Print this Article


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සිය වසක සමරු සටහන්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සිය වසක සමරු සටහන්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ වන්නේ එදා අධිරාජ්‍යවාදී යුගයේ දී අප රටේ බෞද්ධ ජනතාවට ඇති වූ ප්‍රශ්න හා ව්‍යාකූල ස්වභාවයන්ට විසඳුම් ලබාදීම වෙනුවෙනි.

ඒ අනුව, එවකට තිබූ තරුණ බෞද්ධ සමිති විසි එකක් සමඟ අනෙකුත් බෞද්ධ සංවිධාන ද ඒකරාශි කරගනිමින් 1919 දෙසැම්බර් මස 20 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පළමු රැස්වීම පැවැත්විණි. පළමු සභාපතිවරයා වූයේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාණන් ය. ආරම්භයේ පටන් ම විද්වත්, ප්‍රභූ බෞද්ධ නායකයන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙහි නායකත්වය දරමින් බෞද්ධයන්ට ඇතිවූ සෑම ප්‍රශ්නයකටම පුරෝගාමි වී ක්‍රියා කර ඇත. ඒ අතර එෆ්.ආර්. සේනානායක , සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර , එච්.ශ්‍රී නිශ්ශංක වැනි විද්වත්හු කැපී පෙනෙති. මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ නාමය ද මෙහිදී සිහිපත් කළ යුතු ම ය.

1945 න් පසු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නව ප්‍රබෝධයක් ඇති වුවද නැවත විවිධ ගැටලුකාරි තත්ත්ව නිසා අනූව දශකය වනවිට සම්මේලනයේ කටයුතු යම් ව්‍යාකූලත්වයකට පත්ව ඇත.

නැවත ශක්තිමත් බෞද්ධ සංවිධානයක් ලෙස නැඟී සිටින්නේ 2001 වර්ෂයේ දී ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ සභාපතිත්වයෙනි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙහි පළමු කාන්තා සභාපතිවරිය වන්නේද ඇයයි. දැඩි වගකීමෙන් කටයුතු කළ ඇය, සම්මේලනයේ මූල්‍ය අර්බුද විසඳමින් , දුරස් වූ සාමාජිකයන් නැවත ගෙන්වා ගනිමින් සාර්ථක ගමනක් ආරම්භ කරන්නට විය. ඒ අනුව පසුගිය දශක දෙකකට ආසන්න කාලයේ දී අභිමානයෙන් යුතු ව සංවත්සර සැමරීමට හැකියාව ලැබුණි. අද සම්මේලනයට සියයක් අවුරුදු පිරීම පිළිබඳව කතා කිරීමට හැකි වී ඇත්තේ ද එදා ඇය ගත් ක්‍රියාමාර්ග නිසයි.

හතළිහ දශකය වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් පැන නැගුණි. ඒ ලාදුරු රෝගීන් සම්බන්ධවයි. එහිදී එම රෝගීන්ට සත්කාර කිරීමට ජනතාව මැළිවිය. එවැනි අවස්ථාවක බෞද්ධ මහා සම්මේලනය ආරෝග්‍යශාලා ආරම්භ කොට, මෙරට ප්‍රධාන ආරෝග්‍යශාලාවන්ට සිය සාමාජිකයන් යොමු කොට සේවාවන් ආරම්භ කළේ ය.

1945 වර්ෂයේ දී තවත් සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කෙරිණි. ඒ ගුණපාල මලලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ත්‍රිපිටක ධර්මය නැවත වරක් පාලි භාෂාවෙන් සිංහල බසට පරිවර්තනය කරනු වස් ත්‍රිපිටක භාරයක් ආරම්භ කිරීමයි. එහි පළමු පරිවර්තන ග්‍රන්ථය අපේ රටට නිදහස ලැබූ දිනයේ 1948 පෙබරවාරි 04 වැනිදා ප්‍රථම කාණ්ඩය හැටියට දීඝ නිකාය සිංහල පරිවර්තනය එළි දැක්විණි. ඉන්පසු 1956 වර්ෂය වන විට කාණ්ඩ හයක් මුද්‍රණය විය. ඉන්පසුව රජය විසින් වෙනම ම බෞද්ධ බල මණ්ඩලයක් මගින් එහි සභාපති ධුරය සර්.ජෝන් කොතලාවල මහතා යටතේ ආරම්භ කරනු ලැබුණු අතර එමඟින් උතුම් ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේ කාර්ය භාරය කරගෙන යනු ලැබිණි.

1948 වර්ෂයෙන් පසුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට ලෝකයේ බෞද්ධ නායකයින් සමඟ ද සම්බන්ධ වීමේ අවස්ථාව උදාවිණි. ඒ අනුව එම නායකයින් සමඟ කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස 1950 වර්ෂයේ වෙසක් පුර පොහෝ දින එම නායකයින්ට මෙරටට ආරාධනා කොට මහනුවර දී ලෝක බෞද්ධ සම්මේලනය ස්ථාපිත කෙරුණි. එය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ලද සුවිශේෂී ජයග්‍රහණයක් විය. ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපති ධුරය ද පැවතුණේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාට ය. එතුමා අවුරුදු අටක් එහි සභාපති ධුරය දැරීය. ලෝකබෞද්ධ සම්මේලනය මෙහි පවත්වාගෙන යාමට ඉඩකඩ අවම වීම නිසා දෙවනුව එම සම්මේලනයේ ප්‍රධාන ශාඛාව බුරුමයේත්, ඉන්පසුව තායිලන්තයේත් ස්ථාපිත විය. ලෝක බෞද්ධ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු මෙම ලෝක බෞද්ධ සමුළුව අදටත් සාර්ථකව සම්බුදු සසුන වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදින්ගෙන් අපේ රට නිදහස ලැබූ පසු බෞද්ධයින්ට වන අකටයුතුකම්. හිරිහැර, අසාධාරණකම් නැවත සොයා බැලිය යුතු විය. ඒ සඳහා සම්මේලනය මගින් බෞද්ධ පරීක්ෂණ වාර්තාවක් ආරම්භ කොට එය 1956 වර්ෂයේ දී එළි දැක්විය. එහි එක් අංශයක් වූයේ රජය මගින් මේ සම්බන්ධව කොමිෂමක් පත්කොට ක්‍රියාත්මක කිරීම ය. එහිදී එවකට ඡන්දය පැවැත්වෙන වේලාවේ දී බෞද්ධ මහා සම්මේලනය වගකිවයුතු පක්ෂවලින් ඉල්ලීමක් කළේ පත්වෙන රජය විසින් බෞද්ධයින්ගේ හිමිකම් වෙනුවෙන් කොමිෂමක් පත් කළ යුතු බවත්, ඊට එකඟවන පක්ෂයට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සහාය හිමිවන බවත්ය. ඒ අනුව මහජන එක්සත් පෙරමුණට රජයක් පිහිටුවීමට සිංහල බෞද්ධයින්ගේ සහාය ලැබුණි. ඒ අනුව 1959 වර්ෂයේ දී බෞද්ධ කොමිසමක් එළිදැක්විණි. එහි නිර්දේශ මුළු රටටම ක්‍රියාත්මක විය.

බෞද්ධ මහා සම්මේලනය හතළිහ දශකයේ සිටම අනාථ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වී පළමු ළමා නිවාසය ලෙස විහාරමහාදේවි ළමා නිවාසය බියගම ආරම්භ කෙරිණි. අද වන විට නිවාස 17 ක දරුවන් 750 ට ආසන්න ප්‍රමාණයක් රැකවරණය ලබයි. මේතාක් දස දහසකට ආසන්න ප්‍රමාණයක් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කරන්නට හැකි වී ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්, ජාතික සමාජ සේවා මණ්ඩලය තුළින් ඔවුන් රැක බලා ගන්නා නිවාස ආරම්භ විය. දැනට එවැනි නිවාස හයක් ආරම්භ කර ඇත. 1962 වර්ෂය වන විට පළමුවැනි වයෝවෘද්ධ, ගිලන් භික්ෂු විවේකාරාමය ගාල්ලේ ඉදිවිය. මේවන විට එවැනි ස්ථාන දෙකකින් සේවාවන් සැලසේ.

සම්මේලනය ආරම්භ කළ ආරෝග්‍ය ශාලා සේවාව සමස්ත ලංකා ශිෂ්‍ය සමිති සම්මේලනයට පැවරිණි. රජය මගින් අනුමත ආයතනයක් හැටියට එහි තරුණ දරුවන් විසින් එම සේවාව විධිමත්ව සිදුකරගෙන යාම ද සුවිශේෂී ය.

2006 වසර වන විට එවකට පැවැති යුද්ධයත් සමඟ බෞද්ධයන් අයථා ලෙස අන්‍ය ආගම්වලට හරවා ගැනීම ප්‍රබල ලෙස සිදුවිණි. මේ ගැන සොයා නොබලන බවට අපට චෝදනා එල්ල වුණි.ඒ වගකීම අනුව අයථා අන්‍යාගම්කරණය වැළැක්වීමේ කොමිෂම පත් කෙරිණි. එහිදී උද්ගත වී ඇති තත්වයන් වැළැක්වීමට, අනාගත විනාශයන් වැළැක්වීමට යෝජනා 126 ක් ඉදිරිපත් කොට ඒවා ක්‍රියාත්මක කරන ලෙස රජයට ඉදිරිපත් කොට ඇත.

ගුණවත් දරුපරපුරක් සමාජයට දායාද කරවීම සඳහා පෝ දින හා ඉරු දින උපකාරක පන්ති තහනම් කරවීමට ද යෝජනා ඉදිරිපත් කෙරිණි.

විශේෂයෙන් දුෂ්කර ප්‍රදේශවල බෞද්ධ ආර්ථිකය නඟා සිටුවීම සඳහා 2009 වර්ෂයේ සිට බෞද්ධාලෝක පුනරුද ක්‍රියාවලිය වැඩ සටහන ප්‍රකාශයට පත්විය. බෞද්ධයින් වෙනුවෙන් ජාතික, සංස්කෘතික. ආගමික, ආර්ථිකය නඟා සිටුවීමේ වැඩ සටහන් ක්‍රියාත්මක විය. ගමේ පන්සල මුල් කරගනිමින් බෞද්ධ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශත සංවත්සරය සැමරීමට ළඟා වී සිටින්නේ මෙවන් වෙසෙස් කාර්ය භාරයන් රැසක් බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉටු කරලමිනි. ඉදිරියටත් බෞද්ධාලෝක පුනරුදය යටතේ බෞද්ධ ආර්ථිකය නඟා සිටුවමින් බෞද්ධයන් නඟා සිටුවීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන අරමුණු අතර ප්‍රමුඛවේ. එහිදී ගමයි පන්සලයි සංකල්පය අර්ථවත් කරමින් පන්සල මුල් කරගෙන ආර්ථිකය ගොඩ නැංවීමට ක්‍රියාත්මක වෙමු.