ලොවක් නිවාලූ
දම් අම ධාරා
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී,
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද,
අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
බලංගොඩ රාධ හිමි
අධ්‍යාත්මික විරාගී භාවය, උසස් ජීවිතාවබෝධය, පාරිශුද්ධ ඤාණ දර්ශනය හා සත්ත්ව
වර්ගයාකෙරෙහි පතළ වූ මහා කරුණාව යනාදී මේ සියලු කාරණාවන්ගෙන් තමාට පෙර හෝ පසු විසූ
කිසිවෙකුට දෙවෙනි නොවන අසිරිමත් මුනිවරයෙක් මීට සියවස් විසිපහකට පෙර මිනිස් ලොව වැඩ
විසූහ. පාපයෙන් හා මිථ්‍යාවෙන් සමස්ත සත්ත්ව වර්ගයා මුදා ගැනීමේ ඓතිහාසික කාර්යභාරය
අසමසම අයුරෙන් සිදුකළ ඒ උතුමාණෝ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ය.
ඇස ආදී කොට ඇති ඉන්‍ද්‍රිය මායාවෙන් හා සැපක් යැයි වරදවා ගත් දුඞඛ ධර්මයන්ගෙන්
ගැළවීමේ මාර්ගයක් ලෙස පිරිසුදු විචාර බුද්ධියෙන් යුතු දර්ශනයක් මනුෂ්‍ය වර්ගයාට
හෙළි කර දීමේ අභිප්‍රායයෙන් සිදුහත් බෝසතාණෝ රජ මැදුරෙන් සමුගත්හ. අනතුරුව ඒකචාරී
දිවිපෙවෙතකට ඇතුළත්ව සහජයෙන් ම හිමි වූ දර්ශනාත්මක චින්තනයෙහි ආධාරයෙන් සැබෑ
විමුක්තිය සෙවීමෙහි නිරත වූහ.
පුරා සය වසරක ආත්ම ක්ලමථනයෙන් ශරීරයට දුක් දී උග්‍ර තපස් රැකීම සත්‍යයෙන් සදහටම ඈත්
වීමක් බව වටහාගත් බෝසතුන් එය අතහැර දැම්මේ අති කටුක අත්දැකීම් සම්භාරයක් ද ලබමිනි.
ඉන් පසු පාප විරමණයෙන් හා අහිංසකත්වයෙන් ද නිර්මලත්වයෙන් හා හුදෙකලාවෙන් ද යුතු
සංවරශීලී එහෙත් තීක්‍ෂණ නුවණකින් යුක්ත අධිෂ්ඨානශීලී සිතක් ඇතිව සත්‍යය සෙවීමෙහි
යෙදෙමින් මැදුම් පිළිවෙත අවබෝධ කරගත්හ. ඊට අනුව සිත කය වචනය හසුරුවා කරන ලද
භාවනාවෙහදී පෙර නොවූ විරූ ආලෝකයක් මනසෙහි පහළ විය.
ඒ මොහොත වෙසක් පුන් පොහෝ දින සඳ උදා වූ නිශායමකි. අනාදිමත් සසරක පටන් සෙවූ විද්‍යා
විමුක්තිය සාක්ෂාත් කර ගැනීම නිසා ඇති වූ නිරාමිස ප්‍රීතියෙන් යුතු බුදුරදුන්ගේ හද
මඬලින් පැන නැඟුන “අනෙක ජාති සංසාරං” යන විමුක්ති උදානය දස දහසක් සක්වලට ඇසෙන සේ
අනුරාව සහිතව පැතිර ගියේ ය.
එතැන් පටන් බුදුරජාණන් වහන්සේ මුලා වූ ලෝකයට චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික
මාර්ගය හෙවත් නිවන් මග පිළිබඳ විවිධ විචිත්‍ර දේශනා ක්‍රම උපයුක්ත කර ගනිමින් ශ්‍රී
සද්ධර්මය දේශනා කොට වදාළහ. බුදුරදුන්ගේ මුව මඩලෙහි වූ ශෝභාව හා ශාන්ත භාවය ද,
ජීවිතයේ දැකුම්කලු භාවය හා උදාරත්වය ද, කිසිම හේතුවකින් වෙනස් නොවන මෛත්‍රියෙන්
යුතුව පැවති උද්යෝගිමත් භාවය හා විශාරදත්වය ද නිසාවෙන්; ස්ත්‍රී - පුරුෂ, කුඩා -
මහලු, දුප්පත් - පොහොසත්, දේව - බ්‍රහ්මාදී සියල්ලෝ ම බුදුරදුන් වෙත එකසේ ඇදී ගියහ.
වදාළ ධර්මයෙහි ගැබ් වූ ඥානෝත්පාදක ශක්තිය හා ව්‍යක්ත භාවය නිසා ම ඒ උතුම් දර්ශනය
ප්‍රත්‍යක්‍ෂ කරගත් උදවිය නිවනින් නිවී ගිය මගඵල ලාභීහු වූ හ. ඔවුන් අතුරින් පැවිදි
බිමට පත්වූවන්ගෙන් සංඝ සංස්ථාව බිහ ිවූ අතර, එමගින් ඒ සත්‍යය දර්ශනය දිගන්තයෙහි
පැතිර ගියේ ය.
ඒ උතුම් ධර්මයට අනුව ඒ ඒ අරමුණු වලට ඇදී, බැඳීි යාම දුකට හේතුවන බව පෙන්වා වදාළ
බුදුරදුන් එහි අවසානය මගෝපදෝෂයක් හෙවත් වෛරයක් වන ආකාරය විශ්ලේෂණාත්මකව උගන්වා ඇත.
එමෙන්ම ඉවසීමක් නැතිකම, තරහ යෑම, එකට එක කිරීමේ උවමනාව, බද්ධ වෛරය, පළිගැනීමේ
චේතනාව ආදී ප්‍රකෝපකාරී මනෝභාවයන් පිටුදැකීම සඳහා උපයුක්ත කර ගත යුතු සාධුශීලී
පිළිවෙත නිවැරැදි ආකාරයෙන් භාවිතයට උපදෙස් ලබා දුන්හ.
මින් පෙර කිසිම දිනකට වඩා මේ ගතවන යුගය මිනිස් මනසට දයාව, අනුකම්පාව, ඉවසීම අවශ්‍යම
යුගයකි. ඒ සඳහා ලොව ඇති එකම සහ අසහාය මගපෙන්වීම බුදුරදුන්ගේ ශ්‍රී සද්ධර්මය පමණයි.
නූතන සුඛපරමවාදීන්ගේ මතයට අනුව සැපත සොයාගත හැක්කේ ජීවිතය සෑම අතටම පුළුල්
කිරීමෙනි. එහෙත් එමගින් තවදුරටත් අසහනය, අතෘප්තිය, තරගය හා ගැටීම් නිර්මාණය කරයි
නම්, පිළිගත හැකි ප්‍රසස්ථ බවක් එහි නැත.
භේදයකින් තොරව සියල්ලන් කෙරෙහි හොඳ හිත පැවැත්විය හැකි නම් එමගින් සහජීවනය ඇති වේ.
එහෙත් ඒ සඳහා අවශ්‍යයෙන් ම තිබිය යුතු කරුණක් වන්නේ මිනිස් මනසක ඇති පොදු දුර්ගුණ
හා අඩුපාඩු දෙස සානුකම්පිතව බැලීමේ හැකියාවයි.
එහිලා ශාරීපුත්‍ර මහා රහතන් වහන්සේගේ ඉගැන්වීමක් දුතිය ආඝාත පටිවිනය සූත්‍රයේ
ඇතුළත්ව පවතී.
ඒ අනුව; මෙලොව යම් පුද්ගලයෙකුගේ කායික ක්‍රියාකාරකම් අපිරිසුදු වේ. වචනය හැසිරවීම
පිරිසිදු වේ. එබඳු පුද්ගලයෙකුගේ කායික හැසිරීම්වල අඩුපාඩු ගැන මෙනෙහි නොකර පිරිසුදු
වචී කර්ම ගැන පමණක් මෙනෙහි කර ඔහු පිළිබඳ යම් ආවේගකාරී සිතිවිල්ලක් වේ නම් එය
දුරුකළ යුතු ය. ඔහුට මෙත් සිත පතුරා සානුකම්පිත විය යුතු ය. එමෙන් ම, යම් අයෙකුගේ
වචන නපුරු හා අසත්‍ය වේ ද, එහෙත් තම කය වරදෙහි යොදවා නැති ද, ප්‍රාණඝාතාදියෙන්
වෙන්ව සිටී ද, එහිදී ඔහුගේ යහපත් කායික හැසිරීම් ගැන මෙනෙහි කොට අයහපත් - නපුරු වචන
ගැන මෙනෙහි නොකර ඔහු කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතු ය. වෛරය දුරුකොට මෛත්‍රී සහගත
සිතක් ඇතිකර ගත යුතු ය.
යම් අයෙකුට අමිහිරි වචන - කේලාම්, ඵරුස වචන හා අශීලාචාර කායික වැරැදි අඩුපාඩු සහිත
පුද්ගලයෙකු හමු වේ. මුණගැසී ඇසුරු කරන්නට සිදුවූ විට ඔහු පිළිබඳව වෛරී හැඟීමක් -
තරහ සිතිවිල්ලක් උපදී. එහෙත් එම අවස්ථාවේ ඔහුගේ සිතේ ඇති ශ්‍රද්ධා ආදී යහපත්
හැඟීමක් - යම් කාරුණික සිතිවිලි පිළිබිඹුවක් පෙනේ නම්, ඒ යහපත් හැඟීම් ගැන සලකා
අපිරිසුදු කාය - වාග් කර්ම ගැන නොසලකා ඔහු කෙරෙහි මෙත් සිත පැවැත්විය යුතු ය. ද්වේෂ
සහගත ලෙස නොහැසිරිය යුතු ය.
අපිරිසුදු කාය සමාචාර ඇති, අසංවරසීලී වචන ඇති, අයහපත් අදහස් ඇති - තිදොරින්ම පව්
පුරන පුද්ගලයෙකු හමුවූ විට ඔහු රෝගියෙකු ලෙස සලකා ඔහු කෙරෙහි මෙත් සිතින් වාසය කළ
යුතු බවත්, එමගින් අපගේ සිත දූෂ්‍ය නොවන බවත් ශාරීපුත්‍ර ස්වාමීහු වදාරති.
සිත ද, කය ද, වචනය ද යන ද්වාරත්‍රයම යහපතෙහි යොදවා ලූ පුද්ගලයෙකුගේ ඇසුර ලබමින්
කල්ගෙවන විටදී පවා ඇතැම් විට අපගේ සිත් තුළ ඔහු පිළිබඳව නමුත් ද්වේෂය ඇතිවිය හැකි
ය. එහිදී ඔහුගේ පිරිසුදු ඇවතුම් පැවතුම් ආදී උසස් ගුණයන් දෙස බලා තම සිත තුළ
මෙත්තාව පැවැත්වීමෙන් සාමකාමී වටපිටාවක් ඇතිකරගත හැකි ය.
මෙලෙසින් බාහිර පුද්ගලයන්ගේ අඩුපාඩු දකිනවා වෙනුවට ඔවුන් තුළ ඇති එකම හොඳ ගුණයක් හෝ
දැකිය හැකි නම් එපමණකින් සෑහීමකට පත්ව සෙසු සියලු නුගුණ අමතක කර දැමිය යුතු ය.
අවවාදයෙන්, අනුශාසනාවෙන් අනෙකා වරදින් මුදා ගැනීම යහපත් වන අතර ඒ සඳහා තමා එම
වරදින් පළමුව නිදහස් වී සිටීම වැදගත් වේ. වර්ගවාදය හා කල්ලි වාදය යම් සිතක ඇති වේ
නම්, ඔහු සැබෑ ජනහිතකාමියෙක් නොවේ. එහෙත් අවිචාරවත් ලෙස පුද්ගල කණ්ඩායම් පිළිබඳව
විශ්වාසය තැබීම මගින් තම රටට ජාතියට සහ බුදු සසුනට අනතුරක් වේ නම් එහි ඇති මානව
හිතවාදී බවක්, මෛත්‍රියක් හෝ සහජීවනයක්, යහපාලනයක් නැත.
සත්ව හිංසාව, සොරකම, පරදාර සේවනය, බොරුව, සුරාව යන මේ දුසිරිත් මොනම ක්‍රමයකින් හෝ
අනුමත කරන ආගමික නායකත්වයක් පිටුපස යන අනුගාමිකයන්ගෙන් කරුණා, මෛත්‍රියක්
බලාපොරොත්තු විය නොහැක. එබන්දන් හා එකට විසීම විසකුරු සර්පයන් හා ක්‍රීඩා කිරීමක්
වැනි ය. මන්දයත් ඔවුන්ගේ මතයට අනුව සිතට එන ඕනෑම සිතිවිල්ලක් විමසීමකින් තොරව
ක්‍රියාවෙහි යෙදවීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් අනුබල ලබාදී තිබීමයි.
එහෙත් තම ජීවිතය නිසාවත් අනෙකාට සිතිවිලි මාත්‍ර බියක් හෝ ඉපිදවීම බුදුසමය විසින්
තදින්ම පිළිකුල් කර ඇත. පංච දුශ්චරිතයම ප්‍රමාද නොවී දුරු කළයුතු දෑ ලෙස පෙන්වන
බුදුරදුන් ඒ සඳහා උපකාරී වන චිත්තාචාරයන් ලෙස මෛත්‍රිය - කරුණාව හා මුදිතාව
භාවනාවක් ලෙසින් තදින්ම තම සිතට කාවද්දා ගැනීමේ අගය පෙන්වන සේක.
ලාමක ආශාවන් වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තැබීමට මිනිසා පෙළඹෙන්නේ ඔහුගේ සිතේ
ඇතිවන ව්‍යාකූලත්වය නිසාවෙනි. දුස්සීල භාවය සෘජුවම ව්‍යාකූලත්වයට හේතුවන නිසා
සිල්වත් භාවයෙන් තොරව ලෝකයෙහි කිසිම ජනවර්ගයක් අතර සාමය - සමගිය ගැන කතා කළ නොහැක.
දුසිල් බව, අසම්පූර්ණ අවබෝධය හා පෞද්ගලිකත්වයෙහි සීමාවන් වරදවා ගැනීම යන මේ කරුණු
නිසා ආත්මාර්ථකාමීත්වය ඇති වේ. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම ,පෞද්ගලිකත්වයෙහි
ආත්මීය බව යටපත් කිරීම හා අසීමිත ලෙස මෙත් කරුණා ගුණ වැඩීම මගින් නියම සාධූත්වයෙන්
යුත් ජනවර්ගයක් බිහිවනු ඇත. මේ උදාවූ ඇසළ පුන් පොහෝ දිනය සකල දෙව් මිනිස් ප්‍රජාව
කෙරෙහිම සැබෑ සෙනෙහස, මෛත්‍රිය, කරුණාව උතුරා ගලා ගිය ඓතිහාසිකත්වයෙන් නිර්මල වූ ,
පිවිතුරු දිනයකි. ඉසිපතන මිගදායෙන් පැන නැගී සාම සන්දේශයෙහි උණුසුම ලෝ වටා පැතිර
ගියේ අදවන් ඇසළ පුන් පොහෝ දිනයකයි. කුහකත්වයෙන් හැකිලී ගිය, පාපයෙන් මැළවී ගිය,
මුළාවෙන් නොපෙනී ගිය මිනිසත් කමට සැබෑ අරුතක් ලබාදුන් බුදුරදුන්, ධනය, බලකාමය, ජය
පරාජය හැර දැමූ සදාකාලික විමුක්තියක සුවය වෙත අපේ හද - සන්තාන යා කරමින්, උතුම්
දහම් සක් නදින් දස දහසක් සක්වල කුල්මත් කරන ලදී. එවන් මධුර දම් අම ධාරාවෙන් , සව්
සතුන්ගේ සිත් - සතන් සදහටම නිවේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. |