙන අතර, තව දුරටත් සංවාද අවශ්‍ය නොවිය හැකි ය. කෙසේ වෙතත් මේ පිළිබඳව නව මතයක් කරා පෙළඹීමට තව දුරටත් එම ප්‍රතිමාව අධ්‍යයනය කිරීමේ අවස්ථා ද ඇත.

පොළොන්නරුව, මධ්‍ය කාලීන ලක්දිව අගනගරය, මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න, පි. 108 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. - 1998)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී බෙල් මහතාගේ අදහස අනුව මෙම ප්‍රතිමාව රජෙකුගේ හෝ බෞද්ධ යතිවරයෙකුගේ ප්‍රතිමාවක් නොවන නමුත් පැහැදිලි වශයෙන්ම ප්‍රසිද්ධ ගුරු කෙනෙකුගේ ප්‍රතිමාවක් විය හැකි බව ය. ඒ අනුව මෙය කපිල සෘෂිවරයා නිරූපණය කෙරෙන ප්‍රතිමාවක් බව ඔහු පවසයි. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා මෙම මත දෙකටම සහය දක්වමින් එය රජෙකුගේ හෝ සෘෂිවරයෙකුගේ බව පවසයි. මෙම ප්‍රතිමාවෙහි දෑතේ ඇත්තේ පුස්කොළ පොතක් යැයි ඇතැම් අය අදහස් කරන අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වූයේ එය රාජ්‍ය සංකේතය වන වියගහ බව ය.

ප්‍රතිමාවෙහි ලක්ෂණ

මෙම ප්‍රතිමාවෙහි බොකුටු කෙස් සහිත කෝණාකාර හිස, දිගු උඩු රැවුල ඉහළට නෙරාගිය උදරය, උපවීත, යම් තරමකට පෙන්වන වයස හා ප්‍රඥාවයි. එසේ වුව ද ඉහළට නෙරා ගිය උදරය දක්නට නැත. මෙම ප්‍රතිමාව හා සමාන වූ ප්‍රතිමාවක් අප රටේ වෙනත් කිසිදු තැනක දක්නට නැත. එසේ වුව ද පොළොන්නරුවෙහිම අංක 1 දරණ ශිව දේවාලයේ පිට බැම්මෙහි දක්නට ඇති කුඩා රූපයක් පමණක් එය හා සැසඳේ.

පොළොන්නරුව රාජධානිය පිළිබඳ සාකච්ඡා කෙරෙන විද්වත් සභාවල මෙම ප්‍රතිමාව මහාපරාක්‍රමබාහු රජතුමා නිරූපණය කරන ප්‍රතිමාවක් ලෙසින් සැලකීම සිරිතක් බවට පත්වී ඇත. එම රාජධානි සමයේ ඉතා විශාල විදේශීය චෝල බලයක් ද, නාවික හමුදාවක් ද සිටි දක්ෂිණ භාරතයේ එම සියලුම බලවේග සියල්ල අභිබවා මේ රට යළි බෞද්ධ සිංහල ශිෂ්ටාචාරයක් ලෙසට ගෙන ආවේ මහා පරාක්‍රමබාහු රජතුමාට පූර්වයෙන් රජ කළ මහ විජයබාහු රජතුමා විසිනි. විජයබාහු කෙනෙකු නොවීනම් සිංහල බෞද්ධයන්ගේ අවසානය එය බව දක්ෂිණභාරතයේ ඉතිහාස මහාචාර්යවරයෙකු වූ නීලඛණ්ඨ ශාස්ත්‍රි මහතා සඳහන් කළේ ඒ අදහස ඊට ඉහතදී මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා දැක් වූ අදහස ද අනුමත කරමිනි.

(මහවිජයබාහු රජතුමා – සිරිසමන් විජේතුංග සංඥාපනය පි. 11 2012 දයාවංශ ජයකොඩි සහ සමාගම)

එවන් වූ රජකෙනෙකුගේ මෙවන් ප්‍රතිමාවක් නිර්මාණය කිරීම හෝ ඉතිහාසයේ සිදු වී නැත. මහාපරාක්‍රමබාහු ප්‍රතිමාවට සම්බන්ධ මෙම ගොඩනැගිල්ල බෞද්ධාරාම සංකීර්ණයක් බවට සැකයක් නැත. වත්මන් නාමයෙන් ම පවසනවා නම්, එය ආරාමික පොත්ගුලක් හෙවත් පොත්ගුල් වෙහෙරක් නම් මෙම ප්‍රතිමාව එහි ඇති චාම් බව ද නිසා පාණ්ඩිත්‍යය, ප්‍රඥාව ද සලකුණු කරමින් පුස්කොළ පොතක් දෑතින් දරා සිටින බ්‍රාහ්මණ පඬිවරයෙකුගේ විය යුතු ය. ප්‍රතිමාව ඉතා සරල වන අතර ආයිත්තම්වලින් තොර ය. ජටාමකුටය දක්නට නැති නමුදු හිසකෙස් කැටියක් සේ එක්කොට ගැට ගසා ඇති සේ ය. උඩු රැවුල සහ දිගු යටි රැවුල නියත ඉන්දියානු ශෛලිය පෙන්වන අතර ඒ තුළින් පඬිවරයාගේ පරිණත භාවයත්, නැණවත් භාවයත් පෙන්නුම් කෙරේ. මහා පඬිරුවනක වූ මහාපරාක්‍රමබාහු සිය රාජ්‍ය කාලයේ දී වේද වේදාංග නිපුණ උගත් බ්‍රාහ්මණ පූජකවරුනට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම්කොට මෙහි ද අධ්‍යාපනය ව්‍යාප්ත කරනු පිණිස අවකාශ සලසා තමා ද උපනයන කර්මයට භාජනය වී යැයි උප කල්පනය කළහොත් මෙම ප්‍රතිමාව වනාහි පරාක්‍රමබාහු රජුගේ නොමද ගෞරවයට පාත්‍ර වූ බ්‍රාහ්මණ පූජකවරයෙකුගේ පිළිරුවකැයි සිතීමට අප වඩාත් පොළඹවයි. පුස්කොළ පොතක් දෑතින් උසුලා ගෙන සිටින එක් බ්‍රාහ්මණ පඬිවරයෙකුගේ රුවක් ලෙසින් මෙම ප්‍රතිමාව අපගේ පිළිගැනීමට පාත්‍ර වුවහොත් මෙහි අනන්‍යතාව අනවශ්‍ය වාද විවාදයෙන් තොරව විසඳාගත හැකි ය. මේ ප්‍රතිමාව හා අසලම වූ විහාරය අතර කිසියම් සම්බන්ධතාවයක් පිළිබිඹු වේ. ප්‍රතිමාව අසලම නැගෙනහිරින් පිහිටි ගොඩනැගිල්ලක නටබුන් වූ දා ගැබක් විය හැකි ය.

(පොළොන්නරුව - මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි.112 (1998) )