කතරගම දේව පෙරහරේ ඓතිහාසිකත්වය
විජය රජු අනුරාධපුරයට පැමිණීමත් සමඟ අනුරාධපුරය ප්‍රථම රාජධානිය බවට පත් වූ බව
මහාවංශය සඳහන් කරයි. එය ලක්දිව මුල්ම රාජ්‍ය සමය යි.
පඬුවස්දේව රජ සමයෙහි ලංකාවට පැමිණි භද්දකච්චායනා කුමරියගේ සොහොයුරෙක් වු රෝපණ නමැති
කුමාරයා රෝහණ රාජ්‍යය පිහිට වූ බවට සඳහන් වේ. මුලින් මෙය ජනපදයක් ලෙස භාවිත වුව ද,
මහානාග රජු විසින් ප්‍රාදේශීය රාජ්‍යයක් ලෙස පාලනය කර ඇත. රෝහණ රාජ්‍යයේ පිහිටීම
සඳහන් ව ඇත්තේ නැගෙනහිරින්, බටහිරින් හා දකුණින් ගෝකණ්නතිත්ථ (ත්‍රිකුණාමලය) දක්වා
විහිදී ගිය මුහුදු තීරයත්, උතුරින් බෙන්තොට ගඟ දකුණු මලය රටේ දකුණු ප්‍රදේශයත් අතර
රෝහණය ව්‍යාප්තව තිබුණු බව පැරැණි ලේඛනවල සඳහන් වේ. රෝහණය පිළිබඳ වඩාත් වැදගත්
සිදුවීමක් වන්නේ ඉන්දියාවේ සිට පැමිණි භද්දකච්චායනා කුමරියට පුතුන් දස දෙනෙකු සහ
එක් දියණියක උපත ලබා ඇත. අනාවැකිකරුවන් සඳහන් කරන්නේ එම එක් දියණියකගේ පුතෙකු සිය
මාමාවරුන් සියලු දෙනා මරා රජ බවට පත්වන අනාවැකිය ඉතා වැදගත් බව යි. මෙයින් බියට පත්
සොහොයුරෝ තම එකම සොහොයුරිය වු උන්මාද චිත්‍රා එක්ටැම් ගෙයක සිරකොට ඔවුන්ගේ ආරක්ෂාව
සඳහා රටපුරා ජනපද පිහිටුවා ගත්හ. එසේ පිහිටුවාගත් ජනපද වන්නේ විජිතගාම, දීග, යුගාම,
රෝහණගාම ආදිය යි .මහාවංශයේ සඳහන් පරිදි මහානාග රජු අනුරාධපුරයේ සිට පැමිණ රෝහණයේ
රජවීම මෙම රාජ්‍යය තවදුරටත් ශක්තිමත් වීමට හේතු වී ඇත.
මහානාග රාජ්‍යත්වයට පත්වීමේ පුවත මහා වංශය සඳහන් කරන්නේ රජුගේ බිසව තම පුතුට රාජ්‍ය
ලබා දීම සඳහා, මහානාග කුමාරයා මැරවීමට උග්‍ර විෂ වු අඹපැසක් වලස් නම් වැව
ඉදිකිරීමෙහි යෙදුනු මහානාග කුමාරයා වෙත යවන ලදී. එහෙත් එම විෂ සහිත අඹ ගෙඩිය කන
ලද්දේ ඇගේ පුත් කුමරා ය. කුමරු මිය යෑමෙන් සියල්ල තේරුම්ගත් මහානාග අඹුදරුවන් සමඟ
රුහුණට පැමිණ ඇත. කතරගම ඉතිහාසය පිළිබඳ විමසීමේ දි සඳහන් කර ඇත්තේ කාචරගාම, කදිරගාම
ආදි නම් වලිනි. බෝවත්හෙගල. කොට්ටදැමුහෙල, මොට්ටියාකල්ලු ආදි ශිලා ලේඛනවල සඳහන්
වනුයේ කතරගම දසබෑ රජුන් විසින් ප්‍රදේශය පාලනය කර ඇති බවයි. මාගම රජකළ මහානාගගේ
පුත් ගෝඨාභය රජවීමත් සමඟම කතරගම දසබෑ රජවරුන්ට උදාවූයේ අතිශය අවාසනාවන්ත තත්වයකි.
එනම් ගෝඨාභය රජතුමා විසින් දසබෑ රජවරුන් ඝාතනය කොට මෙම ප්‍රදේශය ද ඔවුන්ගේ පාලනයට
යටත් කර ගැනීම යි. ගෝඨාභය රජුගේ පුත් කාවන්තිස්ස මහරජතුමා මෙම සියලු ප්‍රදේශ ඒකරාශි
කරගෙන ආර්ථිකය ශක්තිමත් කරමින් ආගමික සංවර්ධනයක් ඉටුකළ බව සඳහන් කළ හැක. මහාවංශයේ
සඳහන් වන පරිදි කාවන්තිස්ස රජතුමාට සහ විහාරමහා දේවියට මුලින් දරු සම්පත් ලැබී
නොමැත. තිස්සමහාරාම විහාරයට ගිය මෙම දෙපළ තමන්ට මෙතරම් සැප සම්පත් තිබුණ ද දාරක
සම්පත්තිය නොමැති බව එහි මහා තෙරනමට පවසා ඇත. එම අවස්ථාවේ දී එම තෙරුන් වහන්සේ පවසා
ඇත්තේ අපවත්වීමට ඉතා ආසන්නව සිටින ඉතා ශීලවන්ත, ගුණවන්ත, භික්ෂුවක් විහාරස්ථානයේ
සිටින බැවින් එතනට ගොස් උන්වහන්සේට තම පුත්‍රයා ලෙස උපදින්නට ආරාධනා කරන ලෙසයි. ඒ
අනුව විහාර මහා දේවිය සහ රජතුමා එම “තිස්ස” නම් හිමියන් වෙතට පැමිණ මෙසේ ආරාධනා කර
ඇත. ඒ අනුව උන්වහන්සේ අපවත් වීමෙන් පසුව විහාරමහා දේවියගේ කුස තුළ පිළිසිඳ ගත් අතර
එම කුමාරයාට “ගාමිණී” නමින් නම් තබන ලදී. දුටුගැමුණුූ රජතුමා තරුණවියට පත්වීමත්
සමඟම රටේ පැවති දේශපාලනය තත්වය ගැන මහත් කම්පාවෙන් යුක්තව කටයුතු කර ඇත. ඉන්දියාවේ
සිට පැමිණි එළාර නමැති ආක්‍රමණිකයා අනුරාධපුරයේ රජ කරමින් බුද්ධ ශාසනයත්, ජාතීන්
අතර අසමඟියත් ඇති කරමින් රට පාලනය කර ඇත. මේ බව දැනගත් කාවන්තිස්ස රජතුමා දසමහා
යෝධයන් සකස් කර කුමරුන්ට අවශ්‍ය යුධ ශක්තිය සකස් කර ඇත .ගාමිණි කුමරු එළාර සමඟ යුධ
වැදීමට සිය පියාගෙන් අවසර ඉල්ලුව ද ඒ සඳහා අවස්ථාව නොවන බැවින් අවසර නොලැබීමෙන් පසු
තම පියාට ස්ත්‍රී අභරණ යවමින් තම පියා ශක්තිමත් පිරිමියකු නොව කාන්තාවක ලෙස සඳහන්
කර ඇත.
පසුව සිය පියාගේ අභාවයෙන් පසු සිංහල, දෙමළ, මුස්ලිම්, ජනතාවට විදේශීය ආක්‍රමණයෙන්
රට බේරාගැනීම සඳහා තම මවගේ උපදෙස් සහ තිස්ස සොහොයුරාගේ ආධාරය මත එළාර සමඟ යුධ වැද
ඇත. එකී මහා සටනට යාමට පෙර දුටුගැමුණු රජතුමා කතරගමට පැමිණ භාරයක් වී ඇති අතර එහි
සඳහන් වන්නේ තමාගේ මේ සටන සියලු ජාතීන්ට, සියලු ආගමිකයන්ට නිදහසේ ජීවත් වීමට හැකි
පරිසරයක් ගොඩනැගීමට බවත්, මෙම සටනින් ජයග්‍රහණය කළහොත් කතරගම දෙවිඳුන්ට දේවාලයක්
සාදා පූජා කරන බවත් ය. මේ අනුව ඉතාමත් බැරෑරුම් මෙම සටනින් ජයගත් දුටුගැමුණු මහ
රජතුමා වත්මන් රුහුණු මහා කතරගම දේවාලය සාදවා කතරගම දෙවිදුන් වෙනුවෙන් පූජාකර ඇත. ඒ
අනුව දේවාලයේ රාජකාරි කටයුතු සඳහා රාජකීය පරපුරකට පවරන ලදී. මෙහි පැවැත්ම සඳහා
සියලු දෙනාට අක්කර ලක්ෂ ගණනින් වූ ඉඩම් වෙන්කර ඇත. එසේම අවුරුදු පෙරහර, ඇසළ පෙරහර
වසර, අවසානයේ පැවැත්වෙන ඉල්මහා පෙරහර ද, පැවැත්වෙන්නේ කතරගම දෙවිඳුන්ට උපහාර පිණිස
දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි ය. ඇතැමුන් දුටුගැමුණු රජතුමා ජාතිවාදියෙකු,
ආගම්වාදියෙකු ලෙස හංවඩු ගැසූව ද සමාජ විද්‍යාත්මකව හෝ ඉතිහාසය පිළිබදව අනවබෝධයෙන්
විය යුතු ය. සිංහල බැතිමතුන් කතරගම දෙවියන් ලෙසත්, හින්දු බැතිමතුන් මුරුගන් ලෙසත්
සලකන්නේ මෙම දෙවියන් ය. එසේම දුටුගැමුණු රජතුමා ජාතිවාදියෙකු වූයේ නම් එතුමා ගොඩනගන
ලද රුහුණු මහා කතරගම දේවාලයට හින්දු බැතිමතුන් උපහාර දක්වන්නේ ද නැත. මුරුගන්
දෙවියන් කිසිදු ලෙසකින්වත් වැඩම කරවන්නේ ද නැත. රුහුණු මහා කතරගම දේවාලය සියලු
ජාතීන් ආරක්ෂා කර දීමේ සාමයේ සංකේතයක් ලෙස සඳහන් කළ හැක.
2019 වසරේ රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහර ජූලි 03 වන දින ආරම්භ වී එම මස 17 වන දින
අවසන් වීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව කතරගම ශී‍්‍ර අභිනවාරාම විහාරස්ථානය මඟින්
පවත්වනු ලබන තුන්තිස් පැයේ මහා පිරිත් පින්කම සහ පිරිත්පැන් පෙරහර පවත්වා පින් දී
රට ආරක්ෂා කරදෙන මෙන් කතරගම දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටීමට නියමිත ය.
කතරගම අභිනවාරාමාධිපති
කපුගම සරණතිස්ස නා හිමි |