නිවන වූ දුක්ඛ නිරෝධ සත්‍ය
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේගේ පළමුවෙනි ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාවේ දී
දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව උන්වහන්සේ වදාළ සේක.
මහණෙනි, උපාදානස්ඛන්ධ සංඛ්‍යාත භවය නැවත නැවත ඇතිකරන ඒ තෘෂ්ණාවෙහි නිරවශේෂය නිරෝධය
වූ යම් නිවනක් වේද, යම් නිවනක් නිසා, ඒ තෘෂ්ණාව අතහැරීමත් නැතිකරගැනීමත් දුකින්
මිදීමක් ය. පංචකාම ගුණ සංඛ්‍යාත ඇළෙන තැන් නැති, ඇළෙන ස්වභාවය නැති, ස්වභාවයක් වේ
ද, එය දුක්ඛ නිරෝධ සත්‍යයි යනුවෙන් දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව අර්ථ දැක්විය හැකි ය.
ඒ අනුව නිවන නිරෝධ සත්‍ය ලෙස කෙටි අර්ථයකින් ද හඳුනාගත හැකියි. සත්ත්වයා භවය පුරා
සැරිසරන ගමනේ කෙළවර නිවනයි . ලෝකයේ සසර සැරිසරන සත්ත්වයා ගේ එකම අරමුණ තුන්තරා
බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවනට සම්ප්‍රාප්තවීමයි. බෝධිය යනු අවබෝධයයි. සම්මා
සම්බුද්ධත්වය, පච්චේකබුද්ධත්වය හා මහරහත් බව එම තුන්තරා බෝධියයි. තුන්තරා බෝධියෙන්
එක් බෝධියක් ප්‍රාර්ථනා කරගෙන
සිටින පුද්ගලයන් කෙතෙකුත් සිටිය හැකියි. ඔවුන් තම
උතුම් අරමුණ සිතෙහි දරාගනිමින් සිත, කය, වචනයෙන් සුචරිතයම වඩයි. තුන් දොරින්ම
සමාජයට අර්ථය හිත සුව පිණිස කටයුතු කිරීමට පෙළඹෙන්නේ ද, තමන් ප්‍රාර්ථනා කරගත්
බෝධියකින් නිවන් දැකීමේ අරමුණ පෙරදැරිවයි. නිවන බලාපොරොත්තු වන සත්ත්වයා. සංසාරයේ
සැරිසරමින් ගමන් කරනා විට තමන්ගේ මනස තුළ තිබෙන තෘෂ්ණාව නමැති බැඳීම අඩුකරගැනීමට
කටයුතු කළ යුතුයි. තණ්හාව නමැති වඩුවා නිවස සාදන නිසා පුද්ගලයා සසර උපදියි. තණ්හාව
නමැති වඩුවා සොයාගත් බුදුරජාණන් වහන්සේ, නැවත එම ගෙය නොසාදන බවට ද වදාළ සේක. එනිසාම
සියලු සත්ත්වයෙක් ම පරතෙරක් නොපෙනෙන සංසාර ගමනේ සැරිසරනා විට තෘෂ්ණා ස්වභාවය,
නිරවශේෂයෙන්ම ක්ෂය කළ යුතුයි. බුදු දහමෙහි ‘අතහැරීම්’ යන සංකල්පය උගන්වා ඇත්තේ ද,
අතහැරීම තුළ නිවනට යන පාර ළගා වන නිසයි. අල්ලා ගැනීම නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව
නිසා සංසාරයේ දුක ඇතිවන බව මහා නිදාන සූත්‍රයෙහි දී සඳහන් වේ.
‘ඉති ඛො පනෙතං ආනන්ද වෙදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියෙසනා. පරියෙසනං පටිච්ච
ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො , විනිචඡයං පටිච්ච ඡන්දරාගො ,ඡන්දරාගං පටිච්ච
අජෙඣසානං, අජෙඣාසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ජරියං, මච්ඡරියං පටිච්ච
ආරකෙඛා, ආරක්ඛාධිකරණං පටිච්ච දණිඩදාන සත්ථාදානකලභවග්ගහ විවාදතුචං තුවං
පෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සමහවෙන්ති”
ආනන්දය,මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්යේෂණ (අරමුණු සෙවීම) වේ.
පර්යේෂණය නිසා ලාභය (අරමුණු ලැබීම) වේ. ලාභය නිසා විතර්ක විනිශ්චය (අරමුණෙහි ඉටු
අනිටු බව විතර්කයෙන් නිශ්චය කොට ගැනීම) වේ. විනිශ්චය නිසා ඡන්දරාගය (විතර්කිත
වස්තුව කෙරෙහි ඇල්ම) වේ. ඡන්දරාගය නිසා අධ්‍යවසානය (මම ය, මගේ යැයි බලවත් සනිටුහන)
වේ. අධ්‍යවසානය නිසා පරිග්‍රහය (තෘෂ්ණා දෘෂ්ටි විසින් මගේ යැයි අයත් කර ගැන්ම) වේ.
පරිග්‍රහය නිසා මසුරුබව වේ. මසුරුබව නිසා රැක්ම වේ. රැක්ම කරණකොට ගෙන දඬුමුගුරු
දැරුම්,අවි දැරුම්, කලහ, විග්‍රහ (විරෝධ භූමි) විවාද තවංතුවං ( ඇණුම් බැණුම්)
කේලාම්, මුසාබිණුම් නොයෙක් ලාමක අකුසල් දහම්හු පහළ වෙත්
නිවන අති රමණීය උතුම් ප්‍රාප්තියක් ලෙස දක්වන්නේ ද, තෘෂ්ණාව සම්පූර්ණ වශයෙන්ම
විනාශකර දමන නිසයි. සංසාරයේ ජීවත්වන සත්ත්වයා විසින් නිවන බලාපොරොත්තු වන නිසාම
මානසික, කායිකව. වාචසික සියල්ල අතහැර දමයි. සසර බලාපොරොත්තු වන පුද්ගලයා සියල්ල
අල්ලා ගනී. එම අල්ලා ගැනීම තුළ සසර දිග්වේ. කායික, මානසික, වාචසික අල්ලාගැනීම තුළ
තෘෂ්ණාව වැඩිවේ. එවිට නිර්වාණය ලබාගැනීම අපහසුවෙයි. බෞද්ධ සම්ප්‍රදාය තුළ, බෞද්ධ
දර්ශනය විසින් මනුෂ්‍යයා හුරුපුරුදු කරන්නේ ද ලද දෙයින් සතුටු වීමටය. ලද දෙයින්
සතුටුවීමට හුරුවූ පුද්ගලයා තමන් ලබන දෙයින් උපරිම තෘප්තියක් ලබයි. තෘෂ්ණාධික
පුද්ගලයාට තමන් ලද දෙයින් සතුටු විය නොහැකියි. ලද දෙයින් සතුටු නොවී නො ලද දෙය ම
ප්‍රාර්ථනා කරයි නො ලද දෙය ම සිතමින් එය ම ප්‍රාර්ථනා කිරීම සාමාන්‍ය සත්ත්වයාගේ
ස්වභාවයයි.
සසර සැරිසරන මගට වඩා වෙනස් වූ වෙනත් අර්ථකතනයක් නිවන් මඟ තුළ ගැබ්ව පවතියි.
සත්ත්වයා පංච ඉන්ද්‍රියන් පිනවීමෙන් තෘප්තියක් ලැබුව ද, එය පිනවීමෙන් ලබන තෘප්තිය
සදාකාලික වූ තෘප්තියක් නොවෙයි. කාලයාගේ ඇවෑමෙන් එම පිනවීම ම දුකක් බවට පත්වෙයි.
පංචස්කන්ධය පිනවීම සඳහා ම පුද්ගලයකුට පංචස්ඛන්ධයක් අවශ්‍ය නොවෙයි. තමාගේ ජීවන අරමුණ
සාර්ථක කරගැනීම සඳහා ම පංචස්කන්ධය අවශ්‍ය වෙයි. නිර්වාණගාමී මාර්ගයට පත්වුණ
යෝගාවචරයා සිත, කය. වචනය යන තුන්දොරම සමාජයට ද, තමනට ද අර්ථය පිණිස යොදවයි. එම
කාරණා දෙකම සසර ගමන අඩුකර ගැනීම සඳහා පුද්ගලයා විසින් භාවිත කරයි. බුදුරජාණන්
වහන්සේ දේශනා කළා වූ නිරෝධ සත්‍ය යන උතුම් ප්‍රාප්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ
උතුම් ශ්‍රී සද්ධර්මය තුළ නිවන ලබාගැනීම සඳහා ගමන් කරන පුද්ගලයකුට ඒ සඳහා ළඟාවිය
හැකි ය. සසර මම ය, මාගේ ය, මම නිසා පවතින්නේ ය, මට අයිතිවන්නේ ය යන ස්වභාවයට වඩා මම
නොවේ ය. මගේ නොවේ ය මෙය ආත්ම වශයෙන් ගත නොහැකි ය යන ස්වභාවයන්ට පත්විය යුතුයි.
බුදුදහමින් ශික්ෂණය වුණ, දහමෙහි හැසිරෙන, දහමට අවනත යෝගාවචරයා බොහෝ සෙයින් අවබෝධ
පූර්වකව සමාජයෙහි ජීවත්වෙයි. සාමාන්‍ය පුද්ගලයා සමාජයෙහි ජීවත්වන විට රූප, ශබ්ද
ගන්ධ, රස, ස්පර්ශ යන බැඳීම් ආත්මීය වශයෙන් අල්ලා ගනී. තමාට රුචි රූපයක් දුටු විට එය
මනසින් අල්ලා ගනී. ඇද බැඳ තබාගනී. එම රූපය තුළ ජීවත්වීමට පටන් ගනී. මේ ආකාරයෙන්
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ඇළීමට පටන්ගැනීම සාමාන්‍ය සත්ත්ව ස්වභාවයයි.
සාමාන්‍ය ලෝක ස්වභාවයයි. දහමින් අනූන පුද්ගලයා එම ස්වභාවයට වඩා උඩුගම්බලා යන ගමනක්
ආරම්භ කරයි. සමාජය ගමන් කරන රැල්ලට අනුව, ආශාවන් පසුපස හඹා නොගොස්, තෘෂ්ණාධික බවින්
තොරව, අවබෝධයෙන් නිවන කරායාම සාමාන්‍ය බෞද්ධයාගේ ලක්ෂණයයි. ප්‍රඥාව පුරුදු පුහුණු
කළ පුද්ගලයකුට පමණක් එබඳු තත්ත්වයට පත්විය හැකියි. පුද්ගලයා තුළ ප්‍රඥාව වැඩිදියුණු
කරගන්නා ආකාරය බුදුදහමෙහි උගන්වයි.
පුද්ගලයා හැමදාමත් එකම තැනක රැඳෙනවා නම්, බුදුදහම ඇදහීමෙන් ඵලක් නොවෙයි. දවසින් දවස
තමන්ගේ දැනුම, අවබෝධය, වර්ධනය කරගත යුතු බවට බුදුදහම අවධාරණය කරයි. බුදුදහමෙන්
උගන්වන විශිෂ්ට ඉගැන්වීමක් වන නිරෝධ සත්‍ය අවබෝධයෙන් ම ජයගත හැකි ධර්මතාවක් ලෙස
දැක්විය හැකියි. අවබෝධ පූර්වක පුද්ගලයා නිවන අරමුණ කරගනී. නිවන ආගමික බව ඉක්මවා ගිය
දාර්ශනික බවට පත්වෙන තත්ත්වයක් .බෞද්ධ සාහිත්‍යයෙහි නිවන. ස්වර්ණමය පුරයක් ලෙස,
අතිරමණීය භූමියක් ලෙස හඳුන්වා ඇත්තේද, සාමාන්‍ය පුද්ගලයාගේ අවබෝධය පිණිස තේරුම්
ගැනීමේ පහසුව සඳහා ය. දාර්ශනික වශයෙන් නිවන විග්‍රහ වන විට සියල්ල නැති බව,
හඳුනාගැනීමට හැකියාව ලැබෙයි.
-හේමමාලා රන්දුනු |